March 29, 2024

ආණ්ඩුව මාරාන්තික වැරදි කිහිපයක් සිදු කළා - ආණ්ඩුවට තුනෙන් දෙකත් නෑ

September 22, 2017

ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක නොමැති බවට පළාත් සභා ඡන්ද විමසීම් පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කළ පසුගිය 20 වනදා පැහැදිලි වූ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ආණ්ඩු පක්ෂයේ සිටි මන්ත්‍රීවරුන් දෙදෙනෙකු මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව සිටින බැවින් දෙමළ ජාතික සන්ධානයේ හා ජනතා විමුක්ති පෙරමුණේ සහාය ලබාගැනීමට ආණ්ඩුවට සිදුවූ බවද පෙන්වා දුන් මන්ත්‍රීවරයා ආණ්ඩුව විසින් උත්තරීතර පාර්ලිමේන්තුව වියපත් වෛශ්‍යාවකගේ තත්ත්වයට පත්කළ බව මින් ඉදිරියට සෙංකෝලය වෙනුවට වසුරු කඳක් සභාගැබ හරහා ගෙන ගොස් කථානායවරයා ඉදිරිපිට තැබිය යුතු බවද කියා සිටියේය.

ආණ්ඩු පක්ෂයේ කතික ලැයිස්තුවේ මන්ත්‍රීවරුන් 21 දෙනෙකු සිටියද වෙනත් කතිකයන් යොදාගනිමින් විවාදය පැවැත්වීමට ආණ්ඩු පක්ෂයට සිදුවූ බවද බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ ඊයේ (21) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු පැවසී ය.

ආණ්ඩුව මාරාන්තික වැරදි කිහිපයක් කළා

ආණ්ඩුව දේශපාලනයේ පිරිහීම හා අවලංගුභාවය වසා ගැනීම සඳහා පෙරේදා දිනයේ දී දේශපාලනික වශයෙන් මාරාන්තික වශයෙන් වැරදි කිහිපයක් සිදු කළ බවද එක්සත් ජාතීන්ගේ සැසිවාරය අමතමින් ශ්‍රි ලංකා රාජ්‍ය නායකයා රැඳී සිටින අවස්ථාවක ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඝාතනය කිරීමට පියවර ගැනීම ඉතාම කණගාටුදායක ක්‍රියාවක් බව ද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

පළාත් සභා ඡන්ද විමසීමේ සංශෝ‍්ධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීම තුළින් මුලික කරුණු කිහිපයක් සිදුවු බව ද අලහප්පෙරුම මහතා පැවසී ය.

ඒ අනුව ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණය සතු ශ්‍රේෂ්ඨත්වය නැති කර දැමූ බවත් අධිකරණමය බලය පැහැර ගනු ලැබු බව ද පළාත් සභා මැතිවරණය ඡන්ද විමසීමකින් තොරව කල් දැමිය නොහැකි යන තීන්දුව ලබා දී තිබියදිත් සිදු කරනු ලැබු මෙම ක්‍රියාව හේතුවන් අධිකරණය සූරා ඉවත් කරනු ලැබු ලොතරැයියක් බවට පත් කළ බව ද ඩලස් අලහප්පෙරුම මහතා පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් ආණ්ඩුව ඒකාධිපති පාලනයක් සඳහා යන ඕනෑම අයෙක්ට ගමන් කළ හැකි විසකුරු මාර්ගයක් විවෘත කළ බව ද සඳහන් කළ මන්ත්‍රීවරයා, මින් පසු පාර්ලිමේන්තුව තුළ 2/3 ක් තිබෙන ඕනෑම අයෙක්ට අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැකි සංශෝධනයක් සිදු කළ හැකි බව ද ප්‍රකාශ කළේය.

මේ තුළින් නීතිපති දෙපාර්තමේන්තුව හා මැතිවරණ කොමිසම වැනි ආයතන ඉතා ලාබ මුද්‍රාවක් බවට පත් වු බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 24 September 2017 12:31