March 28, 2024

වෘත්තීය සමිතිවලට ෆොන්සේකාගෙන් රතු එළියක්: නව තනතුර ගැනත් කියයි 

ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවය වැටහෙන බවත් ඒ අවශ්‍යතාව වෙනුවෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ කැලණියේදී ඊයේ (27) පැවැති අවුරුදු උත්සවයකට සහභාගි වෙමිනි.  

පසුගිය දිනක පැවති කැබිනට් සාකච්ඡාවකදී හමුදාපති හෝ ආරක්ෂක අංශ ප්‍රධානි තනතුර බාරගැනීමට සූදානම්දැයි ජනපතිවරයා තමන්ගෙන් විමසූ බවත් ඊට තමන් එම අවස්ථාවේදී ‘නැහැ‘ යැයි ප්‍රකාශ කළ බවත් ෆොන්සේකා මහතා කීවේය.

“වෘත්තීය සමිති ඇත්තේ ඔවුන්ගේ සුභසාධනය වෙනුවෙන් පියවර ගැනීමටයි. නමුත් ඔවුන් දේශපාලන හෙංචයියන් වී දේශපාලන අරමුණු සඳහා රජය කඩාකප්පල් කර රජය පෙරළීමට හදනවානම් එය වෘත්තිය සමිති අයිතිවාසිකමක් නොවේ. ජනතා ඡන්දයෙන් පත්වූ ආණ්ඩුව ජනතාවට නිදහස දුන්නා. ඒ නිදහසෙන් අයුතු විදිහට ප්‍රයෝජන ගන්න හදනවා නම්, ජනතා ජීවිතය අඩපණ කරලා ජනතාවට හිරිහැර කරලා රාජ්‍ය තන්ත්‍රය අඩපණ කිරීමට හදනවානම් රජයක් විදියට ඒකට ඉඩදෙන්න බැහැ“ යැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

“ජනතාව වෙනුවෙන් ඒ අයට යම් යම් පියවර ගන්න වේවි. මේ දවස්වල වෘත්තීය සමිති වැඩ කරන හැටි මම දැක්කා. සල්ලි තියෙන දේශපාලනඥයින් මේ පිටුපස ඉන්නවා. එවැනි දේවලට ඉඩ දෙන්න බැහැ. රජය ආරක්ෂා කරන්න ඕනෑ“ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

Last modified on Friday, 28 April 2017 11:59