February 24, 2020

අප්‍රේල් 25 වන දින පැවැත්වීමට නියමිත මහා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීමේ වගකීම කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවකට පැවරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගැනීම එම මැතිවරණයේදී ලබන පරාජයේ වගකීමෙන් තමා මිදී තවදුරටත් පක්ෂ නායකත්වයේ රැඳී සිටීමේ උපක්‍රමයක් බව ඒෂියන් මිරර් වෙත වාර්තා වේ. 

එම මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස තමන් නම් කරන්නේ නම් ඒ සඳහා පක්ෂයේ නායකත්වයක් තමන්ට අවශ්‍ය බව පරාජිත ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී තිබේ. 

පක්ෂ නායකත්වය නොමැතිව මැතිවරණයට නායකත්වය දීමේ "අං තට්ටුව" තමා ගලවා ඇති බව සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබේ.

කරූ ජයසූරිය මහතාට ජනාධිපති අපේක්ෂකත්වය දෙන බවට රනිල් වික්‍රමසිංහ මහතා ඔහුව මිට පෙර රැවටීමකට ලක් කළ අතර කරූ ජයසූරිය මහතා ලණු ගිලීමේ ශුරයෙක් බව ප්‍රකට කරුණකි. 

මීට වසර පහකට තම ආණ්ඩුව භාර ගත්තේ සමාජ, ආර්ථික සහ දේශපාලනික වශයෙන් පිරිහී ගිය දේශයක් බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නව අවුරුද්ද වෙනුවෙන් සුබ  පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ ගෙවුණු කාලසීමාව තුළ ජනතාව වෙත සමාජ, දේශපාලන, මානව නිදහස අයත් කරදීම සඳහාත්, ජාත්‍යන්තර වශයෙන් රට පිළිබඳව පැවති අඳුරු ආකල්ප වෙනස් කොට සුහදශීලී වාතාවරණයක් ගොඩනැගීම සඳහාත්, තිරසර සංවර්ධන ක්‍රියාවලියක් ඔස්සේ ආර්ථික ස්ථාවරභාවයකට පදනම දැමීම සඳහාත් කටයුතු කළ බවයි.

එම ප්‍රජාතන්ත්‍රවාදී සහ සුබවාදී ඉදිරි ගමන එළැඹෙන නව වසරේ ද අඛණ්ඩව ඉදිරියට ගෙන යාමේ වගකීම පුරවැසියන් ලෙස සියලු දෙනා සතු බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනිම පිළිගත් ප්‍රජාතන්ත්‍ර හා නෛතික සම්ප්‍රදායනට පටහැනිව සිදුකර ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගැනීමේදී අනුගමනය කළ යුතු සම්ප්‍රදායන් මෙහිදි උල්ලංගණය කර ඇති බවත් කථානායකවරයා දැනුවත් කිරීමකින් තොරව අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවත් ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

මෙම අත්අඩංගුවට ගැනීම අවසන් වූ නඩු කටයුත්තක් වෙනුවෙන් කර ඇති බවත් එසේ සිදු කිරීමට සාධාරණ හේතු කිසිවක් මේ වන විට ඉදිරිපත් කිරීමට පොලීසිය අසමත්ව ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පසුගිය ආණ්ඩු කාලය තුළ අධිකරණය, පොලීසිය, රාජ්‍ය සේවය ඇතුළු සියලු ආයතන දේශපාලනීකරණය මුදවා ගැනීමට කටයුතු කළ බවත් විනය ගරුක රටක් බිහිකිරීම ප්‍රතිඥා දී බලයට පැමිණි ආණ්ඩුවක් යටතේ සිදුවන මේ කටයුතු නීතිය, විනය හා සම්ප්‍රදායන් උල්ලංගණය වෙමින් පවතින බවත් එම නිවේදනයේ දැක්වෙයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ බලවත් විරෝධය හා කණස්සල්ල ප්‍රකාශ කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

දැලේ සිර නොවී වටු කුරුල්ලන් මෙන් දැල කඩාගෙන ඉදිරියට යායුතු බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ප‍්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයට සහාය දෙන නීතිඥවරුන් සමග පැවති සාකච්ජා ආරම්භ කරමින් අදහස් දැක්වූ රනිල් වික‍්‍රමසිංහ මෙසේද කීය.

"ජාතික නීතිඥ සංගමය ජනාධිපතිවරණයේදී අපට කළ සේවයට මේ අවස්ථාවේදී ස්තුතිය පළ කරනවා. ජනාධිපතිවරණය වෙනුවෙන් තැපවී වැඩ කරන ලෙසට මා නීතිඥවරුන්ගෙන් කළ ඉල්ලීම අනූව ඔවුන් එම බලාපොරොත්තුව ඉෂ්ට කළා. ජනාධිපතිවරණ ප‍්‍රතිඵලවලින් අපි පසුබෑමකට ලක්වුණා. ඒත් ඒ නිසා අපි අඩපණ වුණේ නැහැ. මම මේ වෙලාවේ එක්තරා ජාතක කතාවක් මතක් කරන්නම්. දැල වැටුණු නිසා වටුවන් අඩපණ වුණේ නැහැ. එක සැරේ ඉගිල්ලිලා දැල අයින් කළා. අපිත් ඒ විදිහට ක‍්‍රියාකර මේ තත්ත්වයෙන් මිදිය යුතුයි. දැලේ පැටලෙන්න එපා. සමහරු නොදැන දැලේ පැටලෙන්න පුළුවන්. දැල ඉවත් කර අපි ඉදිරියට යමු. ඒ සඳහා අපි පක්ෂයේ නායකයන්ට, ඉදිරියට එන නායකයන්ට එක්ව එක සැලසුමක් ඉදිරිපත් කරන්න කියමු. බෙදිලා මේ ගමන යන්න බැහැ. එක්සත්ව වැඩකළ යුතුයි. පක්ෂයේ අනාගතය භාරගන්න ඉන්න නායකයන්, මන්ත‍්‍රීවරුන් එකට වැඩකළ යුතුයි. ඒ අනුව පක්ෂයේ ප‍්‍රතිසන්ධාන කටයුතු කළ යුතුයි. සියලූම සංවිධාන සහ සංගම් හමුවෙමින් ජනවාරි මාසයේ සිට අපි මේ ප‍්‍රතිසන්ධාන කටයුතු ආරම්භ කරනවා. ඉන්පසු සැලසුමක් අනුව වැඩ කරනවා. එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් තියෙනවා. එක්ව වැඩ කරන්න. ඉදිරියට යාමට සහාය දෙන එකයි මා කරන්නේ. අපේ සාමාජිකයන්ගේ රැුකියාවලට ප‍්‍රශ්න ඇතිවෙලා තියෙනවා. බොහෝ දෙනා දේශපාලන පළිගැනීම්වලට ලක්වෙලා. ඒ අයට අවශ්‍ය නීති උපදෙස් අපි ලබා දෙනවා. පක්ෂ නායකයින් සමග සාකච්ඡුා කරනවා. අපේ‍්‍රල් අවසානයේ මහ මැතිවරණය පවත්වනවා. ජනවාරි සිට පෙබරවාරි අවසානය දක්වා අප පක්ෂයේ ප‍්‍රතිසංධාන කටයුතු සිදු කරනවා. අපට විශාල වැඩ කොටසක් තියෙනවා අලූත් අදහස් අනුව ඉදිරියට යනවා. අප ඇති කළ නිදහස් සමාජය ආරක්ෂා කර ගැනීම පාර්ලිමේන්තුව තුළ සජිත් පේ‍්‍රමදාස විසින් සිදු කරනවා. අපට තියෙන්නේ ඊළග අවුරුදු පහ නොවේ ඊළග දශකය ගැන සිතා සැලසුම් සකස් කිරීමයි."

එක්සත් ජාතික පක්‍ෂයේ නායක ධුරයේ දිගටම රැඳීසිටීමට තමන්ට උවමනා නැතැයි එම පක්‍ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (16) පැවසීය.

පක්‍ෂයට අලුත් නායක පැලැන්තියක් උවමනා කර තිබෙන බවත්, ඒ සඳහා 2025 වසර වනතුරු සිටිය යුතු නොමැති බවත් ඒ මහතා සඳහන් කළේය.

සියලු දෙනා එකතු වී පක්‍ෂය ඉදිරියට යන්නේ කෙසේද කියා සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත්, පක්‍ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කරන ලෙස තමන් දැනුම්දුන් බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ගමට ගොස් පාක්‍ෂිකයන් හමුවිය නොහැකි සංවිධායකයන් වෙනුවට නව සංවිධායකයන් පත්කිරීමට සිදුවන බවත්, පක්‍ෂයේ සියලු දෙනා එකමුතුව වැඩ නොකළහොත් මහ මැතිවරණ‍යේදී ජයග්‍රාහි ප්‍රතිඵලයක් ලබාගත නොහැකි බවත් හෙතෙම පවසා සිටියේය.

කුරුණෑල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්‍ෂ පළාත් පාලන නියෝජිතයන් පිරිසක් සමග සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් දැක්වීය.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට හිමිව තිබෙන බලතල, වගකීම් සහ ධූර කාලය ආදී සියලූ ක‍්‍රියාපටිපාටියන් ඇතුළත් පක්ෂ ව්‍යවස්ථාවට ගෙන ආ යුතු සංශෝධනය වහාම සකස් කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතාට ඊයේ (15) දැනුම් දුන්නේය.
 
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කළ ඉහත දැනුම් දීමට අනුව දැනට පවතින පක්ෂ ව්‍යවස්ථාවේ නායකත්වයට අදාළ පරිච්ඡේවල විශාල සංශෝධනයන් ඉදිරියේදී කිරීමට නියමිතය.
 
එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුව නායකත්වයට පැවරී තිබෙන බලතල සහ වගකීම් කාලයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අරමුණ වී පවතී.
 
එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් විසින් ඉදිරිපත් කරනු ලැබූ කරුණුද සැලකිල්ලට ගෙන පක්ෂ නායකත්වයට හිමිවෙන බලතලෙ, වගකීම් සහ ධූර කාලය සංශෝධනය විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මෙයට පෙර ප‍්‍රකාශ කර තිබුණි.
 
මෙයට අමතරව පක්ෂ නායකත්වයේ බලතල සහ කාර්යභාර්යයේ වියයුතු වෙනස්කම් පිළිබදව තරුණ මන්ත‍්‍රීවරුන් ඉදිරිපත් කළ අදහස් සියල්ල සැලකිල්ලට ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතාට ලබාදුන් උපදෙස්වල වැඩිදුරටත් සදහන් වේ.

ශක්තිමත් පාර්ලිමේන්තුවක් තුළින් තරුණ නායකත්වයකට ක්‍රියාකරන්න අවස්ථාව ලබාදිම  තම අරමුණ බව එජාප නායක හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14) ගාල්ලේ දි පැවසිය.

හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මන්ත්‍රිවරයාගේ ගාල්ල උළුවිටිකේ පිහිටි නිවසේ පැවති ගාල්ල එජාප බල මණ්ඩල රැස්විම අමතිමින් එජාප නායකවරයා මේ බව සදහන් කළේය.

“ශක්තිමත් පාර්ලිමේන්තුවක් තුළින් තරුණ නායකත්ව පැලැන්තියක් හදන්න ඔන. දුර්වල පාර්ලිමේන්තුවකින් ඒක කරන්න බැහැ. ශක්තිමත් පාර්ලිමේන්තුවක් තුළින් තරුණ නායකත්වයකට ක්‍රියාකරන්න අවස්ථාව ලබාදිය යුතුයි. එහෙම වුණොත් අපිට පුළුවන් මේක අන්ත පරාජයකට යන්නේ නැතිව ජයග්‍රහණයක පළමු පියවරය තබන්න. අලුත් එජාපයක් අලුත් සන්ධානයක් ඇති කිරිමට කටයුතු කරනවා. අපේ පක්ෂය ඉදිරියට ගෙනි යන්නේ කෙහොමද ප්‍රතිසංවිධනය ගැන  අපි විතරක් කථා කරලා හරියන්නේ නැහැ. අපි කියන දේ  මහා සංඝරත්නය පිළිගන්නේ නැතිනම් කුමක්ද එකේ තියෙන ප්‍රයෝජනය. ඒ නිසා මේ ගැන මහාසංඝරත්නය සමඟ කථාකරලා ඉදිරියට යන්න අපි උපදෙස් ගන්න ඕන ජනවාරි මස 01වැනිදා සිට විහාරස්ථානවලට ගිහින් අපේ අඩුපාඩුකම් ගැන මහා සංඝරත්නය සමග  කථාකරන්න. අපි අලුත් විදියකට බලන්න ඕන  මේ පක්ෂය අලුත් විදියකට ගෙනියන්න ඕන මම හැමදාම හිටියේ මේ පක්ෂය ආරක්ෂා කරන්න.”

නිසි ලෙස සංවිධානය වී කටයුතු කළහොත් මීළඟ පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ආසන 113 ක් හෝ ඊට වැඩියෙන් දිනාගත හැකි බව එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරණයේදී පසුබැස්ස ද ඉන් පක්‍ෂයක් ලෙස අඩපණ විය යුතු නැති බවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගය කරන සියලූ පාර්ශ්ව එක්කර ගනිමින් මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් සමගිව කටයුතු කළ යුතු බව ද රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

දැනට තිබෙන ඡුන්ද ප‍්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්‍ෂයට ආසන 105 ක් හෝ 106 ක් ලබාගත හැකි බවත් නියම ලෙසම කැපවී කටයුතු කළහොත් මන්තී‍්‍ර ආසන 113 ක් හෝ ඊට වැඩියෙන් දිනාගත හැකි බවත් හෙතෙම කීය.

එබැවින් මෙතැන් සිට බිම් මට්ටමේ සිට පක්‍ෂ යාන්ත‍්‍රණය නැවත ශක්තිමත් කරමින් පක්‍ෂය දිනවන වැඩපිළිවෙළ නැවත ආරම්භ කළ යුතු යැයි ද රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

පක්ෂ නායකත්වය හා එළැඹෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කමිටුවක් පත්කර ඇතැයි එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඊයේ (10) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අකිල විරාජ් කාරියවසම් මහතා පවසා සිටියේ, පාර්ලිමේන්තු මැතිවරණයට තව මාස කීපයක් ඇති බවයි.

පක්ෂයක් ලෙස සියලු දෙනා එකතු වී එක් හඬකින් පක්ෂය ඉදිරියට ගෙන ගියහොත් පාර්ලිමේන්තුව තුළ 113 සැදිය හැකි බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

2015 ජනවාරි 8 වන දා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළත්  2015 අගෝස්තු 17 තිබු පාර්ලිමේන්තු මැතිවරණයෙන් පක්ෂයට බහුතරයක් ජය ගත නොහැකි වු බවත් කියා සිටියේය.

ඒ නිසාවෙන් ඒ පාඩම වත්මන් ආණ්ඩුවටත් ඉගැන්වීමට අවශ්‍ය බව සඳහන් කර සිටි මන්ත්‍රීවරයා, එක්සත් ජාතික පක්ෂය යනු මහත්වරුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් බවත් පැවසීය.

මේ පක්ෂය ඉදිරියට ගෙන යා යුතු බවත්, එයට හානි කිරීමට කිසිවෙකුට නොහැකි බවත් පැවසු මන්ත්‍රීවරයා ඒ නිසාවෙන් සියලු නායකයින් එකතු වී මෙම ගමන යා යුතු බවත් කියා සිටියේය.

ආණ්ඩුවේ න්‍යාය පත්‍රයට අනුව වැඩ කිරීමට තම පක්ෂයට කිසිදු හැකියාවක් නොමැති බව පැවසු ඒ මහතා, පක්ෂයේ දේවල් සමාජය ඉදිරියට විත් පවසා විවේචනය කිරිම් සිදු කරන්නේ නම් එයට එරෙහිව ඉදිරියේ දී ක්‍රියාමාර්ගයක් ගැනීමට බලාපොරොත්තු වන බවත් පැවසීය‍.

පක්ෂය තුළ සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සියලු නායකයින් එකතු කරමින් ගමන් මාර්ගය ගොඩනඟමින් යන බවත් පැවසු මන්ත්‍රීවරයා, පක්ෂයේ සියලු සාමාජිකයින් නියෝජනය කරමින් පක්ෂ නායකවරයා විසින් කමිටුවක් ද පත් කර ඇතැයි කියා සිටියේය.

එම කමිටුව මඟින් ඉදිරි මහ මැතිවරණය හා නායකත්වයන් ගැන සියලු තීරණ ගනු ලබන බවත් පැවසු අකිල විරාජ් කාරියවසම් මහතා, පක්ෂය තුළ විනයක් ඇති බවත් පැවසීය.

සියලු දෙනා පක්ෂයේ ජයග්‍රහණය බලාපොරොත්තු වන්නේ නම්, එයට එකමුතු වී ගමනක් යා යුතු බවත් පැවසු කාරියවසම් මහතා, ඒ එකමුතු වීම තුළින් ඇතුළේ ප්‍රශ්න විසඳා ගත යුතු බවත් කියා සිටියේය.

2025 වන තෙක් රනිල් වික්‍රමසිංහ මහතා නොසිටින බවත් ඔහු ඉතා පැහැදිලි ලෙස පක්ෂයේ ජයග්‍රහණය වෙන්වෙන් වැඩපිළිවෙලක් සකස් කර ඊළඟ මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියා කරන බවත් පවසා ඇතැයි ද මන්ත්‍රිවරයා සදහන් කර සිටියේය.

අනතුරුව අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ මහමැතිවරණයට යන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ද යන්නයි.

එයට පිළිතුරු දෙමින් අකිල විරාජ් කාරියවසම් මහතා පවසා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමදාස මහතා එකතුව මෙම කර්තවය ඉටු කරන බවයි.

පක්ෂ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතා හොබවන බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

සමීක්ෂණවලට අනුව පැහැදිලි වන්නේ ජනාධිපතිවරණයේ පරාජයට හේතුව බෞද්ධ , තරුණ හා මධ්‍යම පාන්තික ඡන්ද එක්සත් ජාතික පෙරමුණට අහිමි විම බව එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණ සමඟ ඊයේ (09) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකදි වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වු රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, ජනාධිපතිවරණයේ පසුබෑමකට ලක් වු බැවින් අඩපණ විය යුතු නැති බවයි.

ඊළඟ පාර්ලිමේන්තුවේ දී තම පෙරමුණ මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන අනෙකුත් පක්ෂ සියල්ල මන්ත්‍රීධූර 113 ක් වත් ඉලක්ක කර ගනිමින් වැඩ කළ යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මේ වන විට තිබෙන ඡන්ද ප්‍රතිඵල අනුව සියලු දෙනාටම මන්ත්‍රීධූර 105 ක් හෝ 06 ක් ලබා ගත හැකි බවත් පැවසු ඒ මහතා, ජනාධිපතිවරණයේ ප්‍රතිඵලත් විග්‍රහ කළ යුතු බවත් කියා සිටියේය.

සමීක්ෂණ කීපයක එක්සත් ජාතික පක්ෂය පසුපසින් සිටි බව පෙන්වා දී තිබුණ අතර ඒවා විග්‍රහ කර බැලිය යුතු බවත් පැවසු රනිල් වික්‍රමසිංහ මහතා, බෞද්ධ මතය, මධ්‍යම පන්තිය හා තරුණ යන අංශ බැලිය යුතු බවත් පැවසීය.

පළමුවෙන්ම භික්ෂූන් වහන්සේලා සමඟ සාකච්ඡා කර වැඩසටහන් සකස් කළ යුතුව ඇති බවත් පැවසු ඒ මහතා, අනෙක් අයගේ යුතුකම වන්නේ තරුණ ඡන්ද බහුතරයක් ලබා ගැනීමට ක්‍රියා කිරීම බවද සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට බාර දි ඇතැයි පැවසු වික්‍රමසිංහ මහතා, පක්ෂය තුළ තරුණ සංවිධානවලින් නොයෙක් යෝජනා ඉදිරිපත් කර ඇතැයි ද කියා සිටියේය.

පක්ෂයේ සිටින දෙවැනි පෙළ නායකත්වය ඉදිරියට ගෙන මේ මැතිවරණයට යා යුතු බවත් පවතින අඩුපාඩුකම් දැන ගෙන යා යුතු බවත් පැවසු රනිල් වික්‍රමසිංහ මහතා, මේ මොහොතේ එක් එක් අය සමඟ වාද කර වැඩක් නොමැති බවත් පැවසීය.