March 28, 2024

ආණ්ඩු පෙරළියට ශ්‍රීලනිප ඇමැතිවරු ඒකාබද්ධ මන්ත්‍රීවරු බන්දුලගේ නිවසේ රහස් සාකච්ඡාවක් - අගමැති ධූරය චමල්ට

November 01, 2017

ශ්‍රීලනිපයේ ඇමැතිවරු සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර මේවන විට රහස් සාකච්ඡා ආරම්භ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව නුගේගොඩ ජම්බුගස්මුල්ලේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාගේ නිවසේදී පසුගිය දිනක පවත්වා ඇති මෙම සාකච්ඡාවට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සහභාගී වී ඇතැයි වාර්තා වේ.

එම සාකච්ඡාවේදී ඉදිරි මැතිවරණයේදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව වැඩිවශයෙන් අවධානය යොමුව ඇතැයිද වාර්තා වන අතර ආණ්ඩුව නියෝජනය කරමින් මෙම සාකච්ඡාව සඳහා ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේම්ජයන්ත, ටී.බී.ඒකනායක, නිමල් සිරිපාල ද සිල්වා, නිමල් ලන්සා යන ඇමතිවරුන් එක්ව තිබෙන බවත්, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් සහ හිටපු පළාත් පාලන නියෝජිතයන් කිහිපදෙනෙකුද එක්ව ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

එම සාකච්ඡාව අරඹා සුළු වේලාවකින් නිමල් සිරිපාල ද සිල්වා මහතා එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති බවත් වාර්තා වේ.

ආණ්ඩුවේ ඇමතිකම් ලබාගත් ශ්‍රීලනිප පාර්ශ්වය සමග ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී එක්ව තරග කළ හැකිද යන්නත්, එවැනි එකඟතාවකට එළැඹීමට හැකිවුවහොත් අපේක්ෂකත්වය ලබාදෙන ආකාරය සම්බන්ධවත් මෙහිදී සාකච්ඡා කර ඇතැයිද වාර්තා වේ.

2020දී ශ්‍රීලනිප ආණ්ඩුවක් 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පවතින අභ්‍යන්තර අර්බුදය හේතුවෙන් ඉදිරි මැතිවරණවලදී පක්ෂය දෙකඩ වීම වළක්වාගත නොහැකි බැවින් ඒකාබද්ධ විපක්ෂය සහ ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප පාර්ශ්වය එකඟතාවකට පැමිණිය යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්කර 2020දී ශ්‍රීලනිප ආණ්ඩුවක් කෙසේ හෝ පිහිටුවාගත යුතු බවත් මෙහිදී සාකච්ඡා කර තිබේ.

විවිධ හේතූන් මත කලකිරී සිටින එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ සහාය මේ සඳහා ලබාගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බවත් මෙම වැඩපිළිවෙළ සාර්ථක වුවහොත් අග්‍රාමාත්‍ය ධුරයට චමල් රාජපක්ෂ මහතා සුදුසු වන බවත් මෙහිදී මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබේ.

මේ සම්බන්ධව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කිරීමට ඇමතිවරුන් පොරොන්දු වී ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.