March 28, 2024

විමල්ට වැරදීමක්? විමල් ඇතුළු ගෝලයින් ඉල්ලා අස්වුණේ මන්ත්‍රීධූරයෙන්ලු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා සහ ගෝලයින් සිව් දෙනා ඉල්ලා අස්වීමෙන් පෙනී යන්නේ සිය මන්ත්‍රී ධූරයෙන්ද ඉල්ලා අස්වූ බව යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව මන්ත්‍රීවරුන් 225ක් සිටින සමස්ථ පාර්ලිමේන්තුවම නියෝජනය කරන සභාවක් බවත් එම මන්ත්‍රීවරුන් 225දෙනා නිල බලයෙන් සාමාජිකයින් වීම නිසා ඉල්ලා අස්වීම කියා දෙයක් නැති බවත් නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

එලෙස ඉල්ලා අස්වන්නේ නම් අස්විය යුත්තේ මන්ත්‍රී ධූරයෙන් බවත් ඒ අනුව පෙනී යන්නේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා සහ ගෝලයින් සිව් දෙනා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ බවත් නැතහොත් නොදන්නාකමට නොතේරුම්කමට කළ වරදක් ලෙස එය සිතිය හැකි බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

නමුත් නීතිය දැන හෝ නොදැන මෙවැනි විහිලු සැපයීම නිසා විමල් වීරවංශ මන්ත්‍රීවරයාට ජනතාව ඉතා සතුටින් ප්‍රතිචාර දක්වනු ඇති බව ද ඔහු වැඩිදුරටත් අදහස් දැක්වීය.

කෙසේවෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඉවත් වන බවට ඊයේ(19) කතානායකවරයාට ලිපියකින් දැනුම් දී තිබිණි.

ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉකුත් පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරඟ වැද ජයග්‍රහණය කොට පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් පස් දෙනෙකු ඊයේ පාර්ලිමේන්තුවේදී කථානායක කරූ ජයසූරිය මහතාට මේ බව ලිඛිතව දැනුම් දුන්නේය.

ඒ අනුව එම පක්ෂයේ නායක විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, නිරෝෂන් ප්‍රේමරත්න සහ පද්ම උදයශාන්ත ගුණසේකර යන මහත්වරුන් මෙලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත්වී ඇත.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ ඉදිරියටත් රැඳී සිටින බවට තීරණය කර ඇතැයි ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවසී ය.

National Freedom Front Withdraws From Constitutional Assembly

Rate this item
(2 votes)
Last modified on Friday, 21 July 2017 12:04