March 29, 2024

රනිල් මෛත්‍රීගේ පැත්ත ගනී - බැඳුම්කර වංචාව ගැන රන්ජන් අගමැතිගෙන් ප්‍රශ්න කරයි

එක්‌සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීම ඊයේ (17) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී අගමැතිවරයා එජාප මැති ඇමැතිවරුන්ට තරයේ අවවාද කර ඇත්තේ මින් ඉදිරියට කිසිදු හේතුවක්‌ නිසා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විවේචනය කිරීමෙන් වළකින ලෙසයි.

අප පත් කරගත් අපේ ජනාධිපති කිසිවකු විවේචනය නොකළ යුතු බව හරීන් ප්‍රනාන්දු සහ එස්‌. එම්. මරික්‌කාර් මහත්වරුන්ගේ නම් කියමින් අගමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

එහිදී හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා කියා ඇත්තේ ඉවසීමේ සීමාව ඉක්‌මවා ගිය නිසා ඇතැම් අවස්‌ථාවල විවේචනය කිරීමට සිදුවූ බවයි.

ඊට පිළිතුරු දෙමින් අගමැතිවරයා පවසා ඇත්තේ තමන් කැබිනට්‌ ඇමැතිවරයකු ලෙස පත් කළේත් එම පත්වීම ලබා ගත්තේත් ජනාධිපති අතින් බව අමතක නොකරන ලෙසයි. එස්‌. එම්. මරික්‌කාර් මන්ත්‍රීවරයාද කියා ඇත්තේ තමන් කොලොන්නාවේදී ප්‍රකාශ කළ දෙය වැරදි අයුරින් වාර්තා කර ඇති බවත් තමන් ඒ පිළිබඳව ජනපති හමුවූ විට කරුණු පැහැදිලි කරන බවත්ය.

මෛත්‍රී ගැන මඩ මෙහෙයුමක්

මේ අතර හිටපු ඇමැති රවි කරුණානායක මහතාද ඇතැම් වෙබ් අඩවි ඔස්‌සේ ජනාධිපතිවරයාට මඩ ගසන බවට තමන්ට ජනාධිපතිවරයා පැවැසූ බවත් එලෙස කරන්නේ නම් එය වහා වැළැක්‌විය යුතු බවත් අගමැතිවරයා කියා තිබේ. එහිදී රවි කරුණානායක මහතා එම චෝදනාව තරයේ ප්‍රතික්‍ෂේප කරමින් තමන් කිසිදිනෙක එවැන්නක්‌ නොකළ බව පවසා ඇත.

ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයට තරග කරන එක්‌සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂක ලැයිස්‌තුව සම්මත කර ගැනීමේ අරමුණින් කැඳවා තිබූ මෙම කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීමේදී බැඳුම්කර කොමිෂන් සභාව පිළිබඳව විශේෂ අවධානයක්‌ යොමුකරමින් අගමැතිවරයා පවසා ඇත්තේ කොමිසමට එක්‌සත් ජාතික පක්‍ෂයේ පූර්ණ සහයෝගය හිමිවන බවයි. හොරු ඇල්ලීමට පත්වූ ආණ්‌ඩුවක්‌ ලෙස හොරු ඇල්ලීමට ජනපතිවරයා ගනු ලබන ක්‍රියා පිළිවෙතට කිසිවකුත් බාධා නොකළ යුතු බවද හෙතෙම එහිදී පවසා ඇත.

තමන්ද කිසිවිටෙක හොරුන්, වංචාකරුවන් ආරක්‍ෂා නොකරන බව කියා ඇති අගමැතිවරයා තමා ආරක්‍ෂා කිරීමට කිසිවකුත් ඉදිරිපත් නොවිය යුතු බවද පවසා තිබේ.

කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීම් අතරතුර නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා “සර් බැඳුම්කරයෙන් වංචාවක්‌ වෙලාම නැද්දැයි“ උපහාසයෙන් විමසා තිබේ. ඒ පිළිබඳව කොමිෂන් සභා වාර්තාව මගින් හෙළි කරනු ඇතැයි අගමැතිවරයා පවසා තිබේ.

Last modified on Thursday, 18 January 2018 10:46