October 17, 2019

රට ගොඩනැංවිය හැකි ප්‍රතිපත්ති පදනම් කරගත් ශක්තිමත් හා බලවත් දේශපාලන සන්ධානයක් ස්ථාපිත කොට එම සන්ධානයෙන් ජනාධිපති අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කරමින් දේශයේ නව දේශපාලන පෙරළියක් සිදුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සන්ධානයේ ප්‍රතිපත්ති එළිදැක්වීම හා අපේක්‍ෂකයා නම් කිරිම සමාන්තරව සිදු කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ වික්‍රමසිංහ මහතා සන්ධානයට එක්වන සියලූ දේශපාලන පක්‍ෂ තම තමන්ගේ පක්‍ෂ අනන්‍යතාව ආරක්‍ෂා කර ගනිමින් සන්ධානය හා අත්වැල් බැදගන්නා බවද සඳහන් කළේය.

අග්‍රාමාත්‍යවරයා  මෙම අදහස් පළ කළේ අංකුඹුර මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹිමෙන් හා අංකුඹුර නව බස් තැවතුම්පොළ විවෘත කිරිමෙන් පසු පැවති ජනහමුව අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

“ආණ්ඩුව ගමට කිසිවක් කර නැහැ කියා ඇතැමුන් චෝදනා කරනවා. ඒ චෝදනා අපට පිළිගන්න බැහැ. අපි සෑම ගමකටම වසරකට අවම වශයෙන් එක් ව්‍යාපෘතියක් හෝ ලබාදී තිබෙනවා. එවැනි සංවර්ධනයක් රට තුළ ඇති කිරීමට අවශ්‍ය මුදල් අමාරුවෙන් අප සොයාගත් බව සඳහන් කළ යුතුයි. 2015 වසරේ රට භාරගන්නා අවස්ථාවේ රට ඉදිරියට ගෙන යෑමට මුදල් තිබුණේ නැහැ. 2009 වසරේ යුද්ධය අවසන් වුවත් 2010 වසරේ සිට රට සංවර්ධනය කරනවා වෙනුවට විශාල ණය ප්‍රමාණයක් ලබාගෙන ආණ්ඩුව ගෙන යා නොහැකි තැනකට පත්ව තිබුණා. ඒ නිසා වසර දෙකක් ඉතිරිව තිබිය දී ජනාධිපතිවරණයක් කැඳවීමට පසුගිය පාලකයින් තීරණය කළා."

"වසර දෙකක් තිබියදී ජනාධිපතිවරණයක් අකමැත්තෙන් වුවත් කැඳවීමට ඔවුන්ට සිදු වුණා. අපි රට භාරගන්නා අවස්ථාවේ ණය ගෙවීමටවත් මෙරට මුදල් තිබුණේ නැහැ. අපි භාරගන්නා විට රටේ තත්ත්වය එය වුවත් රටේ ආර්ථිකය ස්ථාවර කර දියුණු කිරීමට පසුගිය කාලය තුළ අප කටයුතු කළා. ඒ නිසා ණය ගෙවීමට හැකියාවක් තිබෙන බව විශ්වාසයෙන් කිව යුතුයි. ණය ලබාගෙන හෝ ණය ගෙවිය හැකි තත්ත්වයකට අපි දැන් පැමිණ තිබෙනවා. අයවැය මගින් රටේ ජනතාවගේ ආදායම ඉහළ නැංවීමට අප පියවර ගත්තා. වැට් බදු පැනවීමේදී බොහෝ පිරිස් අපට දෝෂාරෝපණ එල්ල කළා. එලෙස උපයාගත් ආදායම් අපතේ නොයවා මෙවැනි විශාල සංවර්ධනයක් රට පුරා සිදු කර තිබෙන බව සඳහන් කරන්න කැමැතියි” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

වැඩ කරන ජනතාව වෙනුවෙන් වෘත්තීය ආරක්ෂාව ස්ථාපිත කිරීම ඉතා වැදගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා  මේ අදහස් පළ කළේ ඊයේ (23) කොළඹ පැවති උත්සවයකදීය.

ජාතික වෘත්තීය සුරක්ෂිතතා සම්මාන උළෙල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වුණි.

එය සංවිධාන කර තිබුණේ කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශය මඟින්ය.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මේ බව පැවසීය.

“වෘත්තීය ආරක්ෂාව අද වන විට නිෂ්පාදන ක්ෂේත්‍රෙය් මෙන්ම අනෙක් අංශ වලත් ජාත්‍යන්තර මට්ටමට ඇවිත් තිබෙනවා. වෘත්තීය ආරක්ෂාව වැඩ කරන ජනතාව වෙනුවෙන් ඉතා අත්‍යවශ්‍ය සාධකයක්. එය අපේ කම්කරු ප්‍රතිපත්ති තුළත් ඉතා වැදගත් සාධකයක්.වැඩකරන සෑම කෙනෙක්ම ඒ යටතේ ආරක්ෂා විය යුතුයි.එය මහපරිමාණ ව්‍යාපාර වලට පමණක් නෙමෙයි අනෙකුත් කුඩා ව්‍යාපාර වලට ව්‍යාප්ත කළ යුතුයි. මම ස්තූතියවන්ත වෙනවා මේ රටේ ව්‍යවසායකයින්ට වැඩ කරන ජනතාව වෙනුවෙන් වෘත්තීය ආරක්ෂාව ක්‍රියාත්මක කිරීම පිළිබඳව.අපි තේරුම් අරන් තියෙනවා අපේ වැඩ කරන පිරිස මහ පරිමාණයෙන් නැහැ.අපේ ජනගහනය පුළුල් වී නැහැ. එය ඉතා අඩුයි. විරැකියාවෙන් පෙළෙන අය ආරක්ෂා කළ යුතුයි. එයින් කියන්නේ ඉදිරි කාලය තුළ වයස අවුරුදු 60 දී විශ්‍රාම යනවා කියන එක නෙමෙයි , ඊට වඩා කාලයක් සිටිය යුතු බවයි.“

අවුරුදු පනහක් හැටක් කිසිදු සැලැස්මක් නැතුව ගොඩනැගුන කොළඹ නගරය සිංගප්පූරුව වගේ ලෝකයේ අළංකාර  නගරයක් බවට පරිවර්තනය කරමින්  ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  මහතා පැවසීය.

ඊළඟ  අවුරුදු පහේදී  විශාල, අලංකාර නගරයකට පහසුකම් ලබාදී දේශීය සහ  විදේශීය ආයෝජනයක් රටට ලබාගැනීම වෙනුවෙන් මේ සියල්ලක්ම සිදු කරන බවත් අග‍්‍රාමාත්‍යවරයා  සඳහන් කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  මහතා මේ බව පැවසුවේ බේරේ වැව මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවයේ සමාරම්භක උත්සවයට අද (22) එක් වෙමිනි.

එහිදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් බෝට්ටු අංගනය විවෘත කිරීමෙන් පසු ප‍්‍රථම ගමන් වාරයට එක්වීම විශේෂත්වයකි.

කොළඹ නගරයේ මහා මාර්ග තදබදයට විසඳුමක් ලෙස යූනියන් පෙදෙස සිට කොළඹ කොටුව දක්වා කි‍්‍රයාත්මක වන බේරේ වැව මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවයේ මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයකට අනුව කි‍්‍රයාත්මක වේ.

කොළඹ කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා බස් රියකින් ගමන් කිරීමේදී විනාඩි 30 ක පමණ කාලයක් ගත වන අතර මෙම මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවාවෙන් මිනිත්තු 9 -10 ක් අතර කාලයකින් ගමනාන්තයට ළඟා විය හැක.

මුල් මාසය ඇතුළත මගී ජනතාවට නොමිලේ මෙම සේවය ලබාගැනීමට අවස්ථාව සලසා ඇති බවත් මහානගර හා  බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා නාවුක හමුදාව හා ඒකාබද්ධව කි‍්‍රයාත්මක මෙම යාත‍්‍රා සේවය නාවුක ගමනා ගමනයේදී පිළිපැදිය යුතු සියළු ආරක්ෂක විධිවිධාන අනුගමනය කරමින් කි‍්‍රයාත්මකයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  මහතා මෙසේද කීය.

‘‘අද අපි දක්න්නේ අළංකාර කොළඹක්. සිංගප්පූරුව වගේ ලෝකයේ අළංකාර  නගරයක් බවට කොළඹ පරිවර්ථනය ඇති කරමින්  තිබෙනවා. මේ නගරය අවුරුදු පනහක්  හැටක් කිසිම සැළැස්මක් නැතුව සංවර්ධනයක් ඇතිවුණා. අපි කුඩා කාළයේදී බේරේ වැව කියන්නේ ඉතා අලංකාර  ප‍්‍රදේශයක්. ඒ සියල්ලම නැති වුනා.  ඒත් ගිය අවුරුදු හතරේදී මහානගර හා  බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය ගත් ක‍්‍රියාමාර්ග නිසා  අවුරුදු පනහකින්  හැටකින් කරන්න බැරිවුන වැඩකටයුතු  අද මෙතනදි  සිදුවෙනවා කයලා මම කියන්න කැමතියි. මේ බෝට්ටු දෙකෙන් පළමුවෙනි බෝට්ටු සේවය මේ ප‍්‍රදේශවල  ආරම්භ වුණා. දැන් ගමනා ගමන පහසුකම් තියෙනවා. අලංකාර නගරයක් තියෙනවා.  අළංකාර නගරයක් පමනක් නෙමෙයි නවීන නගරයක් ඉදිවෙනවා. වාණිජ ගොඩනැගිලි, නිවාස, මිශ‍්‍ර කාර්යයන් තියෙන ගොඩනැගිලි ඒ සියල්ලක්ම මෙතනට එනවා. මෙතන සිදුවෙන්නේ විශාල අලංකාර ගොඩනැගිල්ලක් ඇති කිරීමයි. අපි ක‍්‍රියා කරන්නේ  ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරිමටයි. ඒ කේන්ද්‍රස්ථානයේ කේන්ද්‍රය වෙන්නේ  මේ වටේම තියෙන මේ මහා නගරයයි. ඒ නගරයේ තමයි දැන් සැලසුම් කරන්නේ. ඒ නගරය සම්බන්ධ වෙන්නේ එක අධිවේගී  මාර්ගයක් තියෙනවා නුවරට. අනික තියෙනවා හම්බන්තොටට. ඒත් මේ ප‍්‍රධාන නගරය මෙතන බිහිවෙනවා. මෙහෙම  නගරයක් බිහි කරද්දි දුෂ්කරම  කාර්යය එහි ආරම්භය ඇති කිරිමයි."

"අඩු ආදායම් ලාභීන්ට තට්ටු නිවාස හදාගෙන යනවා. මේ සමග  අනිත් සංස්ථා, අනිත් අමාත්‍යාංශ එකතු වෙලා විශාල දියුණුවක්  ඇති කරනවා. අපි බලන්නේ ආපහු  දකුණු ආසියාවේ හොඳම නගරය, අළංකාරම  නගරය කොළඹ බවට පත් කරන්නයි. ඒ වගේම  ඉන්දියන්  සාගරයේ මහා නගරය කොළඹ  බවට  පත්කරන්නත් අපි සැලසුම් කරලා තියෙනවා. මේ සියල්ලම කරන්නේ ඊළඟ  අවුරුදු පහේදී  මෙහෙම විශාල අලංකාර නගරයකට පහසුකම් ලබා දීලා දේශීය වෙන්න පුළුවන් විදේශීය වෙන්න පුළුවන් විශාල ආයෝජනයක්  මේ රටට ලබා දෙන්නයි. අපි අපනයන ආර්ථිකයක් මේ රටේ ඇති කළ යුතුයි. අපි ණය  ගත්තා වගේ දැන්  සම්පුර්ණයෙන්ම මුල් මුදල ආපහු ගෙවන්න  ඕනෑ. අපි දියුණු රටක් විදියට යනවානම් අපිට හැමදාම ණය ගන්න බැහැ. හිඟා කන්න බැහැ. අන්න ඒ තත්වයට යන්න අපිට ආත්ම ගෞරවයක් ඇති කරගන්න තමයි  අපි ක‍්‍රියා කරගෙන යන්නේ. ඒ සඳහා මේ මහා නගරයට  වැදගත් ක‍්‍රියාවලියක්  තිබෙන බව ප‍්‍රකාශ කරමින් ඇමැතිතුමාටත් අමාත්‍යාංශයටත්, නාවික හමුදාවටත් මම ස්තූති කරනවා’’ යැයිද අග‍්‍රාමාත්‍යවරයා එහිදී පැවැසීය.

කුමන ගැටළුවක් රට තුළ පැවතියත් ජනතාවගේ ආදායම ඉහළ ගොස් ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කම්කරු දෙපාර්තමේන්තුවේ නව ගොඩනැඟිල්ල විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 

4 වන කර්මාන්ත විප්ලවයේ දී මිනිස් ශ්‍රමය මෙන්ම යන්ත්‍ර සුත්‍ර වැඩි වැඩයෙන් යොදවන බවත්, ඒ හා සමානව සේවක පිරිස ආරක්ෂා කිරීම යන සියලු දේ ගැන අවධානය යොමු කළ යුතු බවත් අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මේ මොහොතේ අපි එතැනට ගමන් යා යුතු බවත් පැවසු අගමැතිවරයා, මේ වසර 5 තුළ ආර්ථිකය සකස් කළේ, දෙවනුව අපනයන ආර්ථිකයට යෑමට බවත් පැවසු අගමැතිවරයා රටේ ආර්ථිකය සකස් කරන විට ප්‍රශ්න ගණනාවක් තිබුණු බවද කියා සිටියේය.

විශාල ණය බරක් පැවති බවත් කියා සිටි අගමැතිවරයා, ප්‍රශ්න කොතෙක් තිබුණත් රටේ ජනතාවගේ ආදායම වැඩි කළ බවද සඳහන් කළේය.

සියයට 50 සිට සියයට 100 දක්වා ආදායම සෑම තැනකම වැඩි වී ඇතැයි  ද පැවසු අගමැතිවරයා ඒ ගැන ආඩම්බර වන බවත් පැවසීය.

කොතෙක් ප්‍රශ්නවලට මුහුණ දුන්නත් අද දවසේ ජීවන රටාව තුළ ජනතාවට ජීවත් වෙන්න වැඩි ආදායමක් අවශ්‍ය බව පිළිගත් බවද කියා සිටියේය.

අතීතයේ ආහාර ගැන විතරක් අවධානය යොමු කල සමාජයක් පැවති බවත් සඳහන් කර සිටි අගමැතිවරයා අද වන විට ආහාර පමණක් නොව ජංගම දුරකථන, අමතර පන්ති ගාස්තු, වැනි වෙනත් වියදම් රැසක් පවතින බවද පැවසීය.

තමන්ට වියදම් කිරීමට ඇති මුදල වැඩි වීමට නම් ආදායම වැඩි විය යුතු බවත් පැවසු අගමැතිවරයා, ඒ සඳහා නිෂ්පාදනය වැඩිවිය යුතු යැයි ද කියා සිටියේය.

ප්‍රශ්න කොතරම් තිබුණත් රටේ ජනතාවගේ ආදායම වැඩි කිරීම ගැන තමා සතුටු වන බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයකු තෝරා ගැනීම සඳහා දින 7ක් තුළ පාර්ලිමේන්තු කණ්ඩායම සහ කෘත්‍යාධීකාරි මණ්ඩලය එකට කැඳවන ලෙස මන්ත‍්‍රීවරුන් 54 කගේ අත්සනින් යුතු ලිපියක් එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින්  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට භාර දුන් බව පොදු සැපයීම් හා ආර්ථික ප‍්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (19) පැවසීය.
 
ඉහත ලිපිය භාර දීම ඊයේ (19) පෙරවරුවේ සිදුවූ අතර පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී  මන්ත‍්‍රීවරුන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන්  පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග සාකච්ඡා කර එහි තීන්දුව හෙට (21) දැනුම් දෙන බව අග‍්‍රාමාත්‍යවරයා දැනුම් දුන් බවත් හෙතෙම කියා සිටියේය.
 
ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී ඊයේ (19) පස්වරුවේ පැවැත්විණි.
 
පාර්ලිමේන්තු සැසිය ආරම්භයේදී සුපුරුදු ආකාරයට පැවැත්වෙන ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් එහිදී සාකච්ඡා කෙරිණි.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

එහිදී පාර්ලිමේන්තු කටයුතුවලට අමතරව මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිත අපේක්ෂකයා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ මතය විමසීමට ද නියමිතයි.

මේ වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කර ඇති අතර ජාතික ජන බලවේගය ඊයේ දිනයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළේ, අනුර කුමාර දිසානායක මහතායි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව වක්‍රාකාරයෙන් විවේචනය කරමින් අදහස් පළ කරන ලද ඇමති වසන්ත සේනානායක මහතාට ජනතාවගේ විරෝධය ප්‍රසිද්ධියේ එල්ල විය.

ඇමැති සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඔහු අදහස් පල කරමින් සිටියදී මෙම විරෝධතාවය එල්ල වූයේය.

‘අගමැතිතුමාට බනින්නෙපා.. අපි හොඳ යූඑන්පී කාරයෝ’ යැයි එහි සිටි පුද්ගලයෙක් උස් හඬින් අදහස් පළකළේය.

මෙම උත්සවය පැවැත්වුණේ පොලොන්නරුව ප්‍රදේශයේදීය.

මෙරට පවතින දේශපාලන ක්‍රමවේදය පිළිබඳව තරුණ පරපුරේ විශ්වාසය බිඳවැටී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ අනුව දේශපාලන ක්‍රමයේ වෙනසක් සිදු කළ යුතු බවත්, එම වෙනස රටේ තරුණ තරුණියන් සමග එක්ව ඔවුන්ගේ අදහස්වලට මුල්තැනදී සිදු කළ යුතු බවත් ඊයේ (17) අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදී සඳහන් කළේය.

2015 බලයට පැමිණි ආණ්ඩුව විවිධ අභියෝග මධ්‍යයයේ ඉදිරියට පැමිණ සංහිදියාව, නිදහස ස්ථාපිත කළ බවත් දැන් කළ යුතුව තිබෙන්නේ පවතින ක්‍රමවේදය වෙනස් කර තරුණ පරපුරේ විශ්වාසය යළි ගොඩනඟමින් ඔවුන්ට යහපත් අනාගතයක් උදාකර දීම බවත් වික්‍රමසිංහ මහතා සිහිපත් කළේය. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද අරලියගහ මන්දිරයේ පැවැති ශ්‍රී ලංකා ජාතික තරුණ ස්වේච්ඡා සේවය බලාත්මක කිරීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමිනි. 

ලෝක තරුණ දිනය සැමරීමට සමගාමීව සංවිධානය කර තිබූ මෙම උත්සවයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ජාතික තරුණ ස්වෙච්ඡා සේවය සඳහා අන්තර් ජාලය ඔස්සේ එක්වීමට තරුණ සේවා සභාවේ වෙබ් අඩවියේ වෙබ් පිටුවක් විවෘත කිරීම ද සිදු කෙරිණි.  

එම උත්සවය අමතා තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

“තරුණ ඔබට අවශ්‍ය රට බිහිකරදීම අපේ වගකීම වී තිබෙනවා. අප දැන් ඇසිය යුත්තේ ඔබට අවශ්‍ය රට කෙසේ ගොඩනඟනවා ද, කවුරුන් එය සිදු කරයි ද, යන්නයි.  මුහුණු මාරු කිරීමෙන් එය සිදු කරනවා ද, පාර්ලිමේන්තුවේ 225 ඉවත් කර වෙනත් පිරිසක් ගෙන එනවා ද, නැතිනම් ක්‍රමවේදය වෙනස් කර ඉදිරියට ගමන් කරනවා දැයි ඔබෙන් අහන්න කැමැතියි.  මේ ක්‍රමය පිළිබඳව මමත් හොඳට කල්පනා කළා. ඇයි අපට වේගයෙන් ගමන් කරන්න බැරි. මගේ කුඩා කාලයේ අපට ඉදිරියෙන් සිටියේ ජපානය පමණක් වුවත්, දැන් අපට පසුපසින් සිටින්නේ ඇෆ්ගනිස්ථානය පමණයි. අපට දියුණු වීමට නොහැකි වූයේ දේශපාලන ක්‍රමය නිසා බව අප සියලූ දෙනාම පිළිගත යුතුයි. මුහුණු මාරු කිරීමෙන් විසඳුමක් ලැබෙන්නේ නැහැ. අපි මේ ක්‍රමය වෙනස් නොකළ හොත් විසඳුමක් ලැබෙන්නේ නැති බව සඳහන් කරන්න කැමැතියි. රට දියුණු කිරීමට අවශ්‍ය ඒ වෙනස ඇති කිරීමට ඔබත් සමග කැපවීමෙන් කටයුතු කිරීමට මම සූදානම් බව මේ මොහොතේ කියන්න කැමැතියි. ඔබේ අනාගතය වෙනුවෙන් රටේ ණය බර නව පරපුරට ඉතුරු නොකර අපේ ජීවිත කාලය තුළ ගෙවා දැමිය යුතු බව අප තීරණය කළා.  තරුණ තරුණියන්ට අවශ්‍ය වෙනස කුමක්දැයි දැනගැනීමට යෞවන සමාජ සම්මේලනයේ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරනවා.  ඔබේ අදහස් අනුව ඔබට අවශ්‍ය වෙනස පිළිඅරගෙන ඒ වෙනස ඇති කිරීම සඳහා කැපවීමෙන් අප සියලූදෙනාම සටන් කරමු යැයි ඉල්ලා සිටිනවා.“

යාපනය  ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරයක් බවට පත්කිරීමට කටයුතු කරන බවත් යාපනය කේන්ද්‍ර කොට ගෙන විශාල ආර්ථික ප්‍රබෝධයක් ඉදිරි වසර 05 තුළ ඇති කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

යුද්ධයෙන් පීඩාවට පත්වූ යාපනය ඇතුළු උතුරු ප්‍රදේශය යළි නගා සිටුවීම තම අරමුණ බවත් එම සංවර්ධන ගමන් මගෙහි ඉදිරියට යාම සඳහා අත්වැල් බැද ගන්නා ලෙස තමා උතුරේ ජනතාවට ආරාධනා කරන බවත් ඔහු පැවැසීය.

යාපනයේ මයිලඩි ධීවර වරායේ ප්‍රථම අදියර විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය.

මුලින්ම රට පුරා සමාජ සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා තම රජය පියවර ගත් බවත් වර්තමානයේදි ආර්ථික දියුණුව සඳහා වැඩි බරක් තබා ඇති බවත් ඔහු පැවැසීය.

යාපනය නගරාධිපති හා සාකච්ඡා කරන යාපනය නව නගරය සැලසුම් කොට ඉදිකිරීමට මේ වන විට මූලික පියවර ගෙන ඇති බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

කිසිඳු අවස්ථාවක බලහත්කාරයෙන් හෝ අනවශ්‍ය පරිදි හෝ අලුතින් ආගමික මධ්‍යස්ථාන ඉදිකිරීමට රජය අනුබල නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල වික්‍රමසිංහ මහතා පැවසීය.

ඊයේ (15) පෙරවරුවේ යාපනය ආදීනම් කෝවිලේ දී යාපනය ආදීනම්තුමා ප්‍රමුඛ හින්දු පූජක පක්‍ෂය හමුවූ අවස්ථාවේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය.

දැනට පවතින සියලු ආගමික සිද්ධස්ථාන සංවර්ධනය කරලීම උදෙසා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන රජය විසින් සපයන බවත් ඒ ඒ ප්‍රදේශයන්හි ජනතාවගේ අවශ්‍යතාවන් වෙතොත් නව ආගමික සිද්ධස්ථාන ඉදිකිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

විවිධ ආගම් අතර වර්තමානයේ තැන තැන ඇති වී ඇති දුරාවබෝධයන් දුරුකරලීම ආගමික සභාවට පවරන බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කොට ආගමික සිද්ධස්ථාන සංරක්‍ෂණ පිළිබඳ නියාමනයන් සකස් කිරීමේ වගකීමද ආගමික සභාවට නිල වශයෙන් ලබාදෙන බවත් අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

යුද්ධයෙන් විනාශ වූ කෝවිල් යළි ඉදිකිරීම් සඳහා ලබන අයවැයෙන් විශේෂ අරමුදලක් පිහිටුවීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.



DLB Desktop