April 25, 2024

ශ්‍රීලනිපයේ සංවිධායක මාරුව: එජාප කුමන්ත්‍රණයක්? 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක තනතුරුවලින් තමා ඇතුළු තිදෙනෙකු ඉවත් කිරීම එක්සත් ජාතික පක්ෂයේ කුමන්ත්‍රණයක් බවට සැකයක් ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අක්මීමණ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳ අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව කියා සිටියේය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

“අපි ජනතා විරෝධී කිසිම ක්‍රියාවක් කර නැහැ. මගේ පියා වන රිචඩ් පතිරණ ඇමැතිතුමා පක්ෂය වෙනුවෙන් කැපවී කටයුතු කළ දේශපාලනඥයෙක්. අපි මේ අන්දමට ඉවත් කිරීමේ වාසිය ලැබෙන්නේ එක්සත් ජාතික පක්ෂයටයි. අපි පාරම්පරිකව ඉතා පිරිසුදු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්. මේ අන්දමට අපට කෙනෙහිලිකම් කරන්නේ ඇයිද කියා තේරුම් ගන්න බැහැ. පක්ෂය අප සංවිධායක තනතුරුවලින් ඉවත් කළත් අප ජනතාවගේ සංවිධායකයන්.“

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධ නොමැති බවත් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් අද ක්‍රියාත්මක වන බවත් රත්ගම ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ මොහාන් පී. ද සිල්වා මහතා පවසයි.

සංවිධායක තනතුරින් ඉවත් කිරීම පිළිබඳ අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසී ය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපි විරුද්ධ නැහැ. අප අතර ඇත්තේ මත වාදයක් පමණයි. එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් අද ක්‍රියාත්මක වෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව කරන යහපාලන ආණ්ඩුවක් කියා ඒ අය කියා ගත්තාට අද තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්. රාජ්‍ය දේපළ විකිණීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති නොවේ.

දේශීය ආර්ථිකය ශක්තිමත් කර රට නඟාසිටුවීම එස්. ඩබ්ලිව්. ආර්. බණ්ඩාරනායක අගමැතිතුමාගේ ප්‍රතිපත්තිය වුණා. එහෙත් අද සිදුවන්නේ ඊට විරුද්ධ වැඩපිළිවෙළක්. බණ්ඩාරනායක ප්‍රතිපත්තිවලට විරුද්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු කරනවා. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ ග්‍රහණයට හසුවෙලා. අප මේ අන්දමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක තනතුරුවලින් ඉවත් කරන්නේ පක්ෂය ශක්තිමත් කිරීමටද කියා ප්‍රශ්න කරනවා.

2020 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන බව කියනවා. එහෙත් සැබෑ අරමුණ 2020දී රනිල් වික්‍රමසිංහ ජනාධිපති කිරීමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව පක්ෂය විනාශ කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තියෙනවා. “යැයිද මොහාන් ද සිල්වා කීය.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික් සන්ධානයේ මන්ත්‍රිවරුන් වන ‍රමේෂ් පතිරණ හා නීතිඥ මොහාන් පී. ද සිල්වා යන මහත්වරුන් අක්මීමණ හා රත්ගම යන ආසනවල සංවිධායක ධුරවලින් හා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා බළපිටිය ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කොට එම ආසන සඳහා ශ්‍රී ලනිප පක්ෂය මඟින් නව සංවිධායකවරුන් තිදෙනකු පසුගියදා පත් කළේය.

රමේෂ් පතිරණ මන්ත්‍රිවරයා විසින් දැරූ අක්මීමණ ආසනයේ ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක ධුරය සඳහා දකුණු පළාත් සභාවේ කෘෂිකර්ම ඇමැති නීතිඥ යූ.ජී.ඩී. ආරියතිලක මහතා පත්කොට ඇත.

මොහාන් පී. ද සිල්වා මන්ත්‍රිවරයා විසින් දැරූ රත්ගම ආසනයේ සංවිධායක ධුරය සඳහා දකුණු පළාත් සභා මන්ත්‍රි අමරසිරි කුරුවගේ මහතා පත්කොට ඇත.

කුරුවගේ මහතා පසුගිය දකුණු පළාත් සභා මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් පළාත් සභාවට තේරීපත් විය. ඔහු පසුව ශ්‍රීලනිපයට එක්විය.

බළපිටිය ආසනයේ සංවිධායක ධුරය දැරූ පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා වෙනුවට පත්කොට ඇත්තේ බළපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු වන ඒ දයාරත්න ද සිල්වා මහතාය. නව සංවිධායකවරුන් වෙත අදාළ පත්වීම් ලිපි පෙරේදා (21) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ලබාදෙනු ලැබීය.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 24 March 2017 15:05