September 20, 2019

ජනතාව ඡන්දය පාවිච්චි කරන විදිය හිතා ගැනීම අසීරු දෙයකි. ඡන්දදායකයා තමන්ට රට ගැන මෙන්ම තමන්ට, තමන් හා තම පවුල ගැන දැනෙන ආකාරය පදනම් කොට ඡන්දය පාවිච්චි කරයි. විශේෂයෙන්ම ඕනෑම ඡන්දයකදී අවලංගු කරන ඡන්ද ප්‍රමාණය තීරණාත්මක ප්‍රතිශතයක් වීම ඊට නිදසුනකි. 

ශ්‍රීලනිපය මිට මාස 19කට පමණ පෙර තමන්ට ලැබුණු ලක්ෂ 14ක ඡන්ද තොගයක් පරිස්සමට තබා තිබෙන බව එහි නිල ධරන්නන් කියන ප්‍රකට කතාවකි. පසුගිය ඉරිදා සිරිසේන ජනාධිපතිවරයා රත්නපුරයේ පැවති ජන හමුවක කිවේ අපි ගාව තියෙන ඡන්දය නැතුව කාටවත් දිනන්නට බැරි බවය. 

ශ්‍රීලනිපය ඔය කියන ලක්ෂ 14,2018 පෙබරවාරි 10  වන දින පැවති පළාත් පාලන මැතිවරණයේදී ජනාධිපතිවරයා නායකත්වය දරන ශ්‍රීලනිප හා එජනිසයට ලැබුණු ඡන්ද සංඛ්‍යාව වේ. 

පළාත් පාලන ඡන්දය යනු ගමේ ඡන්දයයි. එහිදී බොහෝ විට පක්ෂ පාට නොබලා අසල්වැසියාට ඡන්දය දීමේ පුරුද්දක් ඡන්දදායකයා තුළ තිබේ. එහෙත් පසුගිය පළාත් පාලන ඡන්දය ගමේ ඡන්දයකට එහා ගිය පවතින රජයට එරෙහිව මතයක් ප්‍රකාශ කළ ජනමත විචාරණයක් විය. සාමාන්‍යයෙන් සියයට 50ක 60ක ඡන්දයක් භාවිතා වන මෙම ඡන්දයේදී 80% ඉක්මවා ගියා ඒ නිසාය. එදා ශ්‍රීලනිපයට ඔය ඡන්ද ප්‍රමාණය ලැබුනේ යම් පදනමක් ඇතිවය. ඒ ගැන සලකා බැලීම වටී.

එදා පළාත් පාලන මැතිවරණය පවත්වන විට ශ්‍රීලනිපය ප්‍රමුඛ එජනිසය ආණ්ඩුවේ කොටසක් විය. එහි පිරිසක් ආණ්ඩුවේ ඇමති ධූර, රාජ්‍ය ඇමති ධූර සහ නියෝජ්‍ය ඇමති ධූර දැරීය. මේ නිසාම මෙම මැතිවරණයට රාජ්‍ය බලපෑම එක් කිරීමට හැකිවීමේ වාසියද ශ්‍රීලනිපයට ලැබුණි. එහෙත් අද ඔවුන් ආණ්ඩුවේ නැත. බලය නැති තැන ජනතාව රැදෙන්නේද නැත. ඊළඟට එම ඡන්ද කාලයේ අමාත්‍ය ධූර දරා පසුව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කළ විශ්වාසභංගයට පසු එම අමාත්‍ය ධූර ඉවත් වූ 20 දෙනෙකු අද ශ්‍රීලනිපයෙන් ඉවත්ව සිටියි. 6 දෙනෙකු එජාපයටත් ඉතිරි 14 දෙනා පොදුජන පෙරමුණට ගොස් හමාරය. ඉන් කිහිපදෙනෙකු පොදුජන පෙරමුණේ සාමාජිකත්වයද ලබා සිටියි.

අද ශ්‍රීලනිපයේ ඉතිරිව සිටින්නේ මන්ත්‍රීවරු 17 දෙනෙකු පමණි. ඉන් පිරිසක් ඉදිරියේදී එජාපයටත් පොදුජන පෙරමුණටත් එක් වන බව ප්‍රකට කරුණකි. ශ්‍රීලනිපයට ලක්ෂ 14ක ඡන්ද පදනමක් තිබෙනවා නම් මන්ත්‍රීවරුන් මේ ආකාරයට පක්ෂයෙන් යන්නේද නැත. පක්ෂයෙන් ඉවත්ව ගිය මන්ත්‍රීවරුන් 20 දෙනාගේ සංවිධාන ශක්තියද ඔය කියන ඡන්දය ලක්ෂ 14 ලබා ගැනීමට බලපෑවේය.

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කළ ශ්‍රීලනිප අපේක්ෂකයන්ගේ පසුබිමද සලකා බැලීම වටී. එදා අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කළ බහුතරය උපන් ගෙයි එජාප පාක්ෂිකයන්ය. ඔවුන්ට එජාපයේ අපේක්ෂක්ත්වය නොලැබුණ තැන ශ්‍රීලනිපය දෙසට හැරුණි. මේ නිසා සාමාන්‍යයෙන් ඡන්ද 3500ක් 4000ක් තිබෙන කොට්ඨාසයක එජාප ඡන්ද සීයක් දෙසීයක් පමණ ශ්‍රීලනිප පැත්තට පාවිච්චි විය. ඔය ලක්ෂ 14න් 7ක්ම අපේ  ඡන්ද යැයි එම මැතිවරණයෙන් පසු වත්මන් රජයේ නියෝජ්‍ය ඇමති ධූරයක් දරණ නලින් බණ්ඩාර කිව්වේ ඒ නිසාය. ශ්‍රීලනිප පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ බහුතරය කොට්ඨාස දිනා ගත් අය නොවේ. සමානුපාතික ලැයිස්තුවට අනුව පත් වූ අයය. මේ කොයි ආකාරයෙන් පැමිණියද ඉන් බහුතරය අද ශ්‍රීලනිපයෙන් ඉවත්ව ගොස්ය. පසුගිය දිනෙක ශ්‍රීලනිප සහ එජනිස නියෝජනය කළ මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රීවරු 71න් 69ක්ම පොදුජන පෙරමුණට එක්වීම ඊට නිදසුනකි.

මේ ආකාරයට පාර්ලිමේන්තු, හිටපු පළාත් සභා සහ වත්මන් පළාත් පාලන නියෝජිතයින් අද ශ්‍රීලනිපය අත හැර පොදුජන පෙරමුණට ගොස් හමාරය. මේ මහජන නියෝජිතයින් සමඟ පක්ෂයෙන් ඉවත්ව යන්නේ ඔය කියන ලක්ෂ 14ට අයත් ඡන්දයයි. ශ්‍රීලනිපයේ සෝදා යාම කෙතරම් ඛේදජනකද යත් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර තිබෙන වීරකුමාර දිසානායක  ශ්‍රී ලංකා කාරයෙක් නොවේ. ඔහු විමල් විරවංශගේ පක්ෂයේ කෙනෙකි. මේ නිසා ශ්‍රීලනිපය ඔය කියන ලක්ෂ 14ක ඡන්ද ප්‍රමාණය තිබෙනවද නැද්ද කියා දැන ගැනීමට දැන් අවස්ථාවක් උදා වී තිබේ. ඒ ජනාධිපතිවරණයයි. ඊට අපේක්ෂකයෙකු ඉදිරිපත් කොට ඔය කියන ලක්ෂ 14න් හතරෙන් එක් පංගුවක් හෝ ගතහොත් එය පුදුමයකි.

(මංජුල බටුගෙදර)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර බිහිකිරීමට උත්සාහ දැරූ සන්ධානය බිඳ දැමීම සඳහා "පොහොට්ටුව" ලකුණට විරුද්ධ වෙමින් ශ්‍රීලනිපය ඉටු කරන්නේ කාගේ හෝ කොන්ත්‍රාතුවක් බවට කෙහෙළිය රඹුක්වැල්ල මහතා චෝදනා කරයි. 

පොහොට්ටුව ලකුණ සඳහා දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන 19ක් දැනටමත් එකඟ වී තිබියදී ශ්‍රීලනිපය පමණක් ඊට එරෙහිවීම තර්කානුකූල කරුණක් නොවන බව ඒ මහතා අවධාරණය කළේය.

ඒ මහතා මෙසේ අදහස් දැක්විය. 

"පක්ෂ දෙකක් එකතු වෙනකොට තියෙන මූලික සිද්ධාන්තවලට එකඟයි කියලනෙ කියන්නෙ. ඒවට එකඟයි ලාංඡනය තමයි ප්‍රශ්නය කියන්නෙ. ඒ ලාංඡනය ප්‍රශ්නයක් කරගන්නෙම එකක් කාගෙ හරි කොන්ත්‍රාතුවක් පිට. කාගෙ හරි වුවමනාවක් පිට. අර නොවෙන දේකට මේක ගෙනියන්න උත්සාහ කරනවා කියන එකයි අපි දකින්නෙ."

නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පවත්වනු ලබන සාකච්ඡා ලබන සතිය වන විට අවසන් කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවයේම අවධානය යොමුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ මස අවසන් සතිය වනවිට ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කරනු ඇතැයි බලාපොරොත්තු වන බැවින් දෙපාර්ශවය අතර සාකච්ඡා අවසන් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි ද වාර්තා වේ.

මේවනවිට දෙපාර්ශවය අතර සාකච්ඡාවට අටක් පවත්වා ඇති අතර එම සාකච්ඡාවන් හිදී ප‍්‍රතිපත්තිමය කරුණු 25කට අධික සංඛ්‍යාවකට දෙපාර්ශවයම එකඟතාවය පළකර තිබෙන බවද වාර්තාවේ.

එහෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ නව සන්ධානයේ ලංඡනය ලෙසට යොදා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අකමැත්ත ප‍්‍රකාශ කිරීමත්, වෙනත් ලකුණක් යොදා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අකමැති වීමත් හේතුවෙන් සාකච්ඡා සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමට නොහැකිව තිබෙන බවද පැවසේ.

කෙසේ වෙතත් අවසන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ඉදිරි සති කිහිපය ඇතුළතදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට මේ වනවිටත් සාකච්ඡා ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.

ඊට අමතරව එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයන් හා අනෙකුත් දේශපාලන පක්‍ෂ නියෝජිතයන් සමඟ සාකච්ඡා කඩිනමින් අවසන් කරන ලෙසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් විසින් තම පක්‍ෂයේ නියෝජිතවරුන්ට දැනුම් දී ඇති අතර ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් යුතු කමිටුවක් ද පත්කර ඇතැයි වාර්තා වේ.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවට මැතිවරණ කොමිසමට ඊයේ (05) දැනුම් දුන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මගින් මෙම දැනුම් දීම සිදුකළ බවත්, පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණයට අනුව මෙම කටයුතු සිදුකළ බවත් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට පළමු නිල නිවේදනය මෙය බවත්, එහෙත් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවත්වන සාකච්ඡා ඉදිරියටත් පවත්වන බවත් හෙතෙම පවසා සිටියේය.

සැප්තැම්බර් 03 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ සමුළුවෙන් පසු මැතිවරණ දිස්ත්‍රික්ක 22 පුරා සමුළු 22ක් පැවැත්වීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඒෂියන් මිරර් වෙත පැවසීය.

එහි පළමු සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේදී පැවැත්වීමට නියමිතය.

එහිදී 21 වන සියවසට ගැලපෙන ලෙස සැකසූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්තිය ද එළිදක්වන බව මහ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා ඉවත් කර  නව භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා ද මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා ඉවත් කර නව මාධ්‍ය ප්‍රකාශක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතාද පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් පත්කරනු ලැබ සිටිති.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ ඊයේ (26) රාත්‍රී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම පත්වීම් සිදුකරනු ලැබ ඇත.

එස්.බී දිසානායක සහ ඩිලාන් පෙරේරා යන මහත්වරුන්ගේ පසුගිය කාලය පුරා ශ්‍රීලනිපයේ කටයුතු වලින් ඉවත්ව පොදුජන පෙරමුණ සමඟ එක්ව කටයුතු කිරීම නිසා ඔවුන් පක්ෂයේ දැරු තනතුරු වලින් මෙසේ ඉවත් කර ඇත.

මේ අතර ශ්‍රීලනිප හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු ලෙස පත් කිරීමටද මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

ශ්‍රීලනීප ජාතික ලැයිස්තුවෙන් පත්වී වෙනත් පක්ෂ වලට එක්ව කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගතයුතු බවට යෝජනාවක්ද මධ්‍යම කාරක සභාවේ දී අනුමත වී ඇත.

වයඹ පළාතේ ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා එම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා එය ස්ථිර කර ඇත.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන්ද මධ්‍යම කාරක සභා රැස්වීමේදී අදහස් ඉදිරිපත් වී ඇති නමුත් ඒ පිළිබඳව තීරණයක් නොගත් බව මධ්‍යම කාරක සභිකයෙක් සඳහන් කළේය.

එහිදී අදහස් දක්වා ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට  දින තීරණය කිරීමක් හෝ නාම යෝජනා කැඳවීමක් සිදුව නැති බැවින් දැන්ම ඒ ගැන තීරණයක් ගැනීමේ අවශ්‍යතාවයක් නැතැයි පවසා ඇත.

ජනාධිපතිවරණයට තව කල් ඇති බැවින් ඒ ගැන පුළුල් අධ්‍යයනයක් කළ යුතුව ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

මේ අතර පළාත් පාලන ආයතනවල විනය කඩකර ඇති මන්ත්‍රීවරුන්ට එරෙහිව ආරම්භ කර ඇති විනය පරීක්ෂණ කටයුතු දිගටම කරගෙන යාමටද මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

ලබන මස තුන්වැනිදා පැවැත්වෙන පක්ෂයේ 68 වන සංවත්සරය ගැනද දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

පොදුජන පෙරමුණේ සමුළුවට සහභාගී වූ එස්.බී දිසානායක ,ඩීලාන් පෙරේරා , ආචාර්ය සරත් අමුණුගම සහ රෙජිනෝල්ඩ් කුරේ යන මහත්වරුන් කිසිවකුත් මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගී වී නොමැත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් තවමත් තම පක්ෂය එක්සත් ජාතික පක්ෂයට පාවා දීමට කටයුතු කරමින් සිටින බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

මහනුවරදී පැවති මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර ශ්‍රීලනිපයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමේ කටයුත්ත සිදු කළ බව දන්නා බව ද එස් බී දිසානායක මහතා ප්‍රකාශ කළේය.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් පක්ෂයකට දෙවෙනි විය යුතුම නැති බවත් නමුත් ගොඩනැගීමට නියමිත පුළුල් පෙරමුණේ නායකත්වය හිමි විය යුත්තේ පොදු ජන පෙරමුණට බවත් ඒ මහතා කියා සිටියේය.

එසේම අපේක්ෂකයෙකු නම් කිරීමේ අයිතිය හිමි විය යුතු වන්නේ ද පොදු ජන පෙරමුණට බවත් එස් බී දිසානායක මහතා කියා සිටියේය.

ශ්‍රීලනිපය තුළ පක්ෂය ගෙන ගොස් සජිත් ප්‍රේමදාස මහතාගේ ඔඩොක්කුවේ තැබීමට උත්සාහ දරණ පිරිසක් සිටින බවත් නමුත් එය කිසිදා සාර්ථක නොවනු ඇති බවත් එස් බී දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා සම්මේලනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන සැප්තැම්බර් මස 3 වැනිදා පස්වරුවේ සුගතදාස ශෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

ශ්‍රීලනීප ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ හා නව තනතුරු සඳහා පත්වීම් එදින පිරිනැමෙන බවත් ගම් මට්ටමේ බිම් මට්ටමේ පාක්ෂිකයින් ඇතුළු සියලු පක්ෂ සංවිධානයෙන් මාධ්‍ය සංවිධාන නියෝජිතයින්ගෙන් ඇතුළු පක්ෂ සමාජිකයින් විශාල පිරිසක් එදිනට සහභාගී වන බවත් එජනිස මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවැසීය.

පක්ෂය ශක්තිමත් කිරීම පුළුල් සංධානයක් ගොඩනැගීම හා පක්ෂයේ ඉදිරි වැඩ පිළිවෙල පිළිබඳ සාකච්ඡා කිරීම මෙදින සිදුවන බවද ඒ මහතා  කීය.

පක්ෂ 10 කින් යුත් සන්ධානයක් මෙදින ගොඩනගන බවද අලුතින් ගොඩනගන පුළුල් සන්ධානය තුළ නව බලවේග රැසක් ඇතැයිද මන්ත්‍රීවරයා අනාවරණය කළේය.

කොළඹ 10 ඩාර්ලිපාරේ පිහිටි ශ්‍රීලනිප මූලස්ථානයේ ඊයේ (08) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මේ බව පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ජා අසාර්ථක බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු පවසයි.

නෙලූම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇතුලූ පිරිසක් එම සාකච්ජා අසාර්ථක කිරිමට කටයුතු කරමින් සිටින බවය.

ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

ශ්‍රී.ල.නි.ප මන්ත්‍රී කණ්ඩායම සාකච්ඡා කර මෙම තීරණය ගත් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා එම පක්ෂ මූලස්ථානයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

මෙම ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී අද (11) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

Page 1 of 2