February 26, 2020

ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය විසින්  සහය ලබා දෙන අපේක්ෂකයා පිළිබදව ගන්නා තීරණය  මේ මස 31 වෙනිදා ප්‍රකාශයට පත් කරණ බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි.

මේ වන විට ඒ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සාකච්ඡා වට පහක් පැවැත් වූ  බවත් ප්‍රධාන අපේක්ෂකයින් හා ඔවුන්ගේ නියෝජිතයින් කීප දෙනෙකු සමග සාකච්ඡා කළ බවත් දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරණ අතර ඔවුන්ගේ ප්‍රතිචාරය දැක්වීමට කල් ඉල්ලීම නිසා දෙමළ  ජාතික සන්ධානයේ තීරණයද මෙපමණ කාලයක් කල් ගිය බව පැවසීය.

නමුත් මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ තුනේ පිරිස සදහන් කරන්නේ දෙමළ ජාතික සන්ධානය සමග ඔවුන් කිසිවක් මෙතෙක් සාකච්ඡා කොට නොමැති බවයි.

වෙනත් වෙනත් කාරණා සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායකයා සහ වෙනත් අය සමග  සාකච්ඡා කළද එම සාකච්ඡා  ජනාධිපතිවරණයේදී සහය ලබා ගැනීම සදහා වූ නිල මට්ටමේ සාකච්ඡා නොවන බවද ප්‍රධාන දේශපාලන පක්ෂ තුනේ  නියෝජිතයෝ කියා සිටියහ.

නමුත් දෙමළ ජාතික සන්ධානය කියා සිටින්නේ මේ දේශපාලන පක්ෂ වල පිරිස් සමග සාකච්ඡා කිරීමෙන් පසුව දෙමළ ජාතික සන්ධානය  උතුරේ සෙසු දෙමළ දේශපාලන පක්ෂ සමගද සාකච්ඡා කළ බව යි.

එහිදී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF) පක්ෂය  හැර අනෙක් සියළුම පක්ෂ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් හා සහය දක්වන අපේක්ෂකයා සම්බන්ධයෙන් එකගතාවයකට පත්ව සිටින බවද දෙමළ ජාතික සන්ධානය සදහන් කරයි.

(දිනසේන රතුගමගේ)

උතුරු පළාතේ දේශපාලන ක්‍රියාවලියේ නිරත ප්‍රධාන දේශපාලන පක්ෂ පහක එකඟතාවය මත ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් දෙදෙනා වෙනුවෙන් යෝජනා 13 කින් සමන්විත යෝජනාවලික් ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඊයේ(14) සවස එකඟතාවය පළ කරනු ලැබීය.

යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ මැදිහත්වීම මත සිදුකළ සාකච්ජාවකින් අනතුරුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා, දෙමළ මහජන පෙරමුණේ නායක සි.වි.විග්නේශ්වරන් මහතා, ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන් මහතා,ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා හා ප්ලෝට් සංවිධාන නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා විසින් යාපනය විශ්ව විද්‍යාල සිසුන් ඉදිරිපත් කළ යෝජනාවලිය වෙනුවෙන් සාමුහික කැමැත්ත පළ කරමින් අදාළ යෝජනාවලිය වෙනුවෙන් අත්සන් කිරීම සිදු කෙරිණ.

ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් වන ගෝඨාභය රාජපක්ෂ මහතා හා සජිත් ප්‍රේමදාස මහතා වෙත අදාළ යෝජනාවලිය ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඉදිරිපත් කරනු ලබන යෝජනාවලියේ කරුණු වෙනුවෙන් ලිඛිත එකඟතාවයක් මත ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාවගේ ජන්දය ලබාදෙන පුද්ගලයා තීරණය කිරීමට නියමිත බව යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති එන්.තිවාකරන් මහතා පවසයි.

සාකච්ජාව වෙනුවෙන් අරසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා, දෙමළ මහජන පෙරමුණේ නායක සි.වි.විග්නේශ්වරන් මහතා, ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන් මහතා,ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා හා ප්ලෝට් සංවිධාන නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා හා දෙමළ ජාතික මහජන පෙරමුණ පක්ෂයේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා එක්වු අතර, දෙමළ මහජන සභාවේ නායක ග‍ජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා පමණක් අදාළ යෝජනාවලිය වෙනුවෙන් ‍එකඟත්වය පළ කිරීම ප්‍රතික්ශේප කරනු ලැබීය.

දෙමළ ජනතාව මුළා කිරීමට නොහැකි බව පවසමින් ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා අදාළ යෝජනාවලිය වෙනුවෙන් කැමැත්ත පළ නො‍කළේය.

යෝජනාවලියේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතාගෙන් විමසීමේදී හෙතෙම පැවසුවේ.

01.නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට උතුරු නැගෙනහිර වෙනුවෙන් ස්වයං තීරණ අයිතිය ලබා ගැනීම.

02.අවසන් යුධ සමයේ සිදුවු යුධ අපරාධ වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත පරීක්ෂණයක් පවත්වා යුධ අපරාධකරුවන් වෙනුවෙන් දඩුවම් ලබාදීම.

03.හදිසි නීතිය ඉවත් කිරීම.

04.දෙමළ දේශපාලන සිරකරුවන් සියළුදෙනා නිදහස් කිරීම.

05.අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම හා වැරදිකරුවන් වෙනුවෙන් දඩුවම් ලබාදීම.

06.උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට අයත් පෞද්ගලික හා ර‍‍ජයේ ඉඩම් සියල්ල නිදහස් කිරීම.

07.උතුරු නැගෙනහිර ස්ථාපිතව පවතින සියළු සිංහල බෞද්ධ විහාරස්ථාන හා සිංහල ගම්මාන වහාම ඉවත් කිරීම.
08.මහවැලි සංවර්ධන ක්‍රියාවලිය යටතේ රජය විසින් සිදුකරන ලබන උතුරු පළාතේ සිංහල ජනාවාසකරණය හා නැගෙනහිර පළාතේ සිංහල ජනාවාසකරණය නවතා දැමීම හා සිදුකොට ඇති ජනාවාස ඉවත් කිරීම.

09.වන්නි ප්‍රදේශය යටතේ ස්ථාපිත කොට ඇති සිංහල ජනාවාස ඉවත් කිරීම.

10.පුරාවිද්‍යා,වනජිවි හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තු යටතට ගෙන ඇති දෙමළ ජනතාවගේ නිජ භුමිය වහාම අදාළ රජයේ ආයතන යටතින් නිදහස් කිරීම.

11. යුද්ධයෙන් පීඩාවට ලක්වු උතුරු නැගෙනහිර තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා අවස්ථා ලබාදීමේදී ප්‍රමුඛතාවය ලබාදීම හා උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ගේ විරැකියා දුරලීම.

12.උතුරු නැගෙනහිර පෞද්ගලික අංශයේ හා රජයේ රැකියා ලබාදිමේදී අදාළ අදාළ ප්‍රදේශයන්ගේ තරුණ තරුණියන්ට මුලිකත්වය ලබාදීම.

13.උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු සිදුකිරීමේදී අදාළ ප්‍රදේශයන් නියෝජනය කරන මහජන නියෝජිතයින්ගේ කැමැත්ත ලබාගෙන අදාළ ප්‍රදේශයන් නියෝජනය කරන මහජන කමිටුවක් හරහා සිදුකිරීම. වන කරුණු වෙනුවෙන් උතුරේ දේශපාලන පක්ෂ එකඟතාවය පළ කොට ලේඛනයට අත්සන් කළ බවයි.

ඉදිරියේදී අදාළ යෝජනාවලිය ප්‍රධාන ජනාධිපතිධූර අපේකෂකයින් වෙත යොමුකොට ඔවුනගේ කැමැත්ත ලිඛිතව ලබා ගැනීමට නියමිත අතර ඒ හරහා උතුරු නැගෙනහිර ගැටළුව වෙනුවෙන් ස්ථිරසාර විසදුමක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවද විග්නේශ්වරන් මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය සහාය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් මේ සතිය තුළ අවසන් තීරණයක් ගැනීමට එම සන්ධානය නියෝජනය කරන සියලුම පක්ෂවල නියෝජිත හමුවක් කැඳවා ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා පුවත්පතකට අද (11) පැවැසීය.

දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. සම්බන්ධන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙය පැවැත්වීමට නියමිතය.
 
ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට සම්බන්ධන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේදී රැස්වී කළ සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වූ බවද  මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
 
ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතරින් දෙමළ ජාතික සන්ධානයට වඩාත් විශ්වාසය තැබිය හැකි පුද්ගලයාට ඉදිරි ජනාධිපතිවරණයේදි සහාය ලබාදෙන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය සහාය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් පැවති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා පුවත්පතකට අද (08) පැවැසීය.
 
ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. සම්බන්ධන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වී කළ සාකච්ඡාව අවසන් එකඟතාවයකින් තොරව අවසන් වූ බවත්  මන්ත‍්‍රිවරයා සඳහන් කළේය.
 
අද පෙරවරු 11.00 සිට පැය දෙකකට අධික කාලයක් ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා පිළිබඳ සකච්ඡා කළත් එහිදි එකඟවිය නොහැකි කරුණු කිහිපයක් මතු වූ බවත් ඔහු කියා සිටියේය.
 
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම ලබන සතියේදී යළි රැස්වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා වැඩිදුරටත්  පැවැසීය.

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක් අද (17) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව ඇතැයි දෙමළ සන්ධානයේ ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාද හමුවී සාකච්ඡා කිරීමටද එම සන්ධානය තීරණය කර තිබේ.

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය ප්‍රමුඛ පාර්ලිමේන්තු කණ්ඩායම එක්සත් ජාතික් පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සමගින් පසුගියදා (15) සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම් කර තිබුණද එම සාකච්ඡාව කල්දමා තිබේ. 

සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට පෙර රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් තීරණය කිරීම මත එම සාකච්ඡාව කල්දැමීමට සිදුවූ බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සඳහන් කළේය.

මේ  අතර මලික් සමරවික්‍රම, මංගල සමරවීර සහ රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන් සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් යන මහත්වරුන් අතර හමුවක්ද පසුගියදා (15) සිදුව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන සියලු පාර්ශව සමගින් දෙමළ ජාතික සන්ධානය සාකච්ඡා කරන බවත් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් හා ගැටළුවලට විසඳුම් දෙන බවට සහතික වන නායකයාට සහාය ලබා දෙන බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා දෙමළ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබිණි.

නව යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කිරීමට ගත් පියවර දෙමළ ජාතිය හෑල්ලුවට ලක්කරන ක්‍රියාවක් බවත් ඒ ගැන දැඩි අප්‍රසාදය පළ කරන බවත් දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

යුද අපරාධ චෝදනා එල්ල වූ මෙවන් අයකු හට යුද හමුදාපතිධූරය ලබාදීම ගැන කණගාටු වන බවද එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි.

යුද හමුදාපතිව සිටි ලුතිනන් ජනරාල් මහේෂ් සේනනානායකගේ විශ්‍රාම යාමෙන් පසු එම ධූරය සඳහා මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනාධිපතිවරයා විසින් පත් කළ අතර ඒ පිළිබඳ අප්‍රසාදය පළ කරමින් සුමන්තිරන් මහතා මෙම අදහස් පළ කර සිටියේය.

මේ පිළිබඳ සුමන්තිරන් මහතා සිය ට්විටර් ගිණුම තුළින් ද අප්‍රසාදය පළකර තිබිණි.

දෙමළ ජාතික සන්ධානයට එරෙහි නව දේශපාලන සන්ධානයක් උතුරේ දේශපාලන පක්ෂ ඒකරාශී කරමින් ආරම්භ කිරීමට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් හා ගැටළුවලට විසඳුම් ගෙන ඒම වෙනුවෙන් මෙම සන්ධානය ගොඩනගන බවත් මේ වනවිට දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක්ම ඒ සඳහා එකඟත්වය හා කැමැත්ත පළකර තිබෙන බවත් ද්‍රවිඩ විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී.ආනන්ද සංගරි මහතා පැවසීය‍.

දෙමළ ජාතික සන්ධානය දේශපාලන වාසි අරභයා දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් හා ඉල්ලීම් පාවාදෙන බවත් එම ජනතාවගේ අයිතිවාසිකම් දිනාදීම වෙනුවෙන් ජනතාවාදී දේශපාලන බලවේගයක අවශ්‍යතාවක් පවතින බවත් මේ හේතුව මත දෙමළ දේශපාලන පක්ෂ රාශියක් ඒකරාශී වී නව සන්ධානයක් ගොඩනැගීමට මූලිකත්වය ගත් බවත් සංගරි මහතා කීය.

දෙමළ ජනතාවගේ අර්බුදයට විසඳුම් ගෙන ඒමට නම් දෙමළ දේශපාලන පක්ෂ පොදු ස්ථාවරයක සිටිමින් පුළුල් දේශපාලන බලවේගයක් පිහිටුවාගත යුතු බවට සහ ඒ සඳහා ද්‍රවිඩ විමුක්ති පෙරමුණ මූලිකත්වය ගතයුතු බවට උතුරේ සිවිල් සංවිධාන රැසක් තමාගෙන් ඉල්ලීම් කළ බවත් එම ඉල්ලීම්ද සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවත් ආනන්ද සංගරි මහතා කියා සිටියේය.

ඒ අනුව උතුරේ දේශපාලන පක්ෂ රැසකටම මෙම ආරාධනාව සිදුකර ඇති බවත් ඒ සඳහා සාකච්ඡා ද නුදුරේදීම අරඹන බවත් ඉදිරි මැතිවරණයට පෙර නව සන්ධානය ගොඩනැගීමට බලාපොරොත්තු වන බවත් සංගරි මහතා කීවේය.

ත‍්‍රිකුණාමලය කන්නියා උණුදිය ළිං පුරාවිද්‍යා ස්ථානයේ සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමට විරෝධය පා කන්නියා මංසන්ධියෙහි පිරිසක් කලහකාරී ලෙස හැසිරීම නිසා තත්ත්වය පාලනය කිරීමටත් ඒ අවට ආරක්ෂාවටත් පොලිසිය, විශේෂ කාර්ය බළකාය හා යුද හමුදාව යොදවනු ලැබීය.
 
උණු දිය ළිං පුරාවිද්‍යා පරිශ‍්‍රයේ පිහිටි අනුරාධපුර යුගයට අයත් දාගැබෙහි සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් උපදෙස් ලබා දීමෙන් පසුව එම දෙපාර්තමේන්තුව එහි සංරක්ෂණ කටයුතු ආරම්භ කරමින් සිටියදී ඊට විරෝධයා පා දෙමළ ජාතික ජනතා පෙරමුණෙහි නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන්, මඩකලපුව දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී යෝගේෂ්වරන් හා ත‍්‍රිකුණාමලයේ දෙමළ දේශපාලන පක්ෂ රැසක පළාත් පාලන මන්ත‍්‍රීවරුන් ඇතුළු පිරිසක් ඊට විරෝධය පෑමට මෙම ස්ථානයට රැස්ව සිටියහ.

මෙම පිරිස මෙම ස්ථානයට පැමිණ විරෝධය දක්වන බව දැන සිටි උප්පුවේලි පොලිසිය එය වාරණයට ලක් කරමින් අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබුණි. එමෙන්ම ත‍්‍රිකුණාමලය ප‍්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් හිමිවරුන්, ප‍්‍රදේශවාසීන් හා විවිධ පක්ෂවලට අයත් පළාත් පාලන මන්ත‍්‍රීවරුන් රැසක් උණු දිය ළිං පුරාවිද්‍යා ස්ථානය ආසන්නයට පැමිණ රැඳී සිටීම නිසා දෙපාර්ශවය අතර ඇතිවන්නට ගිය නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට පොලිසිය මාර්ග බාධක යොදා දෙපාර්ශවයෙහි මග අහුරා තිබුණි.
 
මේ හේතුවෙන් කන්නියාව උණු දිය ළිං පරිශ‍්‍රය නැරඹීමට පැමිණ සිටි සංචාරකයන් රැුගත් වාහන රැසක් ඉන් පිටතට යෑමට නොහැකිව පැය ගාණක් සිරවී තිබිණි. ඇති වූ හදිසි තත්ත්වය පාලනය කිරීමට සූදානමින් අවට පොලිසි කිහිපයකින් පොලිසිය හා විශේෂ කාර්ය බළකා භට පිරිස් මෙන්ම 221 බල සේනා මූලස්ථානයට අයත් හමුදා කැඳවා ඒ අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණි.

සංරක්ෂණය කිරීමට යෝජිත දාගැබෙහි සංරක්ෂණ කටයුතු නොකරන ලෙසත් එම ස්ථානයෙහි පැරණි කෝවිලක් තිබූ බවත් විරෝධතාකරුවෝ පැවැසූහ. විරෝධතාකරුවන්ට එරෙහිව පොලිසිය විසින් ලබාගෙන තිබූ අධිකරණ නියෝගය පොලිසිය විසින් ප‍්‍රකාශයට පත් කරනු ලැබුවද විරෝධතාකරුවන් ඉන් පිටව නොගිය අතර අධිකරණ නියෝගය නොතකා උණු දිය ළිං පරිශ‍්‍රයට කඩා වැදීමට කලහකාරීන් උත්සහ ගැනීම නිසා පොලිසිය හා කලහකාරීන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
 
2011 සැප්තැම්බර් නම වන දින අතිවිශේෂ ගැසට් පත‍්‍රයක් මගින් උණුදිය ළිං හා ඒ අවට භූමිය පුරාවිද්‍යා ස්ථානයක් ලෙස නම් කර ඇති අතර එහි සංරක්ෂණ කටයුතු කරන ලෙසට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ත‍්‍රිකුණාමලය දිසාපතිවරයා හා එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ද ලිඛිතව දන්වා තිබේ. පැය කිහිපයක් පුරා කලහකාරී අයුරින් කන්නියා මංසන්ධියේ රැඳී සිටි පිරිස් පසුව විසිර ගියහ.
 

දෙමළ ජනතාවට කෲර අන්දමින් සැළකූ පාලනයක් ගෙනගිය විනාශකරී ඒකාධිපති පාලනයකට නැවතත් ඉඩ තැබිය නොහැකි හෙයින් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය පරාජය කිරීමට සහාය වූ බව දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා පැවසීය.

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාවට එරෙහිව දෙමළ ජාතික සන්ධානය එරෙහි වීමේ තීරණය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සම්බන්ධන් මහතා මේ බව අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ සම්බන්ධන් මහතා මෙසේද කීය.

"විශ්වාසභංගයකින් එක් ආණ්ඩුවක් පරාජය කරන්නේ නම් තවත් ආණ්ඩුවක් බලයට පත්වෙනවා. එසේ වුණා නම් වත්මන් තත්වය මැද කොයි ආණ්ඩුව බලයට එනවද කියල අප හොදින් දන්නවා. ඒ ආණ්ඩුව තමයි කලින් රට පාලනය කළෙත්. ඒ ආණ්ඩුවෙන් දෙමළ ජනයාට හොඳක් සිදුවුණාද ? කියල අප විමසා බැලිය යුතුයි. පසුගිය ඒ ආණ්ඩුවෙන් දෙමළ ජනතාවට වචනයෙන් කිව නොහැකි තරම් වේදනාවන් විදින්නට සිදුවුණා.දෙමළ ජනතාව යටපත් කරගනිමින් ඉතා කෲර අන්දමින් දෙමළ ජාතිය විනාශ කළ  පිරිසකට නැවතත් බලයට පැමිණීමට ඉඩ දිය හැකිද ? නැවතත් ඒකාධිපති විනාශකාරී පාලනයක් අපට පිළිගත හැකිද ? මේ ගැන සැළකිල්ලට අරන් තමයි දෙමළ ජාතික සන්ධානය රජයට එරෙහි විශ්වාසභංගයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළේ. අපි එම උත්සහාය පරාජය කළා. ඒ වගේම වත්මන් ආණ්ඩුව ගැන අපගේ ජනතාවට කිසිදු විශ්වාසයක් නැහැ.මේ රජය ගැන විවේචන රැසක් එල්ල වී තිබෙනවා."

"නමුත් පසුගිය ආණ්ඩුවට සාපේක්ෂව වත්මන් ආණ්ඩුව දෙමළ ජනතාව වෙනුවෙන් යහපත් කාර්යන් කිහිපයක් හෝ සිදුකරො තියෙනවා. දෙමළ ජනතාවගේ මූලික ගැටලු විසදන්න මේ ආණ්ඩුවේ නායකත්වය වගවීමෙන් සිටිනවා. ඇතැම් ගැටලු කඩිනමින් විසදලා දෙනවා කියලා ආණ්ඩුවේ නායකත්වය අපට පොරොන්දු වී තිබෙනවා. නමුත් තව වසරකින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙනවා. මේ ආණ්ඩුව මාර්ගයෙන්ම දෙමළ ජනතාවගේ ගැටළු වලට විසඳුම් ගෙන එන්න ඕනෑ. මෙයද සැළකිල්ලට අරගෙන තමයි විශ්වාසභංගයට එරෙහිව කටයුතු කළේ "යැයි ද සම්බන්ධන් මහතා කීය.

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ඊයේ(9) කැදවූ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම තීරණයකින් තොරව අවසන් වී තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (9) පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර එහිදී මේ පිළිබඳ තවදුරටත් සළකා බලා පසුව තීරණයක් ගැනීමට යෝජනා විය.

වත්මන් ආණ්ඩුව දෙමළ ජනතාවගේ ගැටළුවලට විසඳුම් නොදීමත් දෙමළ ජනතාවගේ විශ්වාසය පළුදු වීමත් මත රජයට කිසිදු ආකාරයකින් සහාය දැක්වීමක් නොකළ යුතුයි යන ස්ථාවරයේ දෙමළ ජාතික සන්ධානයේ බහුතර මන්ත්‍රීන් පිරිසක් පසුවන බව එම සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පැවසීය.

මේ අනුව පාර්ලිමේන්තු කණ්ඩායම අද (10) සවස ද රැස්වී මේ පිළිබද සාකච්ඡා කිරීමට තීරණය කළ බවද එම මන්ත්‍රීවරයා පැවසීය.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්,මාවෙයි සේනාධිරාජා සහ එම්.ඒ සුමන්තිරන් යන නියෝජිතයින් අරලියගහ මන්දිරයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ විශේෂ සාකච්ඡාවක් සිදුකර ඇතැයි ද දේශපාලන ආරංචිමාර්ග පවසයි.

මෙම සාකච්ඡාවේදී අගමැතිවරයා රජයට එරෙහි විශ්වාසභංගයේ දී රජයට සහාය පළකරන ලෙසට දෙමළ ජාතික සන්ධානයෙන් ඉල්ලා ඇති අතර ඊට පිළිතුරු වශයෙන් දෙමළ ජාතික සන්ධාන නායකත්වය සදහන් කර ඇත්තේ සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්ව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණය කළ යුතුව ඇති බවය.

Page 1 of 4