February 24, 2020

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයෙන් සමුගැනීම පිළිබඳව ඉඟියක් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා ඊයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී හෙළිවිය.

ඔහු එහිදී ප්‍රකාශ කළේ “රනිල් වික්‍රමසිංහ මැතිතුමා දේශපාලනයෙන් ඉවත්වන තත්ත්වය තුළ පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරයා සජිත් ප්‍රේමදාස” මහතා  බවයි.

“විපක්ෂනායක ප්‍රශ්නය අපිට සාකච්ඡාවෙන් සම්මුතියෙන් විසඳගන්න ලැබුණා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැන් දේශපාලනයෙන් ඉවත්වන තත්ත්වය තුළ පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරයා සජිත් ප්‍රේමදාස. පක්ෂයේ නායකත්වය පිළිබඳ  ප්‍රශ්නයත් මේ ආකාරයෙන් විසඳා ගත යුතුව තිබෙනවා. පක්ෂය තුළ සිටින කිසිම ජ්‍යෙෂ්ඨයෙක් එළියට යන්නේ නැති විදිහට සියලු දෙනාම පක්ෂය තුළ සහෝදරත්වයෙන් වැඩ කරන්න පුළුවන් ආකාරයට මුළු පක්ෂයම එක්සත් කරන ආකාරයට වැඩ කළ යුතුයි. අපි විශ්වාස කරනවා ඊළඟ දින කිහිපය තුළ සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ නායක්තවයට පත්කර ගැනීමේ වැඩපිළිවෙළ සාර්ථකව අවසන් කර ගත හැකි වෙයි කියලා. වසර 25ට පස්සේ මේ දේවල් සිදුවෙන්නේ. ඒකට කායලයක් දෙන්න. සඳුදා දිනයේදී මේ ගැන සාකච්ඡාවක් තිබෙනවා. අරගලයෙන් තොර ජයග්‍රහණයක් නෑ. නමුත් ඒ ජයග්‍රහණය ළඟ පේනවා”

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ගෙන ඒම හිසේ කැක්කුමට කොට්ට මාරුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

“රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට මා මිත්‍ර සජිත් ප්‍රේමදාස මහතාව විපක්ෂ නායක ධූරයට පත් කිරීමට එජාපය තීරණය කර තිබෙනවා.  එතුමා දිගු කළක් සටන් කරලා තමයි විපක්ෂ නායක ධූරය දිනා ගත්තේ. ඒ නිසා එතුමාට චිරාත් කාලයක් විපක්ෂ නායක ධූරය දැරීමට හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලොව දිගුම කළක් විපක්ෂ නායක ධූරය දැරූ පුද්ගලයා ලෙස ලෝක වාර්තාවට හිමිකම් කියන රනිල් මැතිතුමාගේ වාර්තාව බිඳ දැමීමට එතුමාට හැකි වේවායි හදවතින්ම සුබ පතනවා.  මේ කුහක කමින් කරන ප්‍රාර්ථනාවක් නොවේ. ඉතාම සද්භාවයෙන් කරන ප්‍රාර්ථනාවක්. ඊළඟ පියවර ලෙස එජාපයට වැලඳී තිබෙන දහ අටක් වූ සන්නි අට අනූවක් වූ ව්‍යාධි වලට පිලියම හැටියට එජාප මන්ත්‍රිවරුන් යෝජනා කරලා තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවට සජිත් ප්‍රේමදාස මැතිතුමා නායකත්වයට ගෙන ඒමයි.  රනිල් වෙනුවට සජිත් ආවොත් ජනතාව එජාපයට ඡන්දය දේවි ද?"

"දැන් ජනාධිපතිවරණයටත් ලොකු සටනක් දීලා ඡන්දය ඉල්ලන්න හිටිය රනිල් මැතිතුමා පැත්තකට කරලා සජිත් මැතිතුමාට අපේක්ෂකත්වය ලබා ගත්තේ සජිත් ආවොත් දිනන්න පුළුවන් කියලානෙ.  ඒත් සජිත් පැරදුනානෙ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඡන්ද පැරදුනාට වඩා කුජීත විදිහටයි සජිත් ප්‍රේමදාස මැතිතුමා පැරදුනේ. ඒ පරාජයට සැබෑ හේතු සොයා ගත්තේ නැති නම් සජිත් මැතිතුමා පක්ෂ නායකත්වයට ගෙන ඒමෙන් ඵලක් වෙන්නේ නෑ. මේ රටේ ජනතාව රනිල් මැතිතුමාව ප්‍රතික්ෂේප කළේ එයාගේ වයස වැඩියි කියලාවත් ටයි කෝට් අඳින නිසාවත් මුහුණ කැතැයි කියලාවත් නොවේ.  එතුමාගේ ප්‍රතිපත්ති සහ වටේ සිටින අය නිසා. ඒ නිසා බටහිර ගැති සිංහල විරෝධි ප්‍රතිපත්ති වෙනස් කළේ නැති නම් වටේ ඉන්න සුමන්තිරන්, අන්තවාදි රිෂාඩ්, පච කියන පා ච රණවක, බොරුවට උපන් රාජිත, බටහිර ගැති මංගල වැනි චරිත සමග ආවොත් සජිත්ට අත් වෙන්නෙත් රනිල්ට අත්වුණු ඉරණමමයි.  ඒක ගැන නම් අංශුමාත්‍රයක සැකයක් තියා ගන්න එපා.”

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දැන් දැන් ඒ කියන්නේ ජනාධිපතිවරණයෙන් පස්සේ කියන්නේ අමුතු කතාය. මේ කතා අහද්දි රනිල්ගේ මීටර් දැන් අවුට් ද කියා සිතෙන තරම්ය.

මම භාරගත්තේ උතුරු නැගෙනහිර ඡන්ද ටික පමණක් කියා මුලින්ම කීවේය. මේක අහපු පක්ෂයේ අයට යකා නැග්ගේය. පක්ෂ නායකයෙකු මැතිවරණයකදී රටේ කොටසක් පමණක් බලා ගැනීමට බාර ගත්තා කියන්නේ ඒ නායකයාගේ තියෙන දුර්වලකම නිසාය.එසේ කියන්නේ සමස්ත පරාජයේ වගකීමෙන් මිදීමේ අවශ්‍යතාවය නිසාය.

ඊළඟට ඉස්මතු කිරීමට බලාපොරොත්තු වන කරුණට පදනම වන්නේ ද ඔහු ඔය ආකාරයට කියපු තවත් කතාවකි. රනිල් මේ මෑතකදී තවත් මේ ආකාරයෙන්ම අපූරු කතාවක් කීවේය. ඒ පක්ෂයේ සිංහල බෞද්ධ පදනම ගිලිහි ඇති බවයි. ඒ ගැන සොයා බැලිය යුතු බවයි.

රනිල් තමන් බලා ගත්තා කියන උතුරු නැගෙනහිර අති බහුතරය දෙමළ හා මුස්ලිම් ජනතාවය. එජාප නායකයා මේ සුළු ජාතීන්ගේ ඡන්ද බලාගන්නේ නම් රටේ අන් පළාත් හතේ බහුතරය වන මහජාතියේ එනම් සිංහල ජාතියේ ඡන්ද බලා ගැනීමට ප්‍රතිවාදියකුට අවස්ථාව උදාවනු ඇත. එය ඒ ආකාරයෙන්ම ජනාධිපතිවරණයේ දී සිදුවිය. මහජාතියේ ඡන්ද ගෙඩිය පිටින්ම ගෝඨාභය රාජපක්ෂට හිමිවිය. එය සිංහල බෞද්ධය කියනවාට වඩා සිංහල ඡන්ද යැයි කීම නිවැරදිය. මන්ද කතෝලික ඡන්දද ගොඩ පිටින්ම ගෝඨාභය රාජපක්ෂට හිමිවීම නිසාය. ඒ අනුව රනිල්ගේ සොයා බැලීම වන එජාපයට සිංහල බෞද්ධ ඡන්ද නැති වූයේ ඇයි ද යන්න එජාපයට සිංහල ඡන්ද නැති වූයේ ඇයි ද සංශෝධනය විය යුතුය.

මෙවර ජනාධිපතිවරණයේදී දල වශයෙන් සිංහල ඡන්ද ප්‍රමාණය ලියාපදිංචි ඡන්ද ප්‍රමාණයෙන් 78%ක් පමණ විය. ඊට සිංහල බෞද්ධ ඡන්ද 70%ක්  පමණත් කතෝලික ඡන්ද 8% ක් පමණක් ඇතුළත් වේ. මෙම සිංහල ඡන්ද සංඛ්‍යාවෙන් 67%ක් තුනෙන් දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් ගෝඨාභය රාජපක්ෂට හිමිවිය. ඉතිරි තුනෙන් එක ප්‍රමාණය සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක හා අන් අපේක්ෂකයන් අතර බෙදී ගියේය. ඒ අනුව බලද්දි සජිත් ප්‍රේමදාසට 28%ත් 30%ත් අතර සිංහල ඡන්ද ප්‍රමාණයක් ලැබුණු බව පෙනෙන්නට තිබේ.

රනිල් බලාගත්ත උතුරු-නැගෙනහිර සුළු ජාතික ඡන්ද වලින් සියයට 80 කට වැඩි ප්‍රමාණයක් සජිත් ප්‍රේමදාසට ලැබිණි. එනම් පහෙන් හතරකටත් වඩා වැඩි ප්‍රමාණයකි. එය එසේ වන බව දකුණේ සිංහල ජනතාව දැන සිටියේය. එම දැනුවත්භාවය ජනාධිපතිවරණයේදී ගෝඨාභයගේ ඡන්ද බවට පෙරළිණි.

මීට වසරකට පමණ පෙර එජාප ජාතික සංවිධායක නවීන් දිසානායක ද පක්ෂයේ සිංහල බෞද්ධ පදනම පිරිහී ඇති බව ප්‍රසිද්ධියේම කීවේය. ඊට පිළියම් සෙවිය යුතු බව ද කීවේය. ඔහු එය කිහිප වතාවක් ප්‍රකාශ කළද සජිත් ප්‍රේමදාස ඇතුළු පක්ෂයේ වගකිව යුතු කිසිවෙක් එය තැකීමකට ලක් නොකළේ ය. ඔවුන් කොහොමත් සිතුවේ  එක්සත් ජාතික පක්ෂයට තිබෙන සිංහල ඡන්ද ටිකෙන් හා සුළු ජාතික ඡන්ද බහුතරයෙන් ගොඩ යා හැකි බවය.

එක්සත් ජාතික පක්ෂය බලාපොරොත්තු නොවූ දෙයක් ද සිදු විය. ඒ 8%ක් පමණ වන සිංහල කතෝලික ඡන්දවල හැසිරීමය. විශේෂයෙන්ම ගම්පහ සහ පුත්තලම දිස්ත්රික්කවල බහුලව ජීවත්වන කතෝලිකයන්ගේ 6% කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් මීට පෙර ලැබුණේ එක්සත් ජාතික පක්ෂයටය. එහෙත් අප්‍රේල් 21 ඉරු දින සිදු වූ පාස්කු ප්‍රහාරයෙන් පසු ඊට එවකට පැවති එක්සත් ජාතික පෙරමුණු රජය වගකිව යුතු බවට කතෝලිකයන් තුළ ඇතිවූ මතය මත ඔවුන් රාජපක්ෂ කඳවුරට නැඹුරු වූයේ ඉදිරියේදී තම ආරක්ෂාව සුරක්ෂිත කරගැනීමේ විශ්වාසය මතය.

එක්සත් ජාතික පක්ෂයේ සිංහල බෞද්ධ ඡන්ද පදනම නැතිවීම සොයා බැලීමට රනිල් කොමිටි දැමිය යුතු නැත. ඔහු කළ යුත්තේ කන්නාඩියක් ඉදිරියට ගොස් බැලීමය. එවිට එක්සත් ජාතික පක්ෂයේ සිංහල බෞද්ධ ඡන්ද පදනම නැති කරනු ලැබුවේ අන් කවුරුත් නොව තමන්ම බව ඔහුට වැටෙනු ඇත.

රනිල් වික්‍රමසිංහ මීට හරියටම වසර විසිපහකට පමණ පෙර එක්සත් ජාතික පක්ෂ නායකත්වය භාර ගනු ලැබුවේ හොඳ සිංහල බෞද්ධයකු මෙන්ම අහිංසක ගැමියකු වූ ඩිංගිරි බණ්ඩා විජේතුංග ජනාධිපතිවරයාගෙනි. ඔහු රෙද්ද බැනියම අඳි ගමේකමසිය ජිවන රටාවෙන්ම පෙන්නුම් කල පොළොවේ පයගසා ජීවත් වූ මිනිසෙකි. එදා පටන් ගෙවුණු වසර 25 තුළ රනිල් කළේ සිංහලයින් අමතක කොට සුළු ජාතිකයින් වන්දනාමාන කිරීමය. හිටපු ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායකට ද රනිල්ගේ සිංහල විරෝධී ලෙඩේ වැල දී තිබුණේය. ඇයද සිංහලයින්ට රිදවීමට නොයෙක් දේ කලේය. එහෙත් ඇය සීමාව ඉක්ම වූයේ නැත. එසේ වුවද චන්ද්‍රිකාගේ මෙම ක්‍රියාකලාපය මත එදා රනිල්ට යම් ප්‍රමාණයක සිංහල ඡන්ද ප්‍රමාණයක් දිනා ගැනීමේ හැකියාව තිබිණි. එහෙත් චන්ද්‍රිකා ගෙන් පසු බලයට පැමිණි මහින්ද රාජපක්ෂ ඉතා පැහැදිලිව ම සිංහල බෞද්ධ ඡන්ද පදනම මත පිහිටා කටයුතු කිරීම නිසා එක්සත් ජාතික පක්ෂයේ සිංහල ඡන්ද පදනම බිද වැටෙන්නට විය. ඊට ප්‍රතිචාරයක් දැක්වීමට සුළු ජාතිකයින් මත යැපෙන රනිල්ට හැකියාවක් නොතිබිණි.

2015 බලයට පත් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව සිය ධූර කාලය තුළ කටයුතු කළේ සම්පූර්ණයෙන්ම සිංහල අභිලාෂයන්ට එරෙහිවය. උතුරු නැගෙනහිරට ෆෙඩරල් හා සමාන බලයක් ලබා දීමට නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට රනිල් වික්‍රමසිංහ නොගත් උත්සාහයක් නැත. ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයේ දී ද ඒ පිළිබඳව ප්‍රකාශයට පත්විය. එමෙන්ම පැවති රජය අන්තවාදී බෙදුම්වාදී දෙමළ ජාතික සන්ධානයේ සහය මත දෙවතාවක්ම තමන්ට එරෙහිව ආ විශ්වාසභංග යෝජනා දෙකකින් ගොඩවිය. ඉන් එකක් රනිල්ට එරෙහිවය. පසුගිය ජනාධිපතිවරණයේදී දුවන අශ්වයා සජිත් වුවද අශ්වයා පදවන ජොකියා රනිල් බව මේ රටේ සිංහල ජනතාව දැනගෙන සිටියේය. සජිත් දින්නොත් අනිවාර්යයෙන්ම රනිල්ගේ බලපෑම් මත උතුරු නැගෙනහිර එකට එක්කොට ඊට උපරිම බලය බෙදීමක් ලබා දෙන බව මේ රටේ සිංහල ජනතාව ඉවෙන් මෙන් දැනගෙන සිටියේය.

තව මාස තුනකින් පමණ මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. ඊට රනිල් වික්‍රමසිංහ නායකත්වය ලබා දුන්හොත් එක්සත් ජාතික පක්ෂයේ සිංහල ඡන්ද පදනම තවත් පිරිහෙනු ඇත. එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ පාක්ෂිකයාගේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන්න මහජන නියෝජිතයා දක්වා ඒ බව හොඳාකාරව ම අවබෝධ කරගෙන තිබේ. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ සිංහල බෞද්ධ ඡන්ද පදනම නැතිවීමට පරහට සිටින්නේ තමන් බව රනිල් වික්‍රමසිංහට අවබෝධ නොවීම හෝ උවමනාවෙන්ම අවබෝධ කර නොගැනීම පාක්ෂිකයන්ගේ මෙන්ම මහජන නියෝජිතයන්ගේ ද කරුමයකි.

(මංජුල බටුගෙදර)

වෙඩි නොවදින මෝටර් රථයක්, අග්‍රාමාත්‍ය කාර්යාලයට අයත් වාහන අටක්, පොලිස් වාහන නවයක්, ගිලන් රථයක්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරින් 17 දෙනෙක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් පොලිස් නිලධාරින් 200 ක් ලබාදෙන ලෙස හිටපු අග්‍රාමාත්‍යවරයා එම ලිපිය මගින් ඉල්ලා තිබේ. ඊට අමතර නිල නිවසක්, කාර්යාල පරිශ්‍රයක්, ලේකම්වරයෙක් ඇතුළු අනෙකුත් වරප්‍රසාද රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ලේකම්වරයාව සිටි සමන් ඒකනායක මහතා වත්මන් අග්‍රාමාත්‍යවරයාට ලියා ඇති ලිපියක් කරලියට පැමිණ තිබේ. 

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටි අවසන් දිනය වූ පසුගිය 17 වැනිදා සමන් ඒකනායක මහතා අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස පළමු ලිපිය යොමු කර ඇත. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දෙවන ලිපිය යොමුකර ඇත්තේ පෙරේදා (02) පස්වරුවේය.

විශ්‍රාම යන අග්‍රාමාත්‍යවරයකුට ව්‍යවස්ථාවෙන් හිමිවිය යුතු සියලු වරප්‍රසාද ලබාදෙන ලෙස ඉල්ලා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ලිපි දෙකක් යොමුකර තිබේ.

මෙම ඉල්ලීම අමාත්‍ය මණ්ඩලයට යොමුකර අනුමැතිය ලබාගෙන කඩිනමින් ඉටුකරන ලෙසද එම ලිපියෙන් ඉල්ලා ඇත.

එක්සත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හෙට පක්ෂයේ තීන්දු ගන්නා මණ්ඩල මුණ ගැසී විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බව වාර්තා වේ. 

එහිදී මේ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා සමඟද සාකච්ජා කිරිමට් රනිල් වික්‍රමසිංහ මහතා බලාපොරොත්තුවෙන් සිටියි.

එහෙත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මේ වන විටත් කතානායක කරූ ජයසුරිය මහතාට ලිපියකින් දැනුම් දී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ධුරයට පත් කිරීමට පක්ෂය තීරණය කර ඇති බවයි. 

ඊට පෙර එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් 46 දෙනෙකු සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධූරය ලබා දෙන ලෙස ලිඛිත ඉල්ලීමක් කරන ලදී. 

පක්ෂයේ ඉදිරිය වෙනුවෙන් නව නායකයන් ඉදරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සිරිකොතදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

එසේම පක්ෂයට කරන චෝදනා පිළිබඳව විභාග කර ඒවා අසත්‍ය නම් ඒවට එරෙහිව තදින්ම ක්‍රියාත්මක විය යුතු බවත් ඔහු පැවැසීය.

“පක්ෂය පිළිබඳ කරන චෝදනා විභාග කරලා ඒවා අසත්‍ය නම් ඒ ගැන අපි තදින් ක්‍රියා කරන්න තිබෙනවා. මේ අවස්ථාවේදී අනාගතය ගැන හිතන්න තිබෙනවා. පක්ෂයේ අනාගතය ගැන හිතලා නව නායකයෝ අපි ඉදිරිපත් කරන්න තිබෙනවා. මේ විග්‍රහය අනුව ඒ අයට අලුත් ප්‍රතිපත්ති ඉදරිපත් කරන්න භාර දෙන්න ඕන. පරිවර්තනය එවිට අවසන් වේවි. අපිට භය නැතිව ඒ නායකත්වය සමග ඉදිරියට යන්න ලැබෙනවා. ඒ වැඩසටහනට ගරු සංඝරත්නයේ ආශීර්වාදය ලබාගෙන නව එක්සත් ජාතික පක්ෂයක් හැටියට ඉදිරියට යමු”

ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කිරීමේ වැඩපිළිවෙල අඩපණ කළ බවට එල්ල වන චෝදනා තමා ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ (22) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව කියා සිටියේය‍.

ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාව ජනාධිපති අපේක්ෂකයා වශයෙන් යෝජනා කරනු ලැබුවේ ද තමා බව පැවසු හිටපු අගමැතිවරයා, ඒ අනුව අනෙක් පක්ෂවල කැමැත්ත මත ජනාධිපතිවරණයට ගිය බවත් පැවසීය.

මෙම යාන්ත්‍රණය හා සිරිකොත එම වැඩකටයුතු කළ බවට තමාට සහතික විය හැකි බව පැවසු රනිල් වික්‍රමසිංහ මහතා මෙම මැතිවරණය අඩපණ කළා යැයි පැවසෙන චෝදනා තමාගෙන් හෝ තමා විසින් නිර්මාණය කරන ලද යාන්ත්‍රණය තුළින් සිදු නොවුවක් බවද සඳහන් කළේය.

තම ප්‍රධාන මැති ඇමතිවරුන් සියලු දෙනා ජනාධිපතිවරණය වෙනුවෙන්, විවිධ වැඩකටයුතු බාර ගත් බවත්  පැවසු රනිල් වික්‍රමසිංහ මහතා තමා බාර ගනු ලැබුවේ උතුරු නැගෙනිහර ඡන්ද ප්‍රමාණය වැඩි කිරීම බවත් එම ඡන්ද ප්‍රතිශතය වැඩි කිරිමට හැකියාව ලැබුණ බවත් පැවසීය.

නමුත් අවාසනාවකට දකුණේ ඡන්ද ප්‍රමාණය අඩු වු බවත් කියා සිටි ඒ මහතා, එය මෙම පරාජයට හේතුවු බවත් කියා සිටියේය.

සිංහල, බෞද්ධ ඡන්ද  පදනම නොමැති වීම, මීට පෙර පක්ෂයට සිදුව නොමැති වී නැතැයි කියා සිටි රනිල් වික්‍රමසිංහ මහතා, ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් සොයා බැලිය යුතු බවත් පැවසීය.

මෙයට ඇඟිලි දිගු කරමින් චෝදනා කර සිටීම සාර්ථක වැඩ පිළිවෙලක් නොවන බවත්, පක්ෂයට හෝ නිලධාරීන්ට මුල්‍ය කටයුතු පිළිබඳ කිසිදු වගකීමක් නොතිබුණ බවත් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

මූල්‍ය කටයුතු තමා බාර නොගත් බැවින් ඒ සම්බන්ධයෙන් ඇති චෝදනාද තමා ප්‍රතික්ෂේප කරන බවත් පැවසු රනිල් වික්‍රමසිංහ මහතා, පක්ෂය පිළිබඳ චෝදනා කරන්නේ නම් විභාග කර ඒවා අසත්‍ය නම් ඒ ගැන තදින් කටයුතු කළ යුතු බවත් පැවසීය.

පක්ෂයේ අනාගතය ගැන සිතා නව නායකයින් ඉදිරිපත් කිරිමට ඉඩ තැබිය යුතු බවත්, ඔවුන්ට නව ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවත් පැවසු රනිල් වික්‍රමසිංහ මහතා, එයින් දිනන නායකත්වයක් ඇති කිරීමට ඇති බවත් කියා සිටියේය.

බෞද්ධයෙක් ලෙස කළ යුතුව ඇත්තේ, වැරද්දක් සිදුවු විට එය ඇඟිල්ල දික් කිරිමට නොව එය වටහා ගැනීම කළ යුතු බවත් බෞද්ධයන් ලෙස ඒ නිවැරදි ප්‍රතිපත්ති වටහා ගැනීම තුළින් ඉදිරියට ගමන් කිරීමට ඉඩ ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ ගැන අවධානය යොමු කරමින් සංඝ රතනයේ, ආශිර්වාදය ද ලබා ගනිමින් නව එක්සත් ජාතික පක්ෂයක් ලෙස ඉදිරියට යා යුතු බවත් එතෙම හිටපු අගමැතිවරයා කියා සිටියේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා අරලියගහ මන්දිරයට ලැබුණු මුදල් වලට සිදුවූයේ කුමක්ද යන්න තවමත් අභිරහසක්ව පවතී.

අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අතට ව්‍යාපාරිකයන් විසින් අතිවිශාල මුදල් ප්‍රමාණයක් ලබා දුන් අතර එම මුදල් සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා නොලැබුණු හේතුව මත ඔහුගේ ජනපතිවරණ ව්‍යාපාරය මුදල් හිඟකම මත විශාල අසීරුතාවයන්ට මුහුණ දුන් බව වොක්ෂෝල් වීදියේ කාර්යාලයේ සිට සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූ හිටපු එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම මුදල් වලට සිදු කළේ කුමක්ද යන්න පිළිබඳව එක්සත් ජාතික පෙරමුණ මන්ත්‍රීවරුන් තුළ කුතුහලයක් ඇති වී තිබෙන අතර එහි එක් මන්ත්‍රීවරයෙක් වන නලින් බණ්ඩාර මහතා පසුගියදා මාධ්‍ය හමුව තබමින් මේ පිළිබඳව ප්‍රසිද්ධියේ ම ප්‍රශ්ණ කරන ලදී.


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා  අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට  යොමු කර ඇතැයි  එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.

තමා අගමැති ධුරයෙන් අද ඉවත් වන බව අරලියගහ මන්දිරයේදී  විශේෂ ප්‍රකාශක් නිකුත් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20)  සඳහන් කළේය.

 රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට අරලියගහ මන්දිරයෙන් ඉවත්ව ගොස් ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි . 

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

කොළඹ අරලිය ගහ මන්දිරයේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළේය.