February 27, 2020

2020 අප්‍රේල් මස පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනරත්න මහතා තරග නොකිරීමටත් ඒ වෙනුවට සිය බිරිඳ වන සුජාතා සේනාරත්න මහත්මිය තරග කිරීමටත් තීරණය කොට තිබේ. 

සේනාරත්න මහත්මිය තරඟ කිරීමට බලාපොරොත්තු වන්නේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානගත පක්ෂ එක්ව ගොඩනැගීමට නියමිත ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණෙන් කළුතර දිස්ත්‍රික්කය සඳහාය. 

රාජිත සේනාරත්න මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ඒමට බලාපොරොත්තුවෙන් සිටියි.

සේනාරත්න මහතාට මේ වන විට චෝදනා රැසක් එල්ල වෙමින් තිබෙන අතර ඔහු සිටින්නේ අධිකරණයේ ඇප මතය. 

මේ දෙපළගේ පුත්‍රයා වන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා මෙම සන්ධානය තුළින් එම දිස්ත්රික්කයෙන්ම තරග කිරීමට සුදානමින් සිටියි. 

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණ ඇත.

අද (17) පෙරවරුවේ මන්ත්‍රීවරයා අධිකරණය වෙත පැමිණ ඇත.

ඒ ඇප ලබාදීමට එරෙහිව නීතිපති ගොනුකළ නඩුවටය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැය 4කට ආසන්න කාලයක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

අද (14) දහවල් 12.00 ට පමණ මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි තිබේ.

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදෙමින් අධිකරණය සඳහන් කර සිටියේ රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව යාමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි.

ඒ අනුව ඊයේ රාත්‍රී රෝහලෙන් පිටව යාමෙන් අනතුරුව රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.

හෘද රෝගයක් උත්සන්න වූ බව පවසමින් දින 18 ට ආසන්න කාලයක් නාරාහේන්පිට රෝහලක ප්‍රතිකාර නේවාසික ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්ත මහතා අද (14) අලුයම එම රෝහලින් පිටව ගොස් ඇත.
 
සුදු වෑන් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු ලැබ සිටියදි සේනාරත්න මහතා හෘද රෝගයක් උත්සන්න වූ බව පවසමින්  නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ඇතුළත් ව සිටියේය.
 
එම රෝහලේ දින 18 ආසන්න කලෙයක් ප්‍රතිකාර ලබමින් සිටි සේනාරත්න මහතා අද අලුයම 12.30 පමණ මෝටර් රථයක නැගී සිය නිවස බලා පිටත්ව ගියේය.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා යළිත් ඉක්මණින්ම සක්‍රිය දේශපාලනයට සම්බන්ධ වන බවයි. 

"හියුමන් බොඩී ඊස් අ ෆනී තින්" එහාට යනවා මෙහාට යනවා යැයි එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. 

ඔහු මේ බව සඳහන් කළේ අත්අඩංගුවට පත්වීමෙන් වැලකීම සඳහා රෝහල්ගත වූ රාජිත සේනාරත්න මහතාට වැළඳී ඇති දරුණු හෘදයාබාධය මත ඉදිරියේදී ඔහුට ක්‍රියාකාරී දේශපාලනයේ යෙදීමට හැකිද යන්න මාධ්‍යවේදීන් කළ විමසුමට පිළිතුරු දෙමිනි. 

නාරාහේන්පිට ලංකා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රාජිත සේනාරත්න මහතාගේ සුවදුක් බැලීමට පැමිණි අවස්ථාවේ හර්ෂ ද සිල්වා මහතා මේ බැව් සඳහන් කරන ලදී. රාජිත සේනාරත්න මහතා බයිපාස් සැත්කමකට ලක් කර තිබෙන බව දන්නේ නැද්ද යන්න එහිදී ඔහු මාධ්‍යවේදීන්ගෙන් පෙරලා ප්‍රශ්න කරන ලදී. 

කොළඹ නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලෙහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සාමාන්‍ය ප්‍රතිකාර ඒකකයට මාරු කර තිබේ.

රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ අද පස්වරුවේ රාජිත සේනාරත්න මහතා සාමාන්‍ය ප්‍රතිකාර ඒකකයට මාරුකළ බවයි.

ජනාධිපතිවරණ සමයේ සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් වූ රාජිත මහතා පසුගිය 30 වැනිදා ඇප මත මුදා හැරුණි.

සුදුවෑන් මගින් පුද්ගල පැහැරගැනීම් සිදුකළ බවට ප්‍රකාශ කරමින් පැවත්වූ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමට අද (30)  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කළේය.

ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණවය නියෝග කළේ ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02ක් මත රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදෙන ලෙසයි.

එමෙන්ම ඔහුගේ විදෙස් ගමන් අත්හිටවූ අධිකරණය ගුවන් ගමන් බලපත්‍රය අධිකරණයට භාරදෙන ලෙසද නියෝග කළේය.

තවද රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටවීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන ලෙසද රාජිත සේනාරත්න මහතාට නියෝග කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනි පෙරේරා මහත්මිය අද (27) නියෝග කළාය.

මහේස්ත්‍රාත්වරිය සැකකරු නිරික්ෂණය කිරිමෙන් පසුව මෙම නියෝගය නිකුත් කරනු ලැබු අතර සැකකරු බන්ධනාගාර බාරයේ තබා ගැනීමට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය.

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් තිබෙන හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉකුත් 26 වනදා දක්වා සැඟවී සිටියේ බත්තරමුල්ලේ පිහිටි කථානායක නිල නිවාස ආසන්නයේ බව තොරතුරු හෙළිදරව් වී තිබේ. 

ඉකුත් 24 වනදා රාජිත සේනාරත්න මහතාව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරන ලදී. ඉන්පසු රාජිත සේනාරත්න මහතා ආගිය අතක් සොයා ගැනීමට පොලීසියට නොහැකි විය. 

සුදු වෑන් වලින් පැහැර ගත් සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වීම සම්බන්ධයෙන් සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබිණි. 

ඉකුත් 26 වනදා රාත්‍රියේ සේනාරත්න මහතා නාරාහේන්පිට පිහිටි ලංකා (ඇපලෝ) රෝහලට හෘදයාබාධ කරුණක් මුල් කොටගෙන ඇතුළත් වී තිබේ. 

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සොයා අදත් (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඔහුගේ නිවෙස් වෙත ගියද හිටපු අමාත්‍යවරයා සොයාගත හැකි වූයේ නැත.

සුදුවෑන් මගින් පුද්ගලයන් පැහැරගැනීම් සිදුකළ බවට පසුගිය ජනාධිපතිවරණ සමයේදී ආන්දෝලනාත්මක මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් වූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට පත්වූ අතර පසුව ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

එමෙන්ම එම මාධ්‍ය සාකච්ඡාවට අදාළ පුද්ගලයින් දෙදෙනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමකට අනුව පසුගිය අඟහරුවාදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කළේය.

අධිකරණ වරෙන්තුවද රැගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඊයේ (25) රාජිත සේනාරත්න මහතාගේ කොළඹ පිහිටි නිවසට සහ බේරුවල හෙට්ටිමුල්ල ප්‍රෙද්ශයේ පිහිටි නිවසට ගියද ඔහු නිවෙස්වල නොසිටි බැවින් ඔවුන් එම ස්ථානවලින් පිටව ගියේය.

මෙවැනි පසුබිමක තමන්ව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ආපසු කැඳවන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නීතීඥවරුන් මාර්ගයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම වරෙන්තුව නීතිවිරෝධීව ලබාගෙන ඇති බව දක්වමින් , වරෙන්තුව ආපසු කැඳවීමට කරුණු දැක්වීම සඳහා එම නඩුව අද දිනයේ කැඳවන ලෙස සේනාරත්න මහතාගේ නීතීඥයින් එම මෝසමෙන් ඉල්ලා සිටියේය.

කෙසේවෙතත් එලෙස ගොනු කර තිබූ මෝසම අද පස්වරුවේ ඉවත් කරගැනීමට රාජිත සේනාරත්න මහතාගේ නීතීඥයින් යළි පියවර ගෙන තිබූණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පස්වරුවේ යළිත් රාජිත සේනාරත්න මහතාගේ කොළඹ පිහිටි  නිවසට පැමිණි අතර පැයක පමණ කාලයක් එහි රැඳී සිටි නිලධාරීන් ඉන් පිටව ගියේය.

එමෙන්ම පසුව හිටපු අමාත්‍යවරයාගේ නිවසේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් රැඳී සිටින අයුරුද දක්නට ලැබුණි.

Page 1 of 8