April 25, 2024

“සාකච්ඡා එපා“ - මෛත්‍රීගේ ආරාධනය මහින්ද විසිකරයි

November 02, 2017

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එකතු වී තරග වැදීම පිළිබඳ සාකච්ඡාවට සහභාගි නොවී සිටීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත ලිපියක් යොමුකරමින් ඒකාබද්ධ විපක්ෂය එම තීරණය ප්‍රකාශ කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂය මෙම තීරණ ගෙන ඇත්තේ ඊයේ (01) ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් සමඟ පැවැති ඒකාබද්ධ විපක්ෂ කමිටු රැස්වීමේදීය.

පළාත් පාලන මැතිවරණයට මුහුණ දීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් මෙම මස තුන්වැනි දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන්ට සහභාගි වන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආරාධනා කර තිබිණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති ඒකාබද්ධ විපක්ෂ විශේෂ කමිටු රැස්වීමේදී, එජාපය සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දීගය පවතින තාක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එකට එකතු නොවීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එජාපයෙන් ඉවත්ව පැමිණියහොත් පමණක් සාකච්ඡා කිරීමට එකඟ බවද මෙහිදී ප්‍රකාශ වී තිබේ.