January 24, 2018

කොළඹ අසංවිධිත ඉදිකිරීම්වල ජීවත් වන වරප්‍රසාද නොමැති ජනතාවට සුරක‍්ෂිත ජීවන රටාවක් හිමිකරදීම තම අරමුණ බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ පුරපති ධූර අපේක්ෂිකා රෝසි සේනානායක මහත්මිය පවසයි.

ඒ අනුව කොළඹ නගරය ආසියාවේ සුන්දරම නගරය කිරීම මෙන්ම එහි ජීවන රටාව ආසියාවේ ඇති උසස්ම ජීවන රටාවන් අතරට ගෙන ඒම තම අරමුණ බව ඇය පෙන්වා දෙයි.

ඒ සඳහා තමාට ඇති ජාත්‍යන්තර සබඳතා පූර්ණ වශයෙන් යොදාගන්නා බව රෝසි සේනානායක මහත්මිය අවධාරණය කළේය.

“නගරයක දියුණුව හෝ සුන්දරත්වය මැනිය හැක්කේ ගොඩනැගිලි හෝ මං මාවත් වලින් පමණක් නොවේ. එකී නගරයේ ජනතාවගේ ජීවන රටාව උසස් තලයකට ගෙන ඒමද අතිශයින් වැදගත්. මේ වනවිට කොළඹ අසංවිධිත ඉදිකිරීම්වල ජීවත් වන අව වරප්‍රසාදිත ජන සංඛ්‍යාව අති විශාලයි. නිසි අධ්‍යාපනයක්, සෞඛාරක‍ෂිත වටපිටාවක්, සුරක‍ෂිත ජීවන රටාවක් ඔවුන්ට හිමිකරදීම මගේ අභිලාෂයයි. මෙමගින් කොළඹ නගරය ආසියාවේ ඇති සුන්දරම නගරය පමණක් නොව, එහි ජීවන රටාව ආසියාවේ ඇති උසස්ම ජීවන රටාවන් අතරට ගෙන ඒම අපේක්ෂා කරන අතර, ඒ සඳහා ජාත්‍යන්තර සබඳතා පූර්ණ වශයෙන් යොදාගන්නවා” යැයිද ඇය සඳහන් කළාය.

බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවෙහි පිටපත් 26 (ඉංග්‍රීසි) ක් සහ සංක්ෂිප්ත වාර්තාවක් ද, බරපතළ වංචා සහ දූෂණ පිළිබඳ විමර්ශන වාර්තාවෙහි පිටපත් 34 (සිංහල) ක් ද පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත බාර දී තිබේ.

ඒ අනුව අද (17) පෙරවරු 11.18ට ජනාධිපති කාර්යාලයේ නීති නිලධාරී නීතිඥ මුදිත දිසානායක මහතා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත එය බාර දී ඇති බව කථානායක කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

වත්මන් ආණ්ඩුව වැඩසටහන් සකස් කළේ මධ්‍යම අධිවේගී මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමට බවත් අවට තිබෙන අඩු පහසුකම් සකස් කොට නව ආර්ථිකයක් බිහි කිරීමට බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ මධ්‍යම අධිවේගී මාර්ගයේ වත්මන් ඉදිකිරීම් තත්ත්වය පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (16) කුරුණෑගල නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනි.

අනතුරුව මධ්‍යම අධිවේගී මාර්ගයේ ගල්දෙණිය ප්‍රදේශයේ වත්මන් ඉදි කිරීම් තත්ත්වය පිළිබඳව නිරීක්ෂණය සඳහාද අග්‍රාමාත්‍යවරයා පැමිණියහ.

අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට අගමැතිවරයා මෙසේ අදහස් දැක්වීය.

“අපි දැන් පාවිච්චි කරන්නේ සුද්දන් හැදුව පාර. දැන් මෙතන තියෙන්නේ ලාංකික අපි හදන පාර. මේ පාර කොළඹින් අවසන් වෙන්නේ නැහැ. අපි ආණ්ඩුවක් හැටියට අපේ වැඩසටහන් සකස් කරේ මේ පාර හම්බන්තොට වෙනකන් ගෙනිහිල්ලා ඒ අවට තියෙන අඩුපාඩුකම් සකස් කරලා අලුත් ආර්ථිකයට ඕනේ යටිතල පහසුකම් මේ ප්‍රදේශයේ තියා ගන්න. විශේෂයෙන්ම වරායවල් දෙකක්, ගුවන්තොටුපළවල් දෙකක් එකතු කරන වෙළඳ කලාප, සංචාරක ව්‍යාපාර. ලංකාවේ ප්‍රධාන නගර එකතු කරන මහා මාර්ග නිසා විශාල දියුණුවක් අපේ රටට එන්ට යනවා. අපි ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය කරනවා නම් කේන්ද්‍රස්ථානය වෙන්නේ මේ නව පාර නිසා. මේ මහා මාර්ගය ඇති කරාම බලාපොරොත්තු වෙනවා පැයකින් පැය එකහමාරකින් කොළඹට එන්න. පැය තුන හමාරක් යයි හම්බන්තොටට යන්න.”

ජනාධිපතිවරයාගේ කඩුව සෙල්ලම් කඩුවක් බවත් හොරුන්ට හොරු අල්ලන්න හැකියාවක් නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඊයේ (16) මාලබේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වු ටිල්වින් සිල්වා මහතා මෙසේ ද පැවසීය.

“මේ දවස්වල මෛත්‍රීපාල මහත්තයා කියන්නේ මොකක්ද? එයා කියන්නේ මේ දුෂිතයෝ පරද්දන ඕනේ. මේක සුද්ධ කරන්න, පිරිසිදු කරන්න ඕනේ. මගේ කඩුවෙන් කවුරු කැපෙයිද දන්නේ නැහැ කියලා කියනවා. හැබැයි බැලුවම ඒක ඇත්ත කඩුවක් නෙවෙයි. සෙල්ලම් කඩුවක්. කවුරුත් කැපෙන්නේ නැහැ ඉතින්. ඒ අස්සේ අනිත් පැත්තෙන් මහින්ද රාජපක්ෂ මහත්තයා මීට පස්සේ කොන්ත්‍රාත් කරන්න දෙන්නේ නැහැලු. මීට පස්සේ. ඒ කියන්නේ කලින් කළා. වංචාව නවත්තන්න බැහැ වංචාව කරන කෙනාට. දුෂණය නවත්වන්න බැහැ දුෂිතයන්ට. තනි වචනෙන් ගත්තොත් හොරුන්ට හොරු අල්ලන්න බැහැ. මේ දවස්වල ලොකුම කතන්දරේනේ මේ බැඳුම්කර වාර්තාව ගැන.”

“අපිත් කියනවා මේකට දඬුවම් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. මේක අතේ මාට්ටු වුණ එක්කනේ. රිපෝර්ට් එකේ බඩු තියෙනවා. දැන් මොකද කරන්නේ? ඒක අතේ තියාගෙන හැංගිමුත්තන් කරනවා. ප්‍රසිද්ධියේ අහපු නඩුවක්නේ මේක. ඒකෙ වාර්තා මොකටද හංගන් ඉන්නේ? දැන් ඔය කොමිෂන් එක වගේම බරපතල මුල්‍ය වංචා පිළිබඳ කොමිසම මතකද? පරීක්ෂණ අවසන් කරපු දැන් ෆයිල් 34ක් තියෙනවා. ඒවා රටට මතකත් නැහැ, අපට මතකත් නැහැ, ජනාධිපතිතුමාට මතකත් නැහැ. ඒක යට ගිහිල්ලා. ඒකෙ උඩට වැටිලා බැදුම්කර ෆයිල් එක. දැන් ඕක උඩ තව එකක් ආවොත් ඒකත් යට යයි. ෆයිල්වලින් ෆයිල් යට යනවා. හොරු ටික ලස්සනට ඉන්නවා.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

පාර්ලිමේන්තු ගැටුම ඇති වූ දිනයේදී කථානායකවරයාට පීඩනයක් තිබෙන්නට ඇති බවත් ඇතැම් විට කථානායකවරයා හෙට අනිද්දා වන විට ඉල්ලා අස්වීමට හැකි බවත්  එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඒ ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පැවති මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමිනි.

“සැලැස්මක් තියෙනවා. අපි පස් හය දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරලා ලොකු ප්‍රසිද්ධියක් දීලා මේ 55දෙනාම අපි ඉවත් කරනවා කියන මතවාද අවසාන සතියේ සමාජගත කරන්න උත්සාහ කරනවා. ඒ ඇතුළේ අයමයි කිව්වේ මෙහෙම වැඩපිළිවෙලක් තියෙනවා කියලා. එදා 2015 ජනවාරි 08 වෙනිදා අපේ මහ ලේකම්ලා දෙන්නා ඉවත් කළා. ලියමනක් ලිව්වා මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බහුතරයක් ගත්තත් අගමැතිකම දෙන්නේ නැහැ මහින්ද රාජපක්ෂ මැතිතුමන්. ඒ යම්කිසි විදියේ පීඩනයක් අපේ දේශපාලන ධාරාව තුළ ඒකට තිබුණා. ඒ දේම කරන්න නැවත වරක් උත්සාහ කරනවා මේ අවසානයේ. ලබන අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ වෙනකොට මේ රටේ ජනාධිපතිවරයාට තියෙනවා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න. මාස 18යි තියෙන්නේ. මේ 2020 වෙනකන් අපි ආණ්ඩු කරනවා කියන එක පට්ටපල් බොරු. බය නැති අගමැති කියලා පෝස්ටර් ගහනකොට පෙළක් අය කියනවා ලැජ්ජා බය කියන එක නහරවල් කපලා තියෙන්නේ. හම්බන්තොට වරාය මහ ලොකුවට චෙක් එකක් උස්සගෙන බයිලා නටනවා රටේ අගමැතිවරයා.”

“රජයේ සේවකයන් මන් දන්න විදියට දෙදහස් ගාණක් ගෙනිහිල්ලා තියෙනවා FCID,CID එකට. ඉතාමත්ම දක්ෂ පරිපාලනයක් තිබුණ රටක්, ඔවුන් තීන්දු තීරණ ගන්න බය වුණේ නැහැ. අද ඔවුන් පෑනක් උස්සන්නේ නැහැ.ඉස්සුවොත් උස්සන්නේ එක කමෙන්ට් එකයි ගහන්නේ උපදෙස් පතමි. අන්තිම එක්කෙනාගෙන් ගහනවා උපදෙස් පතමි. ඊළඟ එක්කෙනා ගහනවා උපදෙස් පතමි.අන්තිමට ඇමැති ගාවට යනවා. ඇමැතිගේ මෙසේ තියෙනවා ෆයිල් ගොඩක්. උපදෙස් පතමි කියලා. ඇමතිතුමා  ඒකට ගහනවා කරුණාකර මේ සම්බන්ධව වාර්තාවක් දෙන්න. ආයේ එයා ගහනවා උපදෙස් පතමි, උපදෙස් පතමි. වැඩ වෙන්නේ කොහොමද? අගමැතිවරයා අදත් කියනවනේ මමයි ලියමන ඇරියේ ජනාධිපතිට මේ වාර්තාව වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න, පාර්ලිමේන්තුව කැඳවන දිනය පවා කියලා එදාට ගේන්න කියනලනේ අගමැතිතුමා කියන්නේ. කතානායකවරයා කියනවා ඒක තවම අපිට ලැබුණේ නැහැ. හැබැයි අගමැතිවරයාට වාර්තාවක් තියෙනවා. අගමැතිවරයා කොළ ගොඩක් තියාගෙන වාර්තාව පටන් ගන්නවා. එතකොට සැලසුම් කළේ අපිද?, කථානායක නොදැන හිටියද? කථානායකට ඔය පීඩනය තියෙන්න ඇති. මන් හිතන්නේ එතුමා හෙට අනිද්දා ඉල්ලා අස්වෙයි. එතුමාට කොන්දක් තියෙනවා කියලා හැමෝම කියනවා. ලැජ්ජත් හිතෙනවා, කණගාටුත් හිතෙනවා, වයසට ගරු කරලා නම්බුකාර විදියට එතුමා ගෙදර යයි කියලා හිතෙනවා.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මැති ඇමැතිවරුන් තමන්ට විරුද්ධව කරන ප්‍රකාශවලට දැඩි විරෝධය පළ කරමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (16) පැවැති කැබිනට් රැස්වීමෙන් නැගිට ගොස් ඇතැයි වාර්තාවේ.

එසේ නැගිට යාමට පෙර ජනාධිපතිවරයා ඇමැතිවරුන් හමුවේ දීර්ඝ කථාවක් ද කර තිබේ.

ඊයේ පැවැති කැබිනට් රැස්වීම ආරම්භයේ දීම කැසට් රෙකෝඩරයක්ද රැගෙන රැස්වීමට පැමිණි ජනපති සිරිසේන මහතා තමන් විසින් අද කරනු ලබන ප්‍රකාශයට කැමති අය මෙන්ම අකමැති අයද සිටිය හැකි නමුත් තමන් මෙම ප්‍රකාශය කරන බවත් පවසා ඇත.

විනාඩි 35ක කාලයක් දැඩි ස්වරයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා එජාපයේ හරීන් ප්‍රනාන්දු, එස්.එම්.මරික්කාර්, නලින් බණ්ඩාර හා සුජීව සේනසිංහ වැනි ඇමැතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ගේ නම් සඳහන් කරමින් දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබේ.

තමා බැඳුම්කර කොමිසම පත්කළේ එජාපයට මඩ ගැසීමට නොව හොරුන්ට දඬුවම් කිරීමට බව පවසා ඇති ජනපතිවරයා හොරුන්ට දඬුවම් දෙනවාට විරුද්ධ ද නැද්ද යනුවෙන් විමසා ඇත.

රවී කරුණානායක මුදල් ඇමැති ධූරයටත් අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධූරයටත් පත් කිරීමේදී තමා දැඩි විරෝධය පළ කළ බව කී ජනපති සිරිසේන මහතා එදා තමන් කී දේ ඇසුවානම් අද මෙවැනි අර්බුදයක් ඇතිනොවන බවද පවසා ඇත.

මේ ආකාරයට ආණ්ඩු කළ නොහැකි බව කී ජනපති සිරිසේන මහතා ආණ්ඩුව කරගෙන යනවාද නැද්ද යන්න එජාප මැති ඇමැතිවරුන් තීරණය කළ යුතු බවද කියා සිටිමින් රැස්වීමෙන් පිටව ගිය බවද වාර්තාවේ.

අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරුන් කිහිප දෙනකු ජනපති කාර්යාලයට ගොස් මෙවැන්නක් ඉදිරියට ඇතිවීමට ඉඩ නොතබන බව කියමින් ජනපතිවරයා නැවත කැබිනට් රැස්වීමට කැඳවාගෙන පැමිණ ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තුවේම හොරකන් නොකරපු අය ඉන්නේ 06 දෙනෙක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඊයේ (15) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ටිල්වින් සිල්වා මහතා මෙසේ ද පැවසීය.

“රට හදන්න යවපු කට්ටිය පාර්ලිමේන්තුවේ දෙපැත්තේ ඉදගෙන යමරෙට කතන්දරේ හොරා හොරා කියලා කෑ ගහනවා. හොරු හොරු කියලා කෑ ගහනවා. කෑ ගහලා නතර වුණාද? ඊට පස්සේ පාර්ලිමේන්තුවේ අර මැද්දට ඇවිල්ලා ගහගන්න පටන් ගත්තා. සමහරු දැන් පැලැස්තර දාගෙන එන්නේ. කම්බුල් තුවාල වෙලා, දත් ගැලවිලා, අතපය ඇඹරිලා. කවුද මේ? ඇමතිවරු, මන්ත්‍රීවරු අගමැතිතුමා පොලොබෝගෙන. දැන් සන්තෝසයිද? ඒ අපේ රටේ දේශපාලන සදාචාරය විනාශ කරපු, ලෝකෙට ලංකාව ලැජ්ජාවට පත් කරපු පාර්ලිමේන්තුවේ මහා දැවැන්ත රණ්ඩුව වෙලාවේදී ඒකට දායක වෙන්නේ නැතුව විනයගරුකව හිටපු එකම දේශපාලන පක්ෂය තමයි ජනතා විමුක්ති පෙරමුණ. අපි 6 දෙනා ඒකෙ හිටියේ නැහැ. ඒ විතරක් නෙවෙයි දෙගොල්ලන්ට හොරු හොරු කියලා කෑ ගහද්දි ඒ දෙගොල්ලන්ගෙන් කවුරුවක්වත් හොරා කියලා ඇගිල්ල දික් කරේ නැත්තේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 06දෙනාට විතරයි. මේ පාර්ලිමේන්තුවේ අපි අවධාරණය කරලා කියනවා හොරකම් නොකරපු ඉන්නේ 06යි. ඒ හයදෙනා කවුද?? ජනතා විමුක්ති පෙරමුණේ 06දෙනා විතරයි හොරකම් නොකරපු අය ඉන්නේ නිසා. ඒ හයදෙනාට ජන්දේ දීපු අයට විශාල ගෞරවයක් තියෙනවා.”

අවිනීත වැඩ කරන වෙබ් අඩවි වලට එරෙහිව පියවර ගන්න යැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ බේරුවල වෙරළ ක්‍රිඩාංගණයේ පැවති රැස්වීමක් අමතමිනි.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

 “වත්මන් රජය රටට මොකද කළේ කියලා කවුරුත් අහනවා. මාධ්‍ය දිහා බැලුවමත් රටට මොකවත් නොකළ බවයි පෙන්වන්නේ. නමුත් පසුගිය රජය වංචා, දුෂණ සිදු කරමින් රට තුල භෞතික සංවර්ධනයක් ඇති කළ බව මාධ්‍ය මගින් පෙන්වා දෙනවා. රාජපක්ෂවරුන් එක්ක මගේ පෞද්ගලික තරහක් නැහැ. දේශපාලන ගැටුමක් විතරයි තිබෙන්නේ. බැසිල් රාජපක්ෂ මගේ පන්ති මිතුරා, ගෝඨාභය රාජපක්ෂත් එහෙමයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වසර 40 ක මිතුරෙක් එම නිසා පවුලේ සියලුදෙනාම මම අදුරනවා. 2015 වසරේ ජනවාරි 08 වනිදා පැවැති මැතිවරණයේ ප්‍රචාරක කටයුතු මටත් විමල් වීරවංශටත් බාරදෙන්න තමයි බැසිල් රාජපක්ෂ මහතා සැලසුම් කර තිබුනේ. නමුත් රාජපක්ෂ රජය ගෙන ගිය වැඩපිළිවෙළට මම විරෝධය පළ කළා. ත්‍රස්තවාදය තුරන් කිරීමට මම සහයෝගය ලබා දුන්නා. යුධ ජයග්‍රහණය පිළිබදව මාධ්‍ය හමුවේ කරුණු ඉදිරිපත් කළේ මමයි. ජනතා ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන්නා. නමුත් යුධ ජයග්‍රහණයෙන් පසු රජය හැසිරුණු ආකාරය ඉතාම නරකයි. ජාතිවාදය, ආගම්වාදය, මනුෂ්‍ය ඝාතන වලට විරුද්ධව මම අදහස් පළ කළා. මහා පරිමාණ වංචා, දුෂණ සිදු කළා. ඒ පිළිබද පරීක්ෂණ අපේ රජය විසින් ආරම්භ කළ අවස්ථාවේ දී හිටපු අධිකරණ අමාත්‍යවරයා එම පරීක්ෂණ මන්දගාමී කළා. ඉන් පසුව පත් කළ අධිකරණ අමාත්‍යවරිය එම පරික්ෂණ වේගවත් කිරීමට පියවර ගත්තා. හිටපු අධිකරණ අමාත්‍යවරයා රාජපක්ෂලා සමග ගනුදෙනු කරමින් තමයි පරීක්ෂණ මන්දගාමී කළේ.”

“වර්තමානයේ මැතිවරණ කොමිසම ශක්තිමත් කර තිබෙනවා. අද මැතිවරණ කොමිසමේ සභාපතිවරයාත් ශක්තිමත්ව කථා කරනවා. රාජපක්ෂ පාලන සමයේ දී කථා කළා නම් මරණ තර්ජනත් එල්ල වෙනවා. අද නිදහසේ අදහස් දැක්වීමට අවස්ථාව ලැබී තිබෙනවා. මේ වනවිට රාජපක්ෂලාගේ පවුලේ සැමටම නඩු. හිටපු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එයාර් ලංකා ගුවන් සේවිකාවකට ලක්ෂ 04 ක වැටුප් ලබා දෙමින් ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ තබාගෙන කටයුතු කළා. එයාර් ලංකා සමාගමේ සභාපතිවරයාට එම ගුවන් සේවිකාව කථා කළේ නම කියලයි. ගෝඨාභය රාජපක්ෂට සහ නාමල් රාජපක්ෂට සර් කියපු අයත් අමාත්‍ය මණ්ඩලයේ හිටියා.  යහපාලන රජය ස්ථාපිත කළේ කොහොමද කියලා දන්නේ නැති අමාත්‍යවරුත් අපේ රජයේ ඉන්නවා. ඇතැම් මාධ්‍ය ලබා දී ඇති නිදහස භූක්ති විදිමින් ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව කටයුතු කරනවා. එවැනි අවිනීත වැඩ කරන සමාජ වෙබ් අඩවි වලට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස මම ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා. රජයට විරුද්ධව නඩු තීන්දු ලබා දෙනවා. ඒ සදහා විනිශ්චයකාරවරුන්ට නිදහස ලබා දී තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්න බැහැ කියලත් තීන්දුවක් ලබා දුන්නා. රාජ්‍ය සේවා කොමිසන් සභා ස්ථාපිත කර තිබෙනවා. නමුත් අපේ රජයේ වැරදි තිබෙන්න පුළුවන්. බුද්ධියෙන් හිතන්න නව මැතිවරණ ක්‍රමය ස්ථාපිත කිරීමට රජය කටයුතු කළේ ගහ මරා ගන්නා දේශපාලනය නතර කිරීමටයි. මෙම තත්ත්වය පළාත් සභා මැතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණ වලටත් ගෙනඒමට අපි කටයුතු කරනවා. රාජපක්ෂලා ආණ්ඩුව පෙරලන්න උත්සාහ කරනවා. මොක ද නඩු ඉවර කර ගැනීම සදහායි.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

 

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සිට කොලොන්නාව තෙල් නිමාව දක්වා ඉන්ධන රැගෙන යන ඉන්ධන නළයක කාන්දුවක් සිදු වි තිබේ.

අද අලුයම් කාලයේ සිට එම නළයෙන් ඉන්ධන කාන්දු වූ බව වාර්තා වේ. එලෙස කාන්දු වූ ඉන්ධන කොලොන්නාව ඇළ මාර්ගයකට මුසු වී ඇති බවද සඳහන් වේ.

කෙසේවෙතත් මේ වන විට එය යථා තත්ත්වයට පත් කර ඇති බවද වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ දී පසුගිය 10 වන දින ඇති වූ ගැටුම්කාරී සිද්ධිය සැලසුම් සහගතව සිදුකර ඇති බවට අනාවරණය වී ඇති බව කතානායක කාර්යාලය පවසයි.

එදින පාර්ලිමේන්තුවේ කටයුතු අවුල් කිරීම සඳහා සැලසුමක් තිබූ බවට රාහස්‍ය වාර්තා පාර්ලිමේන්තුවේ ආරක්ෂක අංශයට ලැබී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කතානායක කාර්යාලය සඳහන් කළේය.

එම රාහස්‍ය වාර්තා කතානායකවරයාට ද ලැබී ඇති බව කතානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

බැඳුම්කර වාර්තාවේ පිටපත් එදින සභාවට නොලැබෙන බවට කතානායක කරු ජයසූරිය මහතා දැනුම්දුන් පසුවත්, දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා විසින් දිගින් දිගටම කතානායකවරයා වාර්තාව ලබාදීමට පොරොන්දු වූ බව පවසමින් අශෝබන ලෙස පාර්ලිමේන්තුවේ වැඩකටයුතුවලට බාධා කළ බව කතානායක කාර්යාලය පෙන්වා දෙයි.

අදාළ වාර්තා පිටපත් ජනවාරි මස 17 වන දින ලබාදෙන බවට ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇති බවට කතානායකවරයා නිවේදන කළ ද දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා ඇතුළු කිහිපදෙනෙකුගේ උසිගැන්වීම් තුළ සභා ඝර්භයට පැමිණි මන්ත්‍රීවරුන් විසින් කළින් සැලසුම් කළ ආකාරයට අගමැතිවරයාගේ කතාවට බාධා කරමින් පාර්ලිමේන්තුවේ වැඩකටයුතු අවුල් කිරීමට පියවර ගත් බව අදාළ නිවේදනයේ සඳහන් වෙයි.

එම නිසා පසුගිය 10 වන දින පාර්ලිමේන්තු සභා ඝර්භය තුළ ඇති වූ සිද්ධිය පදනම් කරගනිමින් මේ වන විට සමාජ ගත වෙමින් පවතින පදනම් විරහිත ද්වේශ සහගත අසත්‍ය චෝදනා පිළිබදව සිය කණගාටුව ප‍්‍රකාශ කරන බව කතානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Page 7 of 1677