April 20, 2024

මෛත්‍රී - රනිල් - රාජිතගේ නිවසේදී තීරණාත්මක සාකච්ඡාවක! රනිල් දිනවන්න මෛත්‍රී එකඟවෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර, මුහුණට මුහුණ සාකච්ඡාවක් ඊයේ (29) රාත්‍රීයේ දී පවත්වා තිබේ.

ඒ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ නිළ නිවසේ දීය.

එහි දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවට රජයක් ලෙස ඒකාබද්ධව මුහුණ දීමට සාකච්ඡා කර තිබේ.

තවද එම විශ්වාසභංග යෝජනාවෙන් පසු පක්ෂ දෙකම ඒකාබද්ධව රජය ඉදිරියට ගෙන යන වැඩපිළිවෙල පිළිබදව ඇතුළු තවත් කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා ඇත.

පැය 4 කට අධික කාලයක් පුරා පැවති මෙම සාකච්ඡාව, නිමව ඇත්තේ රාත්‍රී 11.30 ට පමණ පසුව බව වාර්තා වේ.

මෙම නායකයින් දෙදෙනාටම සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් රාත්‍රී භෝජන සංග්‍රහයක් ද ලබා දී තිබේ.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව පරාජයට පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟවි ඇති බවයි.

2020 වන තුරු ආණ්ඩුව ගැටලුවකින් තොරව කරගෙන යෑමට ද නායකයන් දෙදෙනා එහිදී එකඟ වී තිබේ.

එක්සත් ජාතික පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අමතරව රට ගැන තීන්දු තීරණ ගැනීමේදී සහ ප්‍රශ්න සාකච්ඡා කිරීමේදී තවත් පුළුල් පිරිසකට අවස්ථාව සලසා දීම ගැන ද එම සාකච්ඡාවේදී පෙන්වා දී ඇත.

එජාපෙ හමුවට රිෂාඩ් - හකීම් නෑ

මේ අතර අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර ඊයේ (29) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පැවැත්විණි.

එම සාකච්ඡාව පැය දෙකකට ආසන්න කාලයක් පැවති බව වාර්තා වේ.

ඊට අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, පලනි දිගම්බරන්, මනෝ ගනේෂන්, නවීන් දිසානායක, සරත් ෆොන්සේකා සහ රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරාද එක්වී තිබේ.

විශ්වාසභංගයේදී අගමැතිවරයාට සහය දීම කෙරෙහි ඔවුන්ගේ අවධානය එහිදී යොමුවී ඇති බව ආරංචි මාර්ග පැවසී ය.

විශ්වාසභංගයට පෙර ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයින් තීරණය කර ඇති බව පසුගියදා සුවසිරිපායේ පැවති විශේෂ සාකච්ජාවකින් අනතුරුව වාර්තා විය.

එම සාකච්ඡාවට අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා, අර්ජුන රණතුංග, රාවුෆ් හකීම්, පී දිගම්බරම්, මනෝ ගනේෂන්, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ චතුර සේනාරත්න එක්ව සිටියහ.

කෙසේ වෙතත්, ඊයේ (29) පැවති සාකච්ඡාවට අමාත්‍ය රිෂාඞ් බදියුදීන් හෝ රාවුෆ් හකීම් සහභාගි වී නැහැ.