March 29, 2024

කෝප් කමිටු සභාපති පුටුවෙන් හඳුන්නෙත්ති ඉවතට? “මම යන්න ලෑස්තියි“ - හඳුන්නෙත්ති කියයි

කෝප් කමිටුවේ සභාපති ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඉවත් කිරීමට රජයේ බලධාරීන් සාකච්ඡා කරමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙවර අයවැය යෝජනාවලිය සම්මත වූ පසු පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීමට රජයේ අවධානය යොමු වී ඇතැයිද වාර්තා වෙයි.

කෙසේවෙතත් පාර්ලිමේන්තු නව සැසි වාරය ආරම්භ වීමත් සමග සියලු කාරක සභා අහෝසි වී අලුතෙන් කාරක සභා පත් කළ යුතු වේ.

ඒ අවස්ථාවේදී කෝප් කමිටුවේ සභාපතිත්වයෙන් සුනිල් හඳුන්නෙත්ති මහතා ඉවත් කිරීමට යන බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ආණ්ඩුවට එපා නම් යන්න ලෑස්තියි

මේ අතර කෝප් කමිටු සභාපති ධුරයෙන් ඉවත් කිරීමට යන සිද්ධිය පිළිබඳ අදහස් දක්වමින් කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසූවේ කෝප් කමිටු සභාපතිවරයා ලෙස තමාගේ වගකීම අකුරටම ඉෂ්ට කර තිබෙන බවත්, තනතුරේ සිටින තාක්කල් එම වගකීම ඉෂ්ට කරන බවත්ය.

ආණ්ඩුවට තවදුරටත් කෝප් කමිටු සභාපතිවරයා ලෙස තමන්ගේ සේවය අවශ්‍ය නොවන්නේනම් තනතුරින් යාමට තමන් සූදානම් බවද හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

හඳුන්නෙත්තිගේ යෝජනාවෙන් කිරිඇල්ල ඇවිස්‌සෙයි

මේ අතර පසුගිය 22 වනදා කථානායකවරයාගෙන් විශේෂ අවසරයක්‌ ලබා ගනිමින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්‌ කළ සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇණවුම් කළ ඒ 350 එයාර් බස්‌ හතර මිලට නොගන්නේ නම් වහා ඒ බව ප්‍රංශ සහ ජර්මන් රජයන්ට දැනුම් දී නිෂ්පාදනය නතර කරන ලෙසයි.

“මේ ගුවන් යානා හතර නිෂ්පාදන කටයුතු නොවැම්බරයේදී ප්‍රංශ, ජර්මන් රටවල් ආරම්භ කරනවා. ඉන් පෙර අවලංගු නොකළොත් ඇමරිකානු ඩොලර් බිලියන ගණනක වන්දි ගෙවීමට සිදුවේවි. ඒ නිසා මේවා මිලදී ගන්නේ නැත්නම් වහා ඒ බව දැනුම් දී නිෂ්පාදන කටයුතු නතර කරන්න...'' යෑයි හඳුන්නෙත්ති මහතා ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටියේය.

“අපි පසුගිය දා ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝප් කමිටුව හමුවට කැඳවූවා. කල්බදු ගිවිසුම් මත 2013 දී එයාර් බස්‌ අටක්‌ මිලට ගැනීමට තීරණයක්‌ කර තිබෙනවා. ඉන් එයාර් බස්‌ හතරක කල්බදු ගිවිසුම වර්තමාන ආණ්‌ඩුව විසින් අවලංගු කළ නිසා ඇමරිකානු ඩොලර් බිලියන 115 ක්‌ වන්දි ලෙස ගෙවා තිබෙනවා. ඒ ගැන විමර්ශනයක්‌ කෙරෙනවා. අනෙක්‌ එයාර් බස්‌ හතර මිලට ගන්නවාද නැද්ද කියා තීරණයක්‌ ගත යුතුයි. මිලට ගන්නේ නැත්නම් වහා ඒ බව ජර්මන් සහ ප්‍රංශ රජයන්ට දැනුම් දෙන්න. ගුවන් යානා හතරේ නිෂ්පාදන කටයුතු නොවැම්බරයේ පටන් ගන්නවා. ඊට පෙර දැනුම් නොදුන්නොත් යළි බිලියන ගණනක වන්දියක්‌ ගෙවන්න වේවි.“ හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා පැවසී ය.

පසුව ඊට පිළිතුරු දෙමින් සභානායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසූවේ “රජයේ ප්‍රතිපත්ති ප්‍රශ්න කරන්න කෝප් කමිටුවට බැහැ. මේ ගුවන්යානා ගන්නවාද නැද්ද කියා තීරණය කරන්නේ ආණ්‌ඩුව. කෝප් කමිටුවට බෑ ආණ්‌ඩුවට උපදෙස්‌ දෙන්න.“

හඳුන්නෙත්ති මහතා - “මගේ මතය නොවේ ප්‍රකාශ කළේ කෝප් කමිටුවේ තීරණය. නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා මහතාත් යෝජනා කළා මේ කරුණු පාර්ලිමේන්තුවේ මතුකරන ලෙසට.“

කිරිඇල්ල මහතා - “කෝප් එකට පුළුවන් විගණකාධිපති නිරීක්‌ෂණ මත ප්‍රශ්න කරන්න විතරයි.“

හඳුන්නෙත්ති මහතා - “අබ කෑ මිනිහගේ මොළය දනවා වගේ කිරිඇල්ල ඇමැතිතුමා නිතරම කෑ ගහන එක වැරදියි.“

Rate this item
(0 votes)
Last modified on Monday, 23 October 2017 23:49