April 20, 2024

රනිල්ට එරෙහි විශ්වාසභංගය ගැන මත දෙකක්! එජාපයේ යෝජනාවත් සම්මතයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ මූලිකත්වයෙන් සූදානම් කෙරෙන විශ්වාසභංග යෝජනාව මේ සතිය තුළ කථානායකවරයාට බාර දෙන බව ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග පවසයි.

බැඳුම්කර සිද්ධිය, මහනුවර ඇතිවූ ගැටලුකාරී සිද්ධිය පාලනය කිරීමට අ‍පොහොසත්වීම ඇතුළු කරුණු 14 ක් මුල්කර ගනිමින් මෙම විශ්වාසභංග යෝජනාව සකස් කර තිබේ.

මේ අතර විශ්වාසභංගය පිළිබඳව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු සුළු පක්ෂවල මතය විමසීම සඳහා ඒකාබද්ධ විපක්ෂය ලිපි යවා ඇති බවද එම පක්ෂ නායකයන් සමග ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් ඉදිරි දින කිහිපය ඇතුළත සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 54 දෙනා අතරින් මන්ත්‍රීවරු 32 ක් ඉකුත් සතිය අවසන් වන විටත් මේ සඳහා අත්සන් කර තිබුණි.

තවද ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ‍‍‍ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකුද මේ සඳහා අත්සන් තබා තිබේ. විශ්වාසභංගය සඳහා පෙරේදා (18) වනවිට 30 දෙනකු පමණ අත්සන් කර තිබෙන බවත් ඊයේ (19) සහ අද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේත්, එක්‌සත් ජාතික පක්‍ෂයේත් පිරිසක්‌ විශ්වාසභංගයට අත්සන් කිරීමට නියමිත බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ 30 දෙනකු පමණ විශ්වාසභංගයට අත්සන් කිරීමට එකඟතාව පළකර තිබෙන බවත් එම පිරිස සමඟ එක්‌සත් ජාතික පක්‍ෂයේ පිරිසක්‌ද අත්සන් කිරීමෙන් පසු විශ්වාසභංගය භාරදෙන බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය තුළ සිටින අගමැතිවරයාට එරෙහි කණ්ඩායමද ඉදිරි දින කිහිපය ඇතුළත මේ සඳහා අත්සන් තැබිමට නියමිතව ඇති නමුත් එක්සත් ජාතික පක්ෂයේ සෙසු නායකයන් විශ්වාස භංගයට එරෙහිව කරන ප්‍රකාශ නිසා එම මන්ත්‍රීවරු යම් අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින බවද වාර්තා වේ.

විශ්වාසභංගයෙන් පසු පැහැදිළි වෙනසක්

අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සඳහන් කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාව ඉතා සවිමත් පදනමකින් යුතුව ඉදිරිපත් කරන එකක් බවත් ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සේම එක්සත් ජාතික පක්ෂයේත් බොහෝ දෙනෙකුගේ සහය ලැබෙන බව විශ්වාස කරන බවත්ය.

මෙම විශ්වාසභංග යෝජනාවෙන් පසුව පාර්ලිමේන්තු ව්‍යූහයේ පැහැදිළි වෙනසක් සිදුවන බැවින් කැබිනට් සංශෝධනයක් පිළිබඳ දැන්ම කලබල විය යුතු නැතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

විශ්වාසභංගය 'පුස් වෙඩිල්ලක්'

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසූවේ මෙම විශ්වාසභංග යෝජනාව ඒකාබද්ධය එවන 'පුස් වෙඩිල්ලක්' බවත් එම 'පුස් වෙඩිල්ල මෝටාර් උණ්ඩයක්' බවට පත්කොට ඒකාබද්ධ කල්ලිය වෙතට එල්ලකිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය සූදානමින් සිටින බවත්ය.

මෙම විශ්වාසභංගය සඳහා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සහය අපේක්ෂා කිරීම සමහරුන් තුළ පවත්නා හීනයක් මිස යථාර්තයක් නොවන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

එජාපෙ මන්ත්‍රීවරුන්ගෙන් තීරණයක්

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව භාරදුනහොත් ළඟම දිනයක්‌ ලබාදී එය විවාදයට ගෙන සම්පූර්ණයෙන්ම පරාජයට පත්කිරීමට එජාපය ප්‍රමුඛ එජා පෙරමුණේ මන්ත්‍රී කණ්‌ඩායම ඒකමතිකව තීරණය කර ඇත.

එම ආණ්‌ඩු පක්‌ෂ මන්ත්‍රී කණ්‌ඩායම අරලියගහ මන්දිරයේදී ඊයේ (19) සවස පැවැත්වූ කණ්‌ඩායම් රැස්‌වීමේදී මේ බව තීරණය කර තිබේ.

මෙම මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීමට මේ වනවිට දිවයිනෙන් බැහැර සිටින මන්ත්‍රීවරුන් 10 දෙනා හැර අනික්‌ සියලු මන්ත්‍රීවරුන් සහභාගි වී ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වුවහොත් එය සම්පූර්ණයෙන් පරාජය කිරීමට එම මන්ත්‍රී කණ්‌ඩායම ඒකමතිකව තීරණය කර ඇත.

කෙසේ වෙතත් විශ්වාසභංග යෝජනාවක්‌ තාමත් පාර්ලිමේන්තුවට භාරදී නැති නිසා කලබල වියයුතු නැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් අගමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වන විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද(20) පැවැත්වේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 21 March 2018 10:22