January 24, 2018

පළාත් පාලන මැතිවරණයට මුලතිව් දිස්ත්‍රික්ක්කයේ පුදුකුඩීරිප්පු ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරණ අපේක්ෂකයෙකුගේ පක්ෂ කාර්යාලයේ පිහිටි පොස්ටර් හා බැනර් වලට කිසියම් පිරිසක් විසින් ගිණි තබා ඇති බවට එම අපේක්ෂකයා ඊයේ (19) පොලීසියට පැමිණිලි කොට තිබේ.

ඔහු පවසා ඇත්තේ තමන්ට විරුද්ධ දේශපාලන කණ්ඩායමක සාමාජිකයින් පිරිසක් විසින් මෙම ගිණි තැබීම සිදු කොට ඇතත් තමන්ට නිශ්චිත වශයෙන්ම ඔවුන් කවුරුන්ද යන්න සැක කල නොහැකි බවයි.

තමන්ට මෙම ගිණි තැබීම නිසා රුපියල් 50 000 ක පමණ අලාභයක් සිදුව ඇති බවද ඔහු පොලීසියට පවසා තිබේ. උතුරු පළාතෙන් මේ වනවිට වැඩිම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව පෙරේදා (18) වනවිට 36ක් බවට වාර්තා වී තිබුණි.

පුදුකුඩීරිප්පු අපේක්ෂකයාගේ පක්ෂ කාර්යාලයේ තිබූ බැනර් වලට ගිණි තැබීමේ සිද්ධිය පිළිබදව පුදුකුඩීඉරිප්පු පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් කාර්යලයටද පැමිණිලි කොට ඇත.

(දිනසේන රතුගමගේ)

ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කවදාවත් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමට නොදෙන බවටත් සියලු කුමන්ත්‍රණයන්ට එරෙහිව සටන් කරන බවට කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පෙරේදා (18) රාත්‍රියේ මන්නාරම් දිස්ත්‍රීක්කයේ මෙවර පලාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණු කාර්යාලයක් විවෘත්ත කිරීමේ අවස්ථාවට සහහභාගී වෙමින් පාක්ෂිකයින් අමතමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය.

“ජනතාව ලබා දෙන වරම වෙනුවෙන් අප විසින් ජනතාව ආරක්ෂාව වෙනුවෙන් අප කවදාවත් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්න ඉඩ තියන්නේ නැහැ ඒ කුමන්ත්‍රණ වලට එරෙහිව අපි සටන් කරනවා. ත්‍රස්තවාදී නායකයා එදා සිංහල සහ මුස්ලිම් ජනතාව උතුරු නැගෙනහිර පලාත්වලින් එලවලා දැම්මා. උතුරු පලාතේ සියලුම දෙනා එලවලා දැම්මා. ඒ ජනතාව අවුරුදු ගානක් දුක් වින්දා අවුරුදු 20 කට පමණ පසුව දුක් විඳපු ඒ ජනතාව නැවත පදිංචියට ගියාම දකුණේ ඇතැම් කණ්ඩායම් අදටත් විවිධ චෝදනා කරන්න පටන් ගෙන තියනවා.”

“ඒ හැම කෙනෙකුටම උත්තරයක් අපි මේ මැතිවරණයෙන් දීල පෙන්නනවා. අගමැතිතුමා වගේම ජනාධිපතිතුමන් අපිට විශ්වාසයෙන් ලබා දුන්නු රාජකාරි අපි හරියට ඉටු කරල තියනවා එදා පාඩු ලබපු ආයතන අද ලාබ ලබන ආයතන බවට පත් කරල තියනවා. අපි ගැන වැරදි ප්‍රචාරය කරපු අයට අපි ගැන ජාතිවාදය අවුස්සපු අයට අපි මේ මැතිවරණයෙන් පෙන්නනවා. අපි ගියේ හරි පාරේ අපෙන් කිසිම කෙනෙකුට හානියකුත් නැහැ. අපි කිසිම කෙනෙකුට හානියක් කරලත් නැහැ කියලා. ඒ ගැන මේ පලාත්වල වල ඉන්න ජනතාව හොඳටම දන්නවා.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

යාපනය සරසවියේ කලා පීඨයේ සිසුන් 08 දෙනෙකුගේ දින නියමයක් නොමැතිව පංති තනම් කිරීමත් සමග පෙරේදා (18) රාත්‍රියේ එම පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටමක් සම්බන්ධයෙන් ලැබුනු පැමිණිළි සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවට යාපනය කෝපායි පොලීසිය කියා සිටියේය.

යාපනය සරසවියේ කළමනාකරණ පීඨයේ සිව්වන වසරේ සහ තුන්වන වසරේ සිසුන් දෙපිරිසක් අතර යාපනය පරමේස්වරන් මන්සන්ධියේ ඇති වූ බහින්බස් වීමක් දුරදග යාමෙන් දෙපිරිස අතර ගැටුමක් ඇති වී තිබෙන අතර අදාල ගැටීම සම්බන්ධයෙන් සිසුන් දෙදෙනෙකු විසින් කෝපායි පොලීසියේ ඊයේ (19) දින උදෑසන පැමිණිල්ලක් දමා ඇත.

කෙසේවෙතත් මේ වන විටත් ඉහත සිසුන් අට දෙනාගේ පංති තහනම් කිරීමට විරෝධය කලා අංශයේ සිසුන් සියල්ලෝම පංති වර්ජනයක නිරත වෙන අතරම ඊයේ දින කලමනා කරණ පීඨයේ සිසුන් දෙපිරිස අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන්ද කෝපායි පොලීසියෙන් සිදු කරන පොලිස් පරික්ෂණ වලට අමතරව යාපනය විශ්වවිද්‍යාල පාලනාධිකාරියෙන්ද විනය පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

ශ්‍රී ලංකාව තුළ අල්ලස් හා දූෂණ තුරන් කිරීම උදෙසා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම පිළිබඳ විද්වත් කතිකාවක් ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව තුළ වංචාව සහ දූෂණය තුරන් කරමින් එමගින් ආර්ථික, සමාජයීය, සංස්කෘතික නීතිමය සහ පාරිසරික වශයෙන් තිරසර සංවර්ධනයක් උදාකර ගැනීම මෙම ක්‍රියාකාරී සැලැස්ම සම්පාදනය කිරීමේ අපේක්ෂාවයි.

අද ලෝකයේ සියලු රටවල් විසින් වංචාව සහ දූෂණය පිටුදැකීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබෙන අතර එම ව්‍යසනකාරී තත්ත්වය වළක්වා ගැනීම සඳහා විවිධ සම්මුතීන්, නීතිරිති සහ යාන්ත‍්‍රණයන් පළාත්, ජාතික සහ ජාත්‍යන්තර මටිටමින් ක්‍රියාත්මක කරමින් සිටී.

ශ්‍රී ලංකාව තුළ ද එකී වැඩපිළිවෙළක අවශ්‍යතාවය හඳුනාගනිමින් දූෂණයට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සම්පාදනය කිරීමට 2017-10-24 වන දින කැබිනට් අනුමැතිය හිමි විය.

ඒ අනුව එම ජාතික ක්‍රියාකාරී සැලැස්ම කඩිනමින් සකස් කිරීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින අතර ඒ සඳහා රාජ්‍ය අංශය, පුද්ගලික අංශය, සිවිල් සංවිධාන, ජනමාධ්‍ය, ප‍්‍රජා පාදක සංවිධාන ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ අදහස් සහ යෝජනා කැඳවීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අපේක්ෂා කරයි.

මෙම ජාතික ක්‍රියාකාරි සැලැස්ම පිළිබඳ විද්වත් අදහස් සහ යෝජනා ලබා ගැනීම අද පැවති සාකච්ඡාවේදී සිදුවූ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ශක්තිමත් කිරීම, විමර්ශන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම, අල්ලස් සහ දූෂණ නඩු මෙහෙයවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම, අල්ලස සහ දූෂණය නිවාරණය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ග ආදි කරුණු පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

එමෙන්ම අල්ලස හා දූෂණය නිවාරණය පිළිබඳ ක්‍රියාත්මක කළ යුතු දැනුවත් කිරීමේ සහ අධ්‍යාපනික වැඩසටහන් ද හඳුනා ගෙන තිබේ. දූෂණ නිවාරණයේ දී රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, සිවිල් සංවිධාන ඇතුළු සමස්ථ මහජනතාවගේ හවුල්කාරිත්වයක් තුළින් ඇතිවන ජාතික ක්‍රියාකාරී කමිටුවක් නිර්මාණය කිරීම තුළින් මහජන නියෝජිතයින්ගේ අල්ලස් සහ දූෂණ වැළැක්වීම සහ මහජන නියෝජිතයින්ගේ සුපිළිපන්න භාවය වැඩිදියුණු කිරීම අපේක්ෂා කරයි.

පෞද්ගලික අංශයේ අල්ලස් සහ දූෂණ ක්‍රියා වැළැක්වීම, රාජ්‍ය ප‍්‍රසම්පාදන සහ මුදල් කළමනාකරණයේ දී ඇතිවිය හැකි අල්ලස් සහ දූෂණ වැළැක්වීම, අල්ලස්, දූෂණ, මුදල් විශුද්ධිකරණය ඇතුළු අපරාධ වැරදිවලින් උපයන ලද වත්කම් ආපසු ලබාගැනීම සම්බන්ධයෙන් සකස් කළ යුතු නීති, අල්ලස් සහ දූෂණය සම්බන්ධයෙන් වන නීතිය සහ ඊට අදාළ වෙනත් නීති සංශෝධන, දූෂණයට එරෙහිව හඬනගන්නන් ආරක්ෂා කිරීම, මැතිවරණවලට මුදල් යෙදවීම සිමා කිරීම සම්බන්ධයෙන් සකස් කළ යුතු නීති රීති පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරේ.

 

ජාතික සෞඛ්‍ය රූපවාහිනී නාළිකව එළිදැක්වීමේ උත්සවය අද (20) කොළඹ දී පැවැත්වෙයි.

ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීමට හා සෞඛ්‍යමත් ජනතාවක් බිහි කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවෙයි. බෝ නොවන රෝග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, පවුල් සෞඛ්‍ය සම්බන්ධව පුළුල් දැනුමක් ලබාදීම, පෝෂණය, ක්‍රීඩාව හා ගෘහ ජීවිතය පිළිබඳව දැනුවත් කිරීම, ආදී වැඩසටහන් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ ප්‍රසන්න අධිකාරි මහතා සඳහන් කළේ ය.

කොළඹ, ගලදාරී හෝටලයේ දී රූපවාහිනී නාලිකාව එළි දැක්වීම සිදු කෙරෙන අතර ඒ සඳහා සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වෙයි.

 

රාජපක්ෂලා රටට කරපු විනාශයෙන් රට ගොඩ ගන්න කා එක්ක ගොඩ ගන්නව ද යන්න තමන් තවම නොදන්නා බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

ඒ ඊයේ (19) හොරගොල්ල බණ්ඩාරනායක පිළිරුව අසලදීය.

එහිදී ඒ මහත්මිය මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට මෙසේ අදහස් දැක්වීය.

“මට හිතෙන්නේ මේ රටේ ජනතාවට අවශ්‍ය කරනවා අවංක, කැත වැඩ නොකරන්, හොරකම් නොකරන, මිනී මරන්නේ නැති, ජනතාවගේ අයිතිවාසිකම්වලට ගරු කරන නායකයෝ. ඒ බොහෝම ටික දෙනයි ඉන්නේ. එහෙම එක්කෙනෙක්, දෙන්නෙක් ඉන්න කොට මිනිස්සු කැමතියි. එච්චරයි. ඒ අය වටේ මිනිස්සු රොක් වෙනවා. රාජපක්ෂලා රටට කරපු විනාශයෙන් රට ගොඩගන්න හැබැයි කා එක්ක ගොඩ ගන්නවද කියලා මම දන්නේ නැහැ.”

බේරුවල සපුගොඩ පුරාණ ශ්‍රී මහා විහාරයේ විහාරාධිපති හිමියන් එක්සත් ජාතික පක්ෂට සම්බන්ධ බවට ඇතැම් අය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී තිබූ බවත් විහාරස්ථානයට දේශපාලනය අවශ්‍ය නොවන බව තමා හිටපු ජනාධිපතිවරයාට ප්‍රකාශ කළ බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

කෙසේ වෙතත් තමාගේ ඉල්ලීම මත හිටපු ජනාධිපතිවරයා මෙම විහාරස්ථානට පැමිණි බවත් පෙන්වා දුන් ඇමැතිවරයා මෙම විහාරස්ථානය අවට වැඩි වශයෙන් සිටින්නේ මුස්ලිම් ජාතිකයින් බවත් කියා සිටියේය.

බේරුවල සපුගොඩ පුරාණ ශ්‍රී මහා විහාරයේ වසර සියගණනක් ඉපැරැණි සීමා මාලකය සංරක්ෂණය කරමින් ඉදිකරන ලද ආරක්ෂක පවුර සසුනට පුජා කිරීම සහ බෝධිය වටා ඉදි කළ රන් වැට විවෘත කිරීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සහභාගීත්වයෙන් පසුගියදා සිදු කෙරිනි.

එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“මෙම විහාරස්ථානයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයේ සිටින විට පැමිණීමට නියමිතව සිටියා. නමුත් විහාරාධිපති හිමියන් එක්සත් ජාතික පක්ෂට සම්බන්ධ බවට ඇතැම් අය හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී තිබුනා. නමුත් මම හිටපු ජනාධිපතිවරයාට ප්‍රකාශ කළා විහාරස්ථානයට දේශපාලනය අවශ්‍ය නොවන බව. කෙසේ වෙතත් මාගේ ඉල්ලීම මත හිටපු ජනාධිපතිවරයා මෙම විහාරස්ථානට පැමිණියා. මෙම විහාරස්ථානය අවට වැඩි වශයෙන් සිටින්නේ මුස්ලිම් ජාතිකයින්. නමුත් ඔවුන් සියලු දෙනාම මෙම විහාරස්ථානය සමග සහයෝගයෙන් කටයුතු කරනවා. එය සංහිදියාවේ කේන්ද්‍රස්ථානයක් බදුයි.“ 

මෙවර පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා සමඟ ඒ ඒ පළාත් පාලන ආයතනවලට තරඟ කරන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයන්ගේ නම් ඇතුළත් පත්‍රිකාවක් ද බෙදා හැරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු යොදා ඇත.

මෙසේ පක්ෂ හා අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තු බෙදා හැරීම මැතිවරණ කොමිසමට අයත් නිල කාර්යයක් නොවන නමුත් ඡන්ද හිමියන්ගේ පහසුව සඳහා ඒවා බෙදා හැරීමට කොමිසම තීරණය කළ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පෙරේදා (18) කොමිෂන් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී පැවසීය.

පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකාවලින් කොටසක් බෙදා හැරීම සඳහා පෙරේදා (18) තැපැල් කාර්යාලවලට බාර දුන් බව ද සභාපතිවරයා කීය.

මේ අතර තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කොට අවසන් බවත් පොලිස් දෙපාර්තමේන්තුව, මැතිවරණ කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සේවකයින් සඳහා තැපැල් ඡන්ද විමසීම පෙබරවාරි 22 දා පැවැත් වෙයි.

සෙසු රජයේ ආයතන , ලංගම ඩිපෝ හා පාසල් සඳහා පෙබරවාරි 25 සහ 26 දිනවල තැපැල් ඡන්ද විමසීම සිදු කෙරේ. තැපැල් ඡන්ද මධ්‍යස්ථාන මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන 
අතර මැතිවරණ නිරීක්ෂකයින්ට ද එම අවස්ථා නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලබා දෙන බවද මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.

 

ආසන පටි, වායු බැලූන ඇතුළු මගී ආරක්ෂිත ක්‍රමවේදයන් සහිත යූරෝ iv හෝ එයට සමාන තත්ත්ව සහතිකවලට අනුකූල නොවන වාහන ආනයනය ජූලි මස 01 දා සිට තහනම් කෙරෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටී.

ඒ අනුව ජූලි මස 01 දිනෙන් පසුව ආනයනය කරනු ලබන වාහනවල රියැදුරු සහ ඉදිරි පස ගමන් ගන්නා මගියා සඳහා වූ වායු බැලූන (Air bags), අගුළුවැටීම් වැළැක්වීමේ තිරිංග පද්ධති (Anti-locking Breaking System (ABS)) සහ ඉදිරිපස සහ පසුපස අසුන්වල ගමන් කරන්නන් සඳහා ස්ථාන තුනකට සම්බන්ධ වන ආසන පටි (Three point seat belt) තිබීම අනිවාර්ය වේ.

2018 අයවැය මගින් ඉදිරිපත් වූ මෙම යෝජනාව ජනවාරි මස 01 දා සිටි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ නමුදු වාහන නිෂ්පාදකයන්ගේ සහ ආනයනකරුවන්ගේ ඉල්ලීම මත මෙය කල් දමන ලදී.

මෙම යෝජනාවට යටත් කරනු ලබන වාහන මාදිලි සහ විස්තර අදාළ ආයතනයන් වෙතින් නුදුරේ දී ප්‍රකාශයට පත් කරනු ලැබේ.

 

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට අයත් දොම්පේ ප්‍රදේශයේ ඉඩම් දෙකක් පැවරීම, උකස් කිරීම හා විකිණීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද(19) අත්තනගල්ල ඉඩම් රෙජිස්ට්‍රාර්වරයාට නියෝගයක් නිකුත් කළේය.

ඔහුට අයත් බොරැල්ල, ඇල්විටිගල මාවතේ ට්‍රිලියම් රෙසිඩන්සිස් ගොඩනැගිල්ලද උකස් කිරීම, පැවරීම හා විකිණීම තහනම් කරමින් කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරයාට නියෝගයක් නිකුත් කෙරිණි.

Page 4 of 1677