April 19, 2024

හවුල් ආණ්‌ඩුව හබක්? නව ගිවිසුම කතානායකට ලැබී නෑ‌ - ජනපති ආණ්ඩු වෙනසට අතගසයි

ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව රජයේ ප්‍රබල ඇමැතිවරුන් කිහිපදෙනෙකුගේ ඇමැති ධූර කිහිපයක වෙනසක් සිදු වන බවද වාර්තා වේ.

විශේෂයෙන් එජාපයේ ඇමැතිවරුන්ට ලබා දී ඇති ඇමැතිධූර ගැන ඇමැති ඇමැතිවරුන් කළකිරීමෙන් සිටින බවත් ඔවුන්ගේ ඇමැති ධූර පිළිබඳව සැලකිල්ලට ලක් කරමින් මෙම සංශෝධනය සිදු කිරීමට නියමිත බවත් වාර්තා වේ.

විශේෂයෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ පාක්ෂිකයින්ට රැකියාවක් හෝ ලබා දීමට හැකියාවක් නොමැති ඇමැතිධූරයක් තමන්ට ලබා දී ඇති බවත් ඉන් තමන්ගේ බල ප්‍රදේශයට වැඩක් කළ නොහැකි බවත්ය.

කෙසේ වෙතත් ඊයේ (24) පැවැති කොළඹදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසූවේ ජනාධිපතිවරයා විසින් ඉදිරියේදී රටට යහපත් සංශෝධන කිහිපයක් සිදුකරනු ඇති බවයි.

ජාතික ආණ්‌ඩුව අපේ වැඩක්‌

මේ අතර එක්‌සත් ජාතික පක්‌ෂය සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය අතර හවුල් ආණ්‌ඩුව දීර්ඝ කිරීමේ නව ගිවිසුමක්‌ තමන්ට ලැබී නැතැයි කථානායක කරූ ජයසූරිය මහතා ඊයේ (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ස්‌ථාවර නියෝග 23/2 යටතේ දිනේෂ් ගුණවර්ධන මහතා කළ ප්‍රකාශයකට පසු ඇති වූ විවාදයේදී කථානායකවරයා මේ බව කීවේය.

දිනේෂ් ගුණවර්ධන මහතා, - “ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ නිශ්චිතව ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් සංඛ්‍යාව දක්‌වා ඇති බව පිළිගන්නවාද? අද වනවිට මෙම සංඛ්‍යාව උල්ලංඝනය කර ඇති බව පිළිගන්නවාද? අගමැතිවරයා විසින් මෙම පත්වීම් නිර්දේශ කළ යුතු බව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ පැහැදිලිව කියෑවෙනවා. අගමැතිගේ උපදෙස්‌ මත ජනාධිපතිගේ අත්සන යටතේ ලිපියක්‌ මගින් ඇමැතිවරුන් පත්කිරීම ගැන සඳහන්.“

පසුගිය මාසයේදී රාජ්‍ය ඇමැතිවරුන් ලෙස ශ්‍රියානි විඡේවික්‍රම හා පියසේන ගමගේ යන අය පත්කිරීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනුව නිර්දේශයක්‌ තිබෙනවාද? ව්‍යවස්‌ථාවේ ඉහත වගන්තිය අනුව එජාපය හා ශ්‍රීලනිපය අත්සන් කළ ගිවිසුම 2017 දෙසැම්බර් 31 දිනට අවසන් වී ඇති බව පිළිගන්නවාද? ඒ අනුව කැබිනට්‌ ඇමැතිවරු සංඛ්‍යාව තිහක්‌ දක්‌වා අඩුවිය යුතු බව පිළිගන්නවාද?

සභානායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතා, - “ඇයි ඔබතුමා ශ්‍රියානිට විරුද්ධ?“

දිනේෂ් ගුණවර්ධන මහතා - “ශ්‍රියානිව ඔබතුමා ළඟින් තියාගන්න. හවුල් ආණ්‌ඩු ගිවිසුම ඉවරද නැද්ද කියන්න.“

කථානායක - “අගමැතිතුමා ඉදිරියේදී පිළිතුරක්‌ දෙයි.“

සභානායක- “නෛතික ප්‍රශ්නයක්‌ නෑ. ඒ අය එන්න සූදානම් නම් අපි භාරගන්න ලෑස්‌තියි.“

අනුර කුමාර දිසානායක මහතා - “ජාතික ආණ්‌ඩුවක්‌ ගොඩනඟනවා කියන පදනම මතයි ඇමැතිවරුන් 48 ක්‌ හා රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් 45 ක්‌ පත් කළේ. එජාපය හා එජනිස ගිවිසුම අනුව හවුල් ආණ්‌ඩුවේ කාලය අවසන්. කථානායකතුමනි ඔබතුමාට නව ගිවිසුමක්‌ දුන්නද?“

කථානායක- “නෑ දුන්නේ නෑ.“

සභානායක - “ජාතික ආණ්‌ඩුව අපේ ප්‍රශ්නයක්‌.“

අනුර දිසානායක මහතා - “නෑ. එය රටේ ප්‍රශ්නයක්‌. ගිවිසුම දීර්ඝ කළා නම් කථානායකට භාරදෙන්න.“

කථානායක - “මට එහෙම ලිපියක්‌ ලැබී නෑ.“

සභානායක - “ජාතික ආණ්‌ඩුව අපේ වැඩක්‌...“

අනුර කුමාර දිසානායක මහතා - “නෑ...නෑ...තමුන්නාන්සේලාගේ වැඩක්‌ නොවේ...“