April 25, 2024

'බැඳුම්කර නිකුතුවට මහින්ද සම්බන්ධ නෑ' 

February 27, 2017

මතභේදයට තුඩු දී ඇති මහ බැංකු බැඳුම්කර නිකුතුවට අදාළ යැයි සදහන් ගැසට් පත්‍රයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කිසිදු සම්බන්ධයක් නැති බව මහබැංකු අධිපති ඉන්ද්‍රිජිත් කුමාරස්වාමි මහතා පිළිගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

එසේම අදාළ බැඳුම්කර නිකුතුව සම්බන්ධව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කිසිදු වගකීමක් නොදරන බව මහබැංකු අධිපතිවරයා පැවසූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මහබැංකු බැඳුම්කර සිද්ධියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ දී හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසී ය.

ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ඇතුලූ මන්ත්‍රීවරුන් පිරිසක් මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි හමුවී අද සාකච්ඡාවක් පැවැත්වූහ.

එහිදී මහ බැංකු අධිපතිවරයා පැවසූයේ බැඳුම්කර නිකුතුවේ ගැසට් පත්‍රය පරිපාලන ක්‍රමවේදය අනුව වසරේ මුල මාසයේ නිකුත් කරන බවත් ඒ සඳහා වෙළෙඳපොල අවශ්‍යතාවයක් මත යම්කිසි පද්ධතියක් සකස් කර තිබෙන බවත් ඒ අනුව ක්‍රියාත්මක වුවහොත් පොලී අනුපාත නිවැරදිව ප්‍රකාශ කළ හැකි බවත්ය.

ජනවාරි 01 වනදා වසරේ පළමු රාජකාරී දිනය හේතුවෙන් එම දිනය ඇතුලත් වන පරිදි එම ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවද හෙතෙම සඳහන් කළේය. 

එම ගැසට් පත්‍රයට ගැසට් අංකය ලබා දී ඇත්තේ ජනවාරි මස වන අතර එම ගැසට් පත්‍රය නිකුත් කර අත්තේ 2015 නොවැම්බර් මාසයේදී බවත් පැවසූ මහ බැංකු අධිපතිවරයා මීට පෙරද මේ ආකාරයට ප්‍රමාද වී ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවත් එය ශ්‍රී ලංකා මහ බැංකුව හිතාමතාම සිදුකල දෙයක් නොවන බවත් පෙන්වා දුන්නේය.

1997 වසරේ සිට මුදල් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සිටියද මහ බැංකු බැඳුම්කර නිකුතුවේ ගැසට් පත්‍රය නිකුත් කිරීමේදී ඊට අත්සන යොදා ඇත්තේ එම වසරේ ජනවාරි 01 වනදා සිටින මුදල් අමාත්‍යවරයා බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 28 February 2017 10:57