April 19, 2024

යහපාලන ආණ්ඩුවේ වෙනස ගැන තීරණයක් ගැනීමට කමිටුවක්!

February 14, 2018

පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඇතිව තිබෙන දේශපාලන අර්බුදය හේතුවෙන් යහපාලන ආණ්ඩුවේද දැඩි වෙනසක් ඇති විය යුතු බවට ජනාධිපතිවරයාගේ අදහස වී තිබිණි.

කෙසේ වෙතත් ඊයේ(13) දිනයේදී එම දේශපාලන අර්බුදයේ උච්චතම අවස්ථාවට එළඹ තිබිණ.

ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් ඇමතිවරුන් අතර ඊයේ රාත්‍රී 10.00 පමණ වන තුරු විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

අවසානයේදී එම සාකච්ඡාව අවසන් වූයේ වත්මන් ආණ්ඩුවේ ඉදිරි ගමන පිළිබඳ තීරණයක් ගැනීම සම්බන්ධයෙන් කමිටුවක් පත්කිරීමට එකඟ වීමෙනි.

එම විශේෂ සාකච්ඡාවෙන් පසු එජාප අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසූවේ ආණ්ඩුවේ වෙනසක් ඇති කිරීම පිළිබඳ සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කළ බවත් එම කමිටුවේ තීරණය අද පැවැත්වෙන කැබිනට් රැස්වීමෙන් අනතුරුව අද පස්වරුවේදී ජනාධිපතිවරයාට දැනුම් දෙන බවත්ය.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය අනුව තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට එක්සත් ජාතික පක්ෂය මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයද බලවත් පරිශ්‍රමයක යෙදී සිටිති.

ඒ අනුව එජාපයේ පසු පෙල මන්ත්‍රීවරුන් අගමැතිවරයාට යෝජනා කර ඇත්තේ එජාපය තනි ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවයි.

මේ අතර ශ්‍රී ලංකාවේ මීළඟ රජය කවරාකාර විය යුතුද යන්න පිළිබඳව විදේශීය තානාපතාවරුන්ද බලවත් උනන්දුවකින් සිටින බවත් දැනගන්නට ඇත. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරයා සහ ඉන්දීය තානාපතිවරයා අද දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කර තිබේ.

“මහජනතාවගේ කැමැත්තකින් තොරව මම අගමැති කම් භාර ගන්නේ නෑ. ඊට වඩා සුදුසුයි ගෙදරට වෙලා පැදුරක් එළා ගෙන බුදිය ගන්න එක. ජනාධිපතිවරයා කළ යුතුව ඇත්තේ අවුරුදු දෙකක් කල් ගන්නේ නැතිව ජනතා කැමැත්තට ඉඩ දී මැතිවරණ පවත්වා ජනතාව කැමති දේශපාලන පක්ෂයකට රට පාලනය කිරීම සඳහා ඉඩ දියු යුතු එකයි." යැයි හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා ඊයේ හම්බන්තොට දී පැවසීය.

"අපි අපෙන් ගිය කිසිවෙකු සමඟ හෝ එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධාන ගත වී ආණ්ඩුවක් පිහිටු වීමට අදහස් නොකරන බවත් පොදුජන පෙරමුණට ඡන්දය දීපු ජනතාව එය අනුමත නොකරන බවත් අපි විශ්වාස කරනවා." යැයිද චමල් රාජපක්ෂ මහතා පැවසී ය.
එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා මේ වන විට උත්සහයක නිරතව සිටින බව ඇමති මනෝ ගනේෂන් මහතා පැවසී ය.

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂනායක වරුන් ඊයේ පස්වරු 6.30ට අරලියගහ මන්දිරයට කැඳවන ලද අතර එහිදී ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා සමඟ එක්ව තීන්දු තීරණ ගන්නා බවද මනෝ ගනේෂන් ඇමතිවරයා පැවසීය.