July 21, 2019

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සියලුදෙනා මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

හෙට්ටිපොල ප්‍රෙද්ශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
 
ඉන්න හිතෙන රටකට තේමාව යටතේ හෙට්ටිපොල පඬුවස්නුවර සතිපොල ජනතා අයිතියට පත්කිරීම අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

එම අවස්ථාවට එක්වෙමින් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ද අදහස් දැක්වීය.

"පසුගිය පාස්කු ප්‍රහාරය ඇතැමුන් හෑල්ලු කර සලකනවා. සහරාන්ගේ ප්‍රහාරයෙන් රු. බිලියන 60කට වැඩි හානියක් වුණා. එය ගම්පෙරළියට ගිය වියදමට සමානයි. එනිසා මේ ප්‍රශ්න සමඟ තමයි අපට ඉදිරිය බලා යන්න වෙලා තියෙන්නේ."

ජාතීන් අතර සුහදත්වය වර්ධනය විවිධ ජාතීන්ට අනන්‍ය භාෂා කතා කිරීමේ හැකියාව වැදගත් වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

2018 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් දෙවන භාෂාව සඳහා විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇගයීමට ලක්කරමින් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පල කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.

"අවාසනාවකට මනෝ ගනේෂන් ඇමතිතුමා මෙන් මට දෙමළ භාෂාව කතා කිරීමට නොහැකියි.  ඒ කාලයේ අපි දෙමළ භාෂාව ඉගෙන ගත්තේ නැහැ. එය මගේ අඩුපාඩුවක්. නමුත් ඒ කාලයේ මම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තා. සිංහල නොදන්නා මිත්‍රයන් සමඟ මම ඉංග්‍රීසි භාෂාවෙන් කතා කළා. ඒ නිසා ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර් ආදී විවිධ ජාතීන්වල මිත්‍රයන් රාශියක් මට සිටියා. නමුත් අපේ ගම්වල ජීවත් වූ ජනතාවගෙන් බොහෝ දෙනෙක් ඉගෙන ගත්තේ, කතා කළේ එක භාෂාවක් පමණයි. එදා ගම්මානවල ඉංග්‍රීසි ඉගෙන ගැනීමට අවස්ථාවක් නොතිබූ නිසා බොහෝ දෙනා සිංහල හෝ දෙමළ පමණක් කතා කළා. සියලූ දෙනා එක මවකගේ දරුවන් ලෙස හැදින්වූවත් එකම රටේ ජීවත් වන වෙනත් ජාතියක සහෝදරියක් හෝ සහෝදරයෙකු සමඟ කතා කිරීමට තවත් ජාතියක සහෝදරයෙකුට හෝ සහෝදරියකට හැකියාවක් තිබුණේ නැහැ. අපේ රටේ ප්‍රධානතම ගැටළුව වූයේ එයයි. රටේ යුද්ධයක් ඇතිවුනේත් එම නිසායි."

"වසර 30ක් පමණ අපට එකිනෙකා මරා දමමින් යුධ වැදීමට සිදුවුණා. කෙසේ නමුත් දැන් එය අවසන් වී තිබෙනවා. යුද්ධයට පෙර ශ්‍රී ලංකාවේ මම ජීවත් වුණා. ඒ කාලයේ මෙවැනි ප්‍රශ්න ඇතිවුනේ නැහැ. ත්‍රස්තවාදයක් ඇතිවුණේ නැහැ. නමුත් යුද්ධය පැවති වසර 30 තුල රටේ එම පසුබිම වෙනස් වුණා. අප දැන් කල්පනා කළ යුත්තේ නැවත වතාවක් එකට එක්වී රටක් ලෙස ඉදිරියට යාම පිළිබඳවයි.කතානායකතුමාට සහ මට ඒ කාලයේ සිටම ඉංග්‍රීසි දැනුම ලබාගෙන වැඩකටයුතු වල යෙදීමට අවස්ථාව ලැබුණා.කතානායකතුමා මඩකලපුව ප්‍රදේශයේ යුධ හමුදා රාජකාරියේ යෙදී සිටියා. මම ඒ කාලයේ යාපනයට ගියේ සංචාරයන් සඳහායි. ඒ කාලයේ එම ප්‍රදේශවල තරුණයින් අපත් සමඟ එකට සෙල්ලම් කළා. නමුත් වසර 30ක යුද්ධයෙන් පසු අප රටක් ලෙස පසුගාමී වුණා."

ශ්‍රී ලංකාව හා ඇමරිකා එක්සත් ජනපදය අතර සෝෆා ගිවිසුමක් අත්සන් කර නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ අරලියගහ මන්දිරයේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසට පැවැසීය.

සෝෆා ගිවිසුම, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සහ ඉඩම් (විශේෂ විධිවිධාන ) පනත් කෙටුම්පත පිළිබඳව පැන නැගී ඇති කරුණු ගණනාවක් පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිත පිරිසක් ඊයේ අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කර තිබේ.

සාකච්ඡාව අවසානයේදී ඒ පිළිබඳව අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා

"ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිත පිරිසක් සමග සාර්ථක රැස්වීමක් පැවැත්වුණා. සෝෆා ගිවිසුම, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සහ ඉඩම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත ගැන ඔවුන් කරුණු විමසුවා. සෝෆා ගිවිසුමක් අප විසින් අත්සන් කර නැති බව මා ඔවුන්ට පැවසුවා. ඔවුන් ඒ ගැන සතුට පළ කළා. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිබඳවද මම කරුණු පැහැදිලි කළා. ඉඩම් (විශේෂ විධිවිධාන ) පනත් කෙටුම්පත දැන් පාර්ලිමේන්තුව හමුවේ ඇති බව මම පැවසුවා. ඒ සම්බන්ධ තම නිර්දේශ ඉදිරිපත් කරන බව නීතිඥ සංගමයේ නියෝජිතයන් ප්‍රකාශ කළා. "

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා තමන්ට කිසිදු බලපෑමක් නොකළ බව හමුදාපතිවරයා විසින් ප්‍රසිද්ධියේ පිළිගත් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ (14) පස්වරුවේ කින්නියා මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රේක්ෂකාගාරය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙම වාර්තාව මගින් රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයාට එරෙහිව කිසිදු චෝදනාවක් සනාථ වී නැති බවයි. 

එම පොලිස් බුද්ධි අංශ වාර්තාව නීතිපතිවරයා සහ කතානායකවරයා වෙත යවා තිබෙන බවද, ඔවුන් ඒ පිළිබඳව නිසි පියවර ගනු ඇති බවද අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි අංශය විසින් ඉදිපත් කර තිබෙන වාර්තාවේ යම් යම් කොටස් සමහරුන් විසින් ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ දරන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එමඟින් සිදුවන්නේ අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදවයට අනුබල දීමක් බවත් පෙන්වා දෙයි.

කිසිම වාර්තාවක කොටසක් ප්‍රතික්ෂේප කර, ඉතිරි කොටස් පිළිගැනීම කළ නොහැක්කක් බවත්, දේශපාලන අරමුණු උදෙසා මෙසේ ක්‍රියා කිරීමෙන් සිදු වන්නේ සාක්‍ෂි වල ශක්තිය අඩපණ වීමක් බවත් අගමැතිවරයා පැවසීය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

"පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව පොලිස් බුද්ධි අංශය විසින් කරනු ලැබූ පරීක්‍ෂණයට අනුව වාර්තාව කාදිනල්තුමා මෙරටට පැමිණි ගමන් ලබාදීමට මම උපදෙස් ලබාදී තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවටත්, සභාවේ නියෝජිතයින්ටත් එම වාර්තාව කාදිනල්තුමාට ලබාදීමට මා උපදෙස් දී තිබේ. එම වාර්තාව කතානායකවරයා විසින් අපට ලබාදුන්නා. එම වාර්තාවෙන් චෝදනා 300 ක් තිබුණා. එම චෝදනාවල බහුතරයක් කිසිදු පදනමකින් තොරව කළ චෝදනා බව සඳහන් වේ.ඉන් සමහර චෝදනා පැමිණි ඉදිරිපත් කිරීමට අදාළ කිසිදු කරුණක් නැති බවත් සඳහන් වෙනවා.ඒ අනුව රිෂාඩ් බදියුදීන් ඇමැතිතුමාට එරෙහිව කිසිදු චෝදනාවක් නොමැති බව කතානායකවරයා දැනුම් දුන්නා.මේ පිළිබඳවූ නඩුව විභාගයට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් මෙම වාර්තාව සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි බව පවසා තිබේ.  එමගින් සිදු වන්නේ සාක්‍ෂි අඩපණ වීමයි.  අයි.එස්.අයි.එස්. සැබෑ ත්‍රස්තවාදීන්ට ගැලවී යාමට අවශ්‍ය පසුබිම සකස් කිරීමයි. බුද්ධි අංශ විසින් මාස දෙකක් තිස්සේ සිදු කරන ලද පරීක්‍ෂණ අවතක්සේරු කිරීමයි."

මේ මාසය අවසන් වනවිට බැංකු ණය පොලිය 12% සිට 10% දක්වා අඩු කරන බවත් සංචාරකයින්ගේ පැමිණීම වැඩිවනු ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමා ඇතුළු ආණ්ඩුව සූදානම් බව පැවසූ වික්‍රමසිංහ මහතා විපක්‍ෂය ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ බවත්, එම විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේදී පාර්ලීමේන්තුවේ ඝණපූර්ණය තබා ගැනීමට පවා විපක්‍ෂයට නොහැකි වූ බව පෙන්වාදුන්නේය. 

ඊයේ (14) ත්‍රිකුණාමලයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ත්‍රිකුණාමල, නගර සභා ක්‍රීඩාංගනයේ පැවැති ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනි.

මෙම උත්සවයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස කින්නියා මධ්‍ය මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද ප්‍රේක්ෂකාගාරය ද විවෘත කෙරිණි.

ත්‍රීකුණාමලය නගර සභා ක්‍රීඩාංගනයේ පැවැති ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රධානය කිරීමේ උත්සවය එක්වෙමි තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා,

"මේ මාසය අවසන් වන විට බැංකු ණය පොලිය 12% සිට 10% දක්වා අඩු කිරීමට අප කටයුතු කර තිබෙනවා. මෙමගින් විශාල පිරිසකට සහනයක් සැලසෙනු ඇතැයි අප විශ්වාස කරනවා. මේ වසරේ මුලදී විදේශ සංචාරකයින් එක්ලක්‍ෂ හැට හයදහසක් ලංකාවට පැමිණියා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු එම සංඛ්‍යාව තිස් හත්දහස දක්වා අඩු වුණා.  නමුත් ඉන්පසු රජය ගෙන ගිය කඩිනම් වැඩ පිළිවෙළ නිසා ජුනි මාසයේදී එම සංඛ්‍යාව හැට තුන්දහසක් දක්වා වැඩි වුණා. මේ මාසය අවසන් වන විට එය ලක්‍ෂයක් දක්වා වර්ධනය වන බව කිව යුතුයි.  එමෙන්ම අගෝස්තු මාසය අවසන් වන විට මේ සංඛ්‍යාව එක්ලක්‍ෂ විසිපන්දහස දක්වා වැඩි කර ගැනීමට අප පියවර ගෙන තිබෙනවා.අපට එල්ල වන ඕනෑම අභියෝගයකට මුහුණදීමට අප සූදානම්. නමුත් විපක්‍ෂය තමන් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පිළිබඳව පැවැති විවාදයේදී පාර්ලිමේන්තුවේ ඝණපූර්ණය තබා ගැනීමටවත් ඔවුන්ට නොහැකිව විපක්‍ෂය බංකොළොත් තත්ත්වයට පත් වුණා. පාස්කු ප්‍රහාරයෙන් පසු පවුල් ලක්‍ෂ 6කට සමෘද්ධිය ලබාදීමට අප පියවර ගත්තා. එමෙන්ම ඉඩම් ඔප්පු බෙදාදීම, ගුරු පත්වීම් ලබාදීම, මහා සංඝරත්නය සඳහා රක්‍ෂණ ක්‍රමයක් හඳුන්වාදීම ආදී සංවර්ධන කටයුතු රාශියක් ක්‍රියාත්මක කළා."

ආණ්ඩුව සමඟ එකට වැඩ කළ ජනතා විමුක්ති පෙරමුණ පවු සෝදා ගැනීමේ අරමුණින් විශ්වාසභංගයක් ගෙන ආ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

පොදුජන පෙරමුණ පැහැදිලිවම විශ්වාසභංගයට පක්ෂය ඡන්දය ප්‍රකාශ කරන බව පැවසූ බවත් කියු පරිදි තම පක්ෂය එම වගකීම ඉටු කළ බවත් ඒ මහතා කියා සිටියි.

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන කාරක සභාවට අග්‍රාමාත්‍යවරයා සාක්ෂි දීමට ඉදිරිපත් වෙන්නේ එම කාරක සභාවෙන් සියලු ප්‍රශ්න කිරීම් පිළිබඳව අග්‍රාමාත්‍යවරායාට දැනුම් දී ඇති බැවින් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියි.

එනිසා තේරීම් කාරක සභාව කුණු හෝසන ෆැක්ට්රියක් බව රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

පාස්කු ප්‍රහාරය ගැන කරුණු සොයා බලන විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර සිටියි.

විශේෂ කාරක සභාවෙන් කැදවීමක් ලද විගස කාරක සභාව හමුවේ පෙනී සිට එහි සාමාජිකයන් අසනා ප්‍රශ්නවලට පිළිතුරු දීමට අග්‍රාමාත්‍යවරයා සුදානමින් සිටින බව සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා මහ බැංකු බැදුම්කර ගණුදෙනු සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙනී සිටියේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන විශේෂ කාරක සභාව අග්‍රාමාත්‍යවරයාට එම කාරක සභාව හමුවේ පෙනී සිටිය යුතු දිනය ඉදිරියේදි දැනුම් දෙනු ඇති බවද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සදහන් කළේය.

සෝෆා ගිවිසුමට වත්මන් ආණ්ඩුව අත්සන් තබා නොමැති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) අවධාරණය කළේය.

එහිදී ඔහු කියාසිටියේ 1995 වසරේ අත්සන් කළ ගිවිසුම යාවත් කාලීන කිරීම සඳහා දෙපාර්ශ්වය අතර සාකච්ඡා පවතින බවය.

අග‍්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක විමසූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

මේ අතර පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් 161 දෙනෙකු මේ වන විට රැදවුම් භාරයේ සිටින බවයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද ප‍්‍රකාශ කළේය.

තවත් 167 දෙනෙකු රිමන්ඞ් භාරයේ සිටින බවද මෙහිදී ප‍්‍රකාශ කෙරිණි. එමෙන්ම සිද්ධියට ඍජුව හෝ වක‍්‍රව සම්බන්ධ 99 දෙනෙකු සම්බන්ධයෙන් නීතිමය කි‍්‍රයාමාර්ග ගෙන ඇති බවයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියාසිටියේය.

මීළඟ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් දිනන්න පුළුවන් දෙදෙනෙකු ඉදිරිපත් කරන අතර එයින් විශිෂ්ඨ කාර්යක් කරූ ජයසූරිය මහතා විසින් සිදුකරන බව අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, ඊයේ (10) පෙරවරුවේ සුගතදාස ක්‍රීඩාංගනයේ සංවිධානය කර තිබු, 46 වන සුගතදාස ගුණානුස්මරණ උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි. 

මෙහිදී වැඩිදුරටත් අදහ්ස දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා මේ බව පැවසීය.

"එදා ඉතිහාසයේ වැඩකටයුතු සිදුවූ ආකාරයෙන්ම අදත් වැඩකටයුතු සිදු වෙනවා.  එදා උතුරු කෙළඹින් ආණ්ඩු හැදුණා. අදත් උතුරු කොළඹින් ආණ්ඩුවක් හැදීමට කටයුතු කෙරෙනවා. එදා ඒ සිදුකෙරුණ වැඩ බලාගෙන ඉන්න බැරිව විපක්ෂයෙන් චරිත ඝාතන සිදු කරනවා. අදත් ඒ ආකාරයෙන්ම අපි ඉටු කරන සේවය බලාගෙන ඉන්න බැරිව ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් විසින් අපේ චරිතය ඝාතනය කරනවා. එදා විරුද්ධ කණ්ඩායම් සමාව ඉල්ලනවා. අද එක වතාවක් නොවෙයි, දසවතාවක් සමාව අයැදිනවා. එදා ගෙවල් හදනවා, සමාජ සේවා ඇති කරනවා.  සුගතදාස මැතිතුමා ඇතිකළ අඩිතාලම මතින් අද මටත් ඒ ආකාරයෙන් කටයුතු කරන්න හැකිවෙලා තිබෙනවා. තව සුලු කාලයකින් ජනාධිපතිවරණයක් තිබෙනවා. එහිදී රනිල් වික්‍රමසිංහ සහ කරූ ජයසූරිය යන මහත්වරුන් විශිෂ්ට කාර්යයක් ඉටු කරනවා. අපි හරි වෙලාවට, නියම ආකාරයට දිනන්න පුළුවන් නිවැරදි කෙනෙක් ඉදිරිපත් කරනවා.  එදා 2018 ඔක්තේබර්  22 දා කරූ ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකයා සමග සිදුකළ ප්‍රජාතන්ත්‍රවාදී කටයුත්ත නිසා තමයි, අද රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙලා තිබෙන්නේ. එදා කරූ ජයසූරිය මැතිතුමා නිර්භීත තීන්දුවක් නොගත්තානම්, අද වෙනත් ආණ්ඩුවක් විසින් ප්‍රජාතන්ත්‍රය යටපත් කරලා,  2015 පෙර තිබූ තත්ත්වයට ගමන් කරලා කටයුතු කිරීමක් තමයි සිදු වෙන්නේ. එදා ඒ සිදුකළ ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියාව තුළින් රටේ සෑම ස්ථානයකම,  සැම පක්ෂයකම සියලු ජාතීන් ආගම් එකතුවෙලා අළුත් දර්ශනයක් තුළින් ඉදිරියට ගෙන යාහැකි නව උපතක් ලබාදුන්නා " 

"1912 ජූලි මාසේ 07 දා මෙළොව එළිය දුටු සුගතදාස මහතා, අපේ රටට සුවිශාල සේවයක් කල චරිතයක්. එතුමා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් විශිෂ්ට කැපවීමක් කල නායකයෙක්. ඒ සේවය අමතක නොවන සේවයක්. 1956 දී එන්.එම්. පෙරේරා පරාජය කරලා, සුගතදාස මහතා පුරපති  ධූරයට පත්වෙලා එක්සත් ජාතික පක්ෂය අවධි කළා. ඒ අවස්ථාව එක්සත් ජාතික පක්ෂයේ නව පෙරළියක් ඇතිකළ සංධිස්ථානයක් කියලා කියන්න පුළුවන්. එතැන් පටන් අමාත්‍ය ධූර කිහිපයක් හෙබවූ සුගතදාස මහතා එම සේවය සිහිගන්වනු වස්, සුගතදාස ක්‍රීඩාංගනය ස්ථාපික කළා. ඒවගේම කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගනයත් එතුමාගේ විශිෂ්ඨ සේවයක්.  ඒ වගේම උතුරු කොළඹ කියන්නේ වාමාංශික ආසනයක්. සුගතදාස මැතිතුමා විසින සිදුකළ විශේෂ පෙරළියක් නිසා අද උතුරු කොළඹ එක්සත් ජාතික පක්ෂයේ ආසනයක් බවට පත්වෙලා තිබෙනවා. සුගතදාස මහතා එක්සත් ජාතික පක්ෂයට මෙන්ම සියලුම ආගම් වලටද විශේෂ සේවයක් සිදුකළ පුද්ගලයෙක්. එතුමාගේ පුද්ගලික වියදමෙන් නිවාස නොමැති පිරිස් වෙත නිවාස ලබාදෙන්න කටයුතු කළා. සුගතදාස මහතාගේ සංකල්පය වූයේ ජනතාව සමග ගමන් කිරීමයි. ඒ උදාර සංකල්පය ආදර්ශයට ගනිමින් අද අපිත් ජනතාව සමග ගමන් කරනවා. එදා සුගතදාස මැතිතුමා 1965 දී ආණ්ඩුවක් ඇති කරන්න විලියම් ගොපල්ලව මහතාට ඇතිකර දුන් වාතාවරණය වගේම, 2019 අග වෙද්දි ජනාධිපතිවරණය තුළින් එවැනිම ශක්තිමත් ආණ්ඩුවක් සෑදීමට අද අපේ අගමැතිතුමා සහ  කරූ ජයසූරිය මහතා එකමුතුවී නායකත්වය සපයනවා"

මැතිවරණ නොපවත්වන්නේනම් තමන් ඉල්ලා අස් වන බව මහින්ද දේශප්‍රිය මහතා මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

ඉදිරියේදී මැතිවරණ කීපයක් පැවැත්වීමට නියමිතව ඇති හෙයින් ඉල්ලා අස් වීමට නොසිතන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍යවරයා සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අතර හමුවකදී මෙම ඉල්ලීම කර ඇත.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සේවය ඉදිරි මැතිවරණ සඳහා අත්‍යවශ්‍යය යැයි ද ඒ නිසා ඉල්ලා අස්වීමට සුදානම් නොවන්නැයි ද අගමැතිවරයා පවසා ඇත.

ඉදිරි මැතිවරණය සඳහා සූදානම් වන්න යැයිද අගමැතිවරයා වැඩිදුරටත් සඳහා කර ඇත.

Page 1 of 9