February 27, 2020

රජය දැවැන්ත මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බවත් රජයේ සේවකයින්ගේ වැටුප් ගෙවාගැනීමට හෝ රාජ්‍ය ආයතනවල ඉන්ධන වියදම් පියවා ගැනීමට හෝ නොහැකි තත්වයක් තුළ ඔවුන් චීනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1000ක ණය මුදලක් ලබාගැනීමට සූදානමින් සිටින බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. 

හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

"මං දැක්කා තවත් නිව්ස් එකක් යනවා, රට කරගෙන යන්න බොහොම අමාරුයි. සංවර්ධන ව්‍යාපෘති සේරම නැවතිලා තියෙන්නෙ. අපේ ගම්වල අපි කරවපු වැඩවලට මුදල් ගෙවන්නෙ නෑ.  මේවා තමයි අපි මන්ත්‍රීවරුන් හැටියට කතා කරන්න ඕනේ. දැන් අපිව හිරකරලා තියෙන්නෙ රංජාගෙ හඬපටේටයි පක්ෂෙ අර්බුදේටයි. එහෙම කරලා ඒගොල්ලො ලස්සනට වැඩේ කරගෙන යනවා.  ඩොලර් මිලියන 1000ක් ආණ්ඩුව චීනෙන් ණයක් ගන්න යනවා, ඇයි ? පඩි ගෙවාගන්න බෑ, අමාත්‍යාංශවල තෙල් ගෙවාගන්න බෑ. මං දන්නවා ක්‍රීඩා අමාත්‍යාංශෙ අර මොකද්ද නාලිකාවක් ඒගොල්ලොන්ගෙ සීඅයිඒ වැඩසටහනකදිද මොකද්ද එක්කදි පෙන්නනවා, බණ්ඩාරවෙල - බදුල්ල ඔක්කොම ක්‍රීඩාපිටි ඇණහිටලා කියලා. ඇණහිටලා තියෙන්නෙ අපි නිසා නෙවෙයි. දැන් ආණ්ඩුව අපි නෙවෙයි, දැන් අහන්න ඕනෙ දැන් ඉන්න ක්‍රීඩා ඇමතිගෙන්. අපිට කියලා හරියන්නෙ නෑ. අපි මුදල් වෙන්කරලා, ඒවට ගෙවන්න ඕනෙ ගාණ ගෙවලා තමයි වැඩ පටන් ගත්තෙ. දැන් අන්තිමට ක්‍රීඩකයින්ට දුවන්න පිට්ටනියක් නෑ. පිට්ටනිය වැඩ නවත්තපුවාම. මේවට වගකියන්න ඕනෙ ආණ්ඩුව. කොහෙන් හරි ගෙනල්ලා වැඩ කරන්න, හැබැයි මිනිස්සු ණය කරන්න එපා. තෙල් මිල වැඩිකරන්න එපා. රජයේ සේවකයින්ගෙ පඩි කප්පාදු කරන්න එපා. එතකොට රජයේ සේවකයින්ගෙ අතිකාල දීමනා කපන්න එපා. දැන් මේ පැතූ වෙනස වෙනුවෙන් කතා කරන්න වෙලා තියෙන්නෙ අපිටමයි."

එසේම මාස දෙකක් තුළ රතු ලූණු මංකොල්ලකන තැනට රට ඇදවැටී ඇති බව පැවසූ ඒ මහතා හැට නව ලක්ෂයක් පැතූ වෙනස මෙයද ? හැට නව ලක්ෂයට දැන් සතුටුදැයි ප්‍රශ්න කළේය. 

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට එළැඹෙන බ්‍රහස්පතින්දාට පෙර ලබා නොදෙන්නේ නම් තමන් ඇතුළු තවත් මන්ත්‍රී පිරිසක් දේශපාලන තීන්දුවක් ගන්නා බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වීමෙන් පසු ඔහු මේ බව කියා සිටියේය.

ඉදිරි මහ මැතිවරණය සඳහා තමන් තරග කරන්නේ නම් ඒ සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව පමණක් ඇය ඔහු තවදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පුහුණුකාරධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව ගොනුකළ නඩුව කිසිඳු ප්‍රතිඵල රහිත ක්‍රියාමාර්ගයක් වන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු මේබව සඳහන් කළේ සිරිකොතදී ඊයේ (07) පැවති මාධ්‍යහමුවකට එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, මේ දිනවල හතුරුසිංහ මහතා විසින් වන්දියක් ඉල්ලා තිබීම විශාල ආන්දෝලනයක් වී ඇති බවයි.

හතුරුසිංහ මහතාට ගෙවන ලද වැටුපෙන් අද දවසේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් විදේශිකයින් පස් දෙනෙකුට වැටුප් ගෙවන බවද මන්ත්‍රීවරයා පැවසීය.

මොවුන් ලෝකයේ සිටින හොඳම අය පස් දෙනෙකු බවත් හතුරුසිංහ මහතාගේ වැටුප ඔවුන් පස් දෙනාට ගෙවන බවට තමාට තොරතුරු ලැබී ඇතැයි ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉන්න නීතිඥවරුන් විසින් නීති උපදෙස් මත හතුරුසිංහ මහතා ඉවත් කළ බවත්, ඒ සම්බන්ධයෙන් වන්දි මුදලක් ගෙවීමට සිදුවෙයි ද එය එතුමාගේ සිහිනයක් පමණක් වෙයි ද නොදන්නා බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

විපක්ෂනායක තනතුරත්, එක්සත් ජාතික පක්ෂ නායක තනතුරත් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට ලබාදිය යුතු බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

"එක්සත් ජාතික පක්ෂ නායකත්වයත්, විපක්ෂනායකත්වයත් සජිත්ට දිය යුතුයි. එක්සත් ජාතික පක්සයේ කල්ලි දෙකක් නෑ. අපිව කොන්කරන්න හදනවා. තවදුරටත් නායකත්වය අල්ලගෙන ඉන්න එකේ තේරුමක් නෑ. විකල්පයට අපිව තල්ලු කරන තරමට වැඩ කරන්න එපා" 

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ඇතුළු ප්‍රධාන තනතුරු වෙනස් නොවන්නේ නම් තවදුරටත් දේශපාලනයේ රැඳී සිටීම පිළිබඳව තීන්දුවක් ගන්නා බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

 එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“ඇත්ත බොරුව කරන්නත් බොරුව ඇත්ත කරන්නත් මාධ්‍යයට වැඩි හැකියාවක් තිබෙනවා. මේ පරාජය තුළ ලොකු ජයග්‍රහණයක් අපිට තිබෙනවා. මේ අවස්ථාවේ අපි ජයග්‍රහණය කළා නම් මිනිස්සු අතර ගැටලුවක් ඇතිවෙනවා. ජාතිවාදය කොතරම් දුරට ව්‍යාප්ත වෙලා තිබුණද කියලා ප්‍රතිඵලයෙන් තිබුණා. අපේ අපේක්ෂක්තවය නිසි තැනට නිසි වෙලාවට දුන්නේ නෑ. මේ වගේ නායකත්වයක් තිබෙනවානම් අපි තවදුරටත් දේශපාලනයේ ඉන්නේ නෑ. මංගල සමරවීර මහතා කියන දේ කෙලින් කියන කෙනෙක්. එයින් අපිට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. අපිට එන්න දෙන්නේ නැත්නම්, සජිත් ප්‍රේමදාස මහත්තයාගේ දේශාපාලනය කෑවේ අපි කියලා කියනවානම් මට ඉන්න බෑ. මම අනිත් පැත්තට යන්නේ නෑ. පක්ෂයක් ලෙස එතුමට සහාය දුන්නද කියලා සජිත් ප්‍රේමදාස මහත්තයට කලකිරීමක් ඇති. මටත් ජනපති ලේකම් කාර්යාලයෙන් කෝල් එකක් ආවා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීමට එන්න කියලා. හැබැයි එතනට ගිය අයට හූ කිව්වා. ගෝඨාභය රාජපක්ෂ අනුරාධපුරය තෝරා ගත්තේ පිවිතුරු බව වෙනුවෙන්. නමුත් හූ කියලා ඒක විනාශ කළා. සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලනය ගැන හෙට තීන්දුවක් ගන්නවා. පක්ෂයේ තිබෙන තනතුරු වෙනස් නොවුණෙත් සජිත් ප්‍රේමදාස මහතා දේශපාලයෙන් සමුගනීවි. එය කරන්න අපි ඉඩ දෙන්නේ නෑ. නම් කිහිපයක් කිව්වා ඒ අය යනකම් දේශපාලනය කරන්නේ නෑ කියලා. ඒ කණ්ඩායම අපිට ඉඩ දෙන්නේ නැත්නම් යන්න පාරක් හොයා ගන්න ඕන. මේ පරාජයට මූලික වුණ කෙනා කියලා තිබුණා සජිත් ප්‍රේමදාස මහත්තාගේ දේශපානය විනාශ කළා කියලා”

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට එක්සත් ජාතික පක්ෂයේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව එම පක්ෂයේ මන්ත්‍රීවරු පවසති.

ඊයේ (04) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පවසා සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතාට කකුල් මාට්ටු ජනාධිපතිවරයෙක් වීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ගෝඨාභය මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් තමන් කැමති බව පවසා සිටි අමාත්‍යවරයා, “ගෝඨාභය රාජපක්ෂ භීතිකාවක් අපිට නෑ“ යනුවෙන් ද කියා සිටියේය.

“අපි මුහුද හත්ගව්වක් තියාගෙන අමුඩ ගහන්නේ නෑ“ යනුවෙන් පැවසු හරීන් ප්‍රනාන්දු මහතා, අපි “ගේමට අවශ්‍ය වෙලාවට ගේමට බැස්සා“ යනුවෙන් ද පැවසීය.

“පැක්ට්‍රිස් රේස් දුවලා හීට් එක බැහැලා චැම්පියන් කියලා කියන්නේ නෑ “ යනුවෙන් පැවසු අමාත්‍යවරයා, ෆයිනල් එක තියෙන දවසට දුවන්න තමයි අපි ලෑස්ති“ යනුවෙන් ද කියා සිටියේය.

එනිසා කිසිදු හේතුවක් මත එක්සත් ජාතික පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නඩු දැමීමක් සිදු නොකරන බවත් එහි තීන්දු අනුව ප්ලෑන් කරන්න යන්නෙත් නෑ යනුවෙන් අමාත්‍යවරයා මෙහිදී තරයේ සඳහන් කර සිටියේය.
 

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පකිස්තාන තරග සංචාරයට එක්වීම වැළැක්වීම සඳහා ඉන්දියාව බලපෑම් එල්ල කළ බවට පළ වන වාර්තා අසත්‍ය බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ටුවිටර් ගිණුමේ සටහනක් තබමින් පවසයි.

පකිස්ථාන සංචාරය සඳහා සහභාගී නොවන ලෙස ඉන්දීය ක්‍රිකට් පරිපාලකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් හට බලපෑම් එල්ල කර ඇති බව පකිස්ථානයේ විද්‍යා සහා තාක්ෂණ අමාත්‍ය ෆවාඩ් හූසේන් චෞද්රි මහතා සිය ටුවිටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ ය.

ඔහු වැඩිදුරටත් එහි සඳහන් කර තිබුණේ, ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි සඳහා එම ක්‍රීඩකයින් සම්බන්ධ කර නොගන්නා බව පවසමින් මෙම බලපෑම එල්ලකර ඇති බවයි.

තමන් පෞද්ගලිකව හඳුනන ජාත්‍යන්තර විස්තර විචාරකයින් මේ පිළිබඳව තමන්ට දැනුම් දුන් බවත් , මෙම ක්‍රියාව තරයේ හෙළා දකින බවත් ෆවාඩ් හූසේන් චෞද්රි මහතා යොමුකළ ටුවිටර් පණිවිඩයේ සඳහන් ය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පකිස්තාන තරග සංචාරයට එක්වීම වැළැක්වීම සඳහා ඉන්දියාව බලපෑම් එල්ල කළ බවට පළ වන වාර්තා අසත්‍ය බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ටුවිටර් ගිණුමේ සටහනක් තබමින් පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ 2009 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පදනම් කර ගනිමින් ඇතැමුන් මෙම සංචාරයට එක් නොවන බවයි.

ඔවුන්ගේ තීරණයට ගරු කරමින් පාකිස්තාන තරග සංචාරයට එක්වීමට කැමති ක්‍රීඩකයින්ගෙන් යුත් සංචිතයක් මේ වන විට සකස් කර ඇති බව ද ක්‍රීඩා ඇමතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාව සතුව ශක්තිමත් සංචිතයක් සිටින බවත්, පකිස්තානයේ දී පකිස්තානය පරාජයට පත් කිරීමට අපේක්ෂා කරන බවත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් ආයතනයේ තනතුරු දැරීම වළක්වාලමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මැතිතුමනි ඔබතුමා වෙනුවෙන් අපි අපේ ජීවිත කැප කරලා පක්ෂය ආරක්ෂා කළා නම් අද අපේ පාක්ෂිකය ආරක්ෂා කිරීමට ඔබතුමාට අවස්ථාවක් තිබෙනවා යනුවෙනි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවති පළාත් පාලන නියෝජිත හමුවේදී පැවසීය.

මෙය පක්ෂයේ නායකයාගෙන් කරන ආයාචනයක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේය.

2014 දී පක්ෂය වැටී තිබෙන අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වී එජාපය ගොඩගැනීමට කටයුතු කළ හෙයින් මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මෙම ඉල්ලීම කිරීමට තමන්ට හැකි බවයි ඔහු කියාසිටියේය. 

ඒ අතර රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවෙන බව තමන්ට විශ්වාස අතර පක්ෂයේ නායකයා ලෙස ඔහු මේ කරමින් හිඳින්නේ සජිත් ප්‍රේමදාස මහතා පිම්බීම දැයි සිතෙන බවත් හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. 

කෙසේවෙතත් සිය නායකත්වය වන රනිල් වික්‍රමසිංහ මහතාගේ  හැසිරීම හඳුනා ගැනීමට තවදුරටත් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට හැකි වී නැති බව නම් ඔහුගේ කතාවෙන්ම සහතික කර තිබේ.   

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව කියු වාර්තාවේ වරදක් ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඊයේ (07) සුගතදාස ක්‍රීඩාංගණයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එහිදී අගමැතිවරයා අපේක්ෂකත්වයට කැමති බවත් සජිත් ප්‍රේමදාස මහතා සමඟ සාකච්ඡා කර විසඳුමකට එන බවත් පමණක් ප්‍රකාශ කළ බවයි.

නමුත් ජනතා අපේක්ෂාව ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට බවත් ඉදිරියට තැබූ අඩිය කිසිදු ලෙසකින් පසුපසට නොතබන බවත් හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

එසේම රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට නියමිතව තිබු සාකච්ඡාව නොපැවෙත්වෙන බවත් එය ලබන අඟහරුවාදා පැවැත්වීමට නියමිත බවත් හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Page 1 of 4