October 17, 2019

එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛව ගොඩ ගැනීමට නියමිත ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙත සෘජුවම ප්‍රකාශ කර ඇති බව ඒෂියන් මිරර් වෙත වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක සිය නියෝජ්‍ය නායකයාට මේ බව පවසා තිබෙන්නේ ඉකුත් 6 වැනිදා අරලියගහ මන්දිරයේදී මෙම දෙපළ අතර පමණක් පැවති සාකච්ජාවේදීය.

එළඹෙන ජනාධිපතිවරණයේදී පක්ෂයේ අපේක්ෂකයා තෝරා ගැනීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුධයට විසදුම් සෙවීම එම සාකච්ජාවේ අරමුණ විය.

මෙම සාකච්ජාවෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා හොඳින් හෝ නරකින් සිය අපේක්ෂකත්වය ලබා ගැනීමේ සටන ආරම්භ කරන ලදී.

ඉකුත් 12 වැනිදා බදුල්ලේ රැළියක් පැවැත්වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

ඇතැමුන් වචනයෙන් පමණක් නිදහස ආරක්‍ෂා කිරීම ගැන කතා කළත්, ක්‍රියාවෙන් සැබෑ නිදහස ලබාදුන්නේ කවුරුන්දැයි නැවතත් සිතා බලන ලෙස වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (12) දින රණාල, ජල්තර ප්‍රදේශයේ මධ්‍යම පාන්තිකයින් වෙනුවෙන් ඉදිකළ  “සැමට සෙවන ග්‍රීන් වැලි රෙසිඩන්සීස්” මහල් නිවාස සංකීර්ණය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.

බියෙන් හා සැකයෙන් තොරව ජීවත් විය හැකි ආරක්‍ෂිත පරිසරයක් ගොඩනගන බවට පොරොන්දු දී ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති අපේක්‍ෂකත්වයට ඉදිරිපත් වන්නේ ඔහුට විරුද්ධව ඇති චෝදනා වලට පිලිතුරු දීමෙන් අනතුරුවට යන්න බව  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කරයි.

අධිකරණය ස්වාධීන කිරීම, තොරතුරු ලබා ගැනීමේ අයිතිය සහතික කිරීම, ස්වාධීන කොමිෂන් සභා ඇති කිරීම, අතුරුදන්වූවන් වෙනුවෙන් කාර්යාලයක් පිහිටුවීම වැනි ක්‍රියාමාර්ග රාශියක් ගෙන තිබෙන නිසා විවේචන එල්ල කිරීම්, විරෝධතා පැවැත්වීම ඇතුලූ ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් රට තුළ ඇති කර තිබෙන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා ඊයේ දිනයේ  “නිදහස කම්මුතුකරන්නෙක්”, රටට ඉදිරිපත් කළේ අප ලබා දුන් නිදහස විනාශ කිරීමට බව ද පවසයි.

මෙම නිවාස සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්  අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

“දිළිඳුකම අපේ ප්‍රධාන සතුරා බවට පත් කර ගෙන රටේ දිළිඳුකම පිටු දැකීමට අප තවදුරටත් පියවර ගන්නවා.  දිළිඳුකම නැති කිරීම සඳහා අප ක්‍රියා කරමින් සිටින විට ඇතැමුන් දේශපාලන වාසිවලට ක්‍රියා කරන බව කණගාටුවෙන් වුව ද සඳහන් කළ යුතුයි. මෙම වැඩපිළිවෙළට බාධා කිරීම් ඇති නොවුණා නම් අද වන විට මීටත් වඩා දියුණුවක් රටේ ඇති වන බව කිව යුතුයි. සෑම මාධ්‍ය නාලිකාවක්ම මට දෝෂාරෝපණ එල්ල කළත් එම කිසිඳු මාධ්‍ය ආයතනයකට හානි කිරීම්, මාධ්‍යවේදීන් සුදු වෑන් රථවලින් පැහැරගෙන යාම, ඝාතනය කිරීම, ප්‍රශ්න කිරීම් සිදු වුණේ දැයි මා විමසා සිටීමට කැමතියි. එවැනි කිසිඳු සිදුවීමක් නොවූ බව මා වගකීමෙන් ප්‍රකාශ කරනවා. අපට විරුද්ධව නඩු පැවරීමට, තීරණ ගැනීමට හැකි නිදහස් රටක් අප බිහි කර තිබෙනවා.”

රටේ ජනතාවගේ මානව හිමිකම් ආරක්‍ෂා කළ යුතු බවත්, එම විෂයට ආර්ථික හා සමාජයීය අයිතිවාසිකම් ද අනිවාර්යෙන්ම ඇතුළත් විය යුතු බවත් නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පැවසීය.

රටේ පුරවැසියෙකුගේ පුරවැසිභාවය අංග සම්පූර්ණ වීම සඳහා මෙරට උතුම් භූමියේ අයිතියක් අනිවාර්යෙන්ම එම පුරවැසියාට තිබිය යුතු බව ද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකවරයා ටර්මිනේටර්වරයෙක් හෙවත් කම්මුතු කරන්නෙක් බව බැසිල් රාජපක්‍ෂ මහතා මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇති බවත් අද රටට අවශ්‍ය අනාගතය කම්මුතු කරන්නෙකු නොව, අනාගතය සුරක්‍ෂිත කරන්නෙකු බව අවධාරණය කළේය.

අරලියගහ මන්දිරයේදී කොළඹ, කුරුණෑගල සහ ගාල්ල දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින්ගේ හමුවක් අමතමින්  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසීය.

“පොදුජන පෙරමුණ පොහොට්ටුවෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා ටර්මිනේටර්වරයෙක් හෙවත් කම්මුතු කරන්නෙක් බව බැසිල් රාජපක්ෂ මහතා  මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශ කර තිබෙනවා. එවැනි කම්මුතු කරන්නෙකු බලයට පැමිණියොත් ආර්ථිකය කම්මුතුයි. සංවර්ධනය කම්මුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය කම්මුතුයි. මාධ්‍ය නිදහස කම්මුතුයි. ස්වාධීන අධිකරණය කම්මුතුයි. නිදහස් අධ්‍යාපනය කම්මුතුයි. නගර දියුණුව කම්මුතුයි, සෞඛ්‍ය ක්ෂේත්‍රය කම්මුතුයි. එහෙම නම් රට බාරදෙන්නේ මෙවැනි කම්මුතු කරන්නෙක්ට ද කියා මා ජනතාවගෙන් විමසා සිටිනවා. අද පොහොට්ටු පක්ෂයට මාධ්‍යයෙන් විශාල සහයෝගයක් ලබා දෙනවා. නමුත් මා මාධ්‍යයෙන් විමසා සිටින්නේ මාධ්‍ය නිදහස කම්මුතු කරන්නෙකුට රට භාර දෙනවාද කියායි. මට මාධ්‍යයෙන් බණින ආකාරයට කම්මුතුකාරයෙකුට බැනිය හැකිද? එහෙම වුනොත් ඔබට අද ලබාදී තිබෙන නිදහස කුමක් වේද? ඔබේ ජීවිතය හා මේ රටේ අනාගතය ඔබ කම්මුතු කරනවාද? කම්මුතුකරුවෙකුට රට භාර දෙන්නේ නැතුව රටත් ඔබේ අනාගතයත් ආරක්ෂා කිරීම වෙනුවෙන් ක්‍රියාකරන ලෙස මා ඔබ සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිනවා.”

එක්සත් ජාතික පක්ෂයේ අරමුණ වන්නේ එක්සත් ජාතික පාක්ෂිකයා ජයග්‍රහණය කරවීම බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර පැවති සාකච්ඡා පිළිබඳව මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ ඔවුන් දෙපල ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයෙක් බිහි කිරීම පිළිබඳව ඔවුන් සාකච්ඡා සිදු කළ බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා එක්ව තරගයට මුහුණ දෙන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

එක්සත් ජාතික පෙරමුණේ ගැලපෙන නොගැලපෙන සියලු පාර්ශ්ව එකතු කරගත හැකි ජාතික නායකත්වයක් ඇත්නම් ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පමණක්ම බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. 

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය. 

මේ අතර එජාප ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පැවසුවේ එජාපයට තනතුරු දෙකක් නොව තුනක්ම තිබෙන බවයි. එනම් ජනාධිපති අපේක්ෂක, අගමැති අපේක්ෂක සහ පක්ෂ නායක වශයෙන් තනතුරු තුනක් පවතින හෙයින් සුදුස්සන් ඒ සඳහා පත් කළ යුතු බව පැවසූ ඒ මහතා ජනප්‍රියත්වය යනු එක් සාධකයක් පමණක් බවත් පෙන්වා දුන්නේය. 

1994 වසරේදී ජනප්‍රිය නායකත්වය ඉස්මතු වූ නමුත් අවසානයේ අපේක්ෂකයා තෙරීම සඳහා පක්ෂ අභ්‍යන්තරයේ පැවති රහස් ඡන්දයෙන් තම පියාට වැඩි ඡන්ද දෙකකින් ජයගැනීමේ හැකියාව ලැබුණු බව ඒ මහතා සිහිපත් කළේය. 

නුදුරු දිනකදීම පක්ෂයේ අපේක්ෂකයා ඉදිරිපත් කිරීමට හැකි වනු ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

විපක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා අභියෝගයක් වුවද ඒ සඳහා පක්ෂයක් ලෙස මුහුණ දීමට කටයුතු කරන බවත් ඒ සඳහා සුදුසු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.

එසේම රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර කිසිදු විරසකයක් නොමැති බවත් ඉතා ඉක්මනින් එක්සත් ජාතින පක්ෂ අපේක්ෂකයා නම් කළ හැකි වනු ඇති බවත් රුවන් විජේවර්ධන මහතා කියා සිටියේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් අරලියගහ මන්දිරයට කැඳවා ඔවුන්ට කරුණු පැහැදිලි කිරීමක් සහ ඉන් පසුව සාකච්ජාවක් පවත්වා තිබේ.

එහිදී පොදු සන්ධානයක් ගොඩ නැගීම සඳහා තිබෙන ගැටළු විසදා ගන්නා ආකාරය පිලිබඳ අගමැතිවරයා මෙම මන්ත්‍රීවරුන් සමඟ සාකච්ජා කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර නවින් දිසානායක අමාත්‍යවරයා රැස්වීමක් අමතා ප්‍රකාශ කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු තුනක් පිළිබඳව අවධානය යොමු කල යුතු බවයි. ඒ ජනාධිපති අපේක්ෂක, අගමැති අපේක්ෂකත්වය හා පක්ෂ නායකත්වය යන තනතුරුයි.

ඔහුගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායක තනතුරු සඳහා පමණක් සිමා කිරීමට පොරොන්දු වී තිබෙන අදහසයි. 

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එකමුතුව, එක්සත්ව යන ගමනකට ශක්තිමත් සන්ධානයක් මේ මාසය අවසන්වීමට පෙර පිහිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී ඊයේ (08) පැවසීය.
 
අදහස්වලින් අලුත් වන්නේ නැතිනම් සංධාන පිහිටුවා කිසිදු ප්‍රයෝජනයක් නැති බව කී අග්‍රාමාත්‍යවරයා අලුත් අදහස් සමග අලුත් සංධානය පිහිටුවීම බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ දෑ අභිමානී හරසර සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
 
නිවාස ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා ශ්‍රම දායකත්වය දැක්වූ ජනතාවට මරසර දැක්වීම සඳහා මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය සංවිධානය කළ මෙම උත්සවය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
 
ඉදිරියේදී පිහිටුවීමට නියමිත නව සංධානය පිළිබඳව එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ කීය.
 
“අප විසින් කරන ලද පරිවර්තනය පිළිගත යුතුයි. ඒ පරිවර්තනය නිසා ජනතාවත් වෙනස් වී තිබෙනවා. නිදහස් සමාජයක් නිර්මාණය වී තිබෙනවා. ඉන්න හිතෙන රටක් අවශ්‍ය නම් මෙරට දේශපාලනය වෙනස් කළ යුතු බව ජනතාව කියනවා. හිසරදයකට කොට්ටය මාරුකිරීම පිළියමක් නොවේ. අප අලුතින් සිතා අලුතින් ඉදිරියට යා යුතුයි. නැතිනම් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද කඩා වැටෙනවා. සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදී ඉදිරියට යාම සඳහා අප සන්ධානගත වෙනවා. එලෙස සන්ධානගත වී අලුත් අදහස් සමග ඉදිරියට එනවා. ඒ සන්ධානය ගැන මේ වනවිට සාකච්ඡා කර තිබෙනවා. අප එම සන්ධානයේ එකමුතුව එක්සත්ව එක ගමනකට යන ශක්තිමකත් සංවිධානයක් පිහිටුවනවා. පරිවර්තනය නිසා මෙරට දේශපාලනඥයන් වෙනස් වී තිබෙනවා. දැන් අපි දකින්නේ සන්ධාන දේශපාලනයක්. ප්‍රධාන පක්ෂයක නායකත්වය යටතේ එවැනි සන්ධාන තුනක් ඇතිවීඹට නියමිතයි. ඒ සන්ධාන වලින් ඊළග ජනාධිපතිවරණයට තරග කිරීමට සිදුවනවා. අදහස් වලින් අලුත් වෙන්නේ නැතිනම් සන්ධානයක් පිහිටුවා කිසිදු ප්‍රයෝජනයක් නැහැ. අලුත් අදහස් සමග අලුත් සන්ධානයක් පිහිටුවීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තුව මේ මාසය අවසන් වීමට පෙර ඉටුවනවා. ඒ එකමුතුබවත් සමග ඉදිරියට යමු” 

ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණු පුළුල් සන්ධානය හැකි ඉක්මණින් පිහිටුවිය යුතු බවට එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර පූර්ණ එකඟතාවය පළ වී ඇත.
 
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ඇතිව තිබෙන එකගතාවය අනුව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ව්‍යවස්ථාවේ ඇති කළ යුතු සංශෝධන සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෝ අද (08) සාකච්ඡා කළහ.
 
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සාකච්ඡා කළ අතර පක්ෂ නායක, අමාත්‍ය කබීර් හෂීම් මහතා වෙත බාරදුන් පක්ෂයේ සංශෝධන එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂ වෙත ලබාදීමට පියවර ගෙන තිබුණි.
 
ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් පුළුල් සංධානයක් පිහිටුවිය යුතු බවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ඇතිව තිබෙන එකගතාවය අනුව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථාව ඉදිරි දින දෙක තුළ සංශෝධනය කර අවසන් කරන බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්ෂයේ නායක, අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළේය.
 
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ අගෝස්තු මාසයේදී පිහිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර ප්‍රකාශ කරනු ලැබීය.

පාස්කු ඉරු දින ප‍්‍රහාරයක් එල්ල විය හැකි බවට ජාතික හා රාජ්‍ය බුද්ධි සේවා යොමු කළ ලිපි තමන්ට හෝ අග‍්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට ලැබී නොතිබුණු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය. ‘‘එහෙම ලිපි ලැබිලා තිබුණේ නැහැ.  අගමැති ආරක්ෂක අංශයටවත් ලැබිලා තිබුණේ නැහැ. එහෙම ලිපියක් ලැබිලා තිබුණා නම් මම අඩු තරමින් පොලිසියෙන් හරි අහල බලනවා,” යැයි අගමැතිවරයා මෙහිදී පැවසීය.
 
අගමැතිවරයා ඒ බවක් ප‍්‍රකාශ කළේ, පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමිනි.
 
 අන්තවාදී ඉස්ලාම් සංවිධානවලට සහාය දක්වන පිරිස් සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක මණ්ඩලයේදී විටින් විට වාර්තා ලැබුණු බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය. කට්ටියක් සිරියාවට ගිහින් ආව බවට තොරතුරු ලැබිලා තිබුණා. ඒ ගැන හොයන්න බුද්ධි අංශවලට උපදෙස් දුන්නා යැයිද එහෙත්, ඔවුන් ත‍්‍රස්තවාදී ක‍්‍රියාවලට යොමුවී සිටි බවට තොරතුරු ලැබී නොතිබුණු බව ද අගමැතිවරයා පැවසීය.
 
 2018 වසරේ ඔක්තෝබර් මාසයේ සිට තමන්ට ආරක්ෂක කවුන්සිලයට ආරාධනා නොලැබුණු බවත් ඇතැම් තොරතුරු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයෙන් ලබා ගත් බවත් අගමැතිවරයා පැවසීය.
 
 මේ අතර, පසුගිය වසරේ ඔක්තෝබර් මාසය වන තෙක් මසකට පමණ වරක් ආරක්ෂක කවුන්සිලය රැුස්වූ බවත් එය ජනාධිපතිවරයාගේ කැඳවීම මත පැවැත්වූ බවත් අග‍්‍රාමාත්‍යවරයා පැවසීය.
 
 2018 වසරේ ඔක්තෝබර් මාසයේ ඇති වූ අර්බුදයෙන් පසු අග‍්‍රාමාත්‍යවරයා ලෙස යළි දිවුරුම් දීමෙන් පසු සම්ප‍්‍රදායානුකූලව ආරක්ෂක හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා හමුවූයේ ද යන්න මහාචාර්ය ආශු මාරසිංහ මහතා ප‍්‍රශ්න කළේය.
 
 ඊට පිළිතුරු දෙමින් අග‍්‍රාමාත්‍යවරයා පැවසුවේ, පොලිස්පතිවරයා පමණක් තමන් මුණ ගැසුණු බවය.



DLB Desktop