September 20, 2019

නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සාකච්ඡා සාර්ථක කර ගැනීමට උත්සාහ දැරීම අතරතුර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම් දයාසිරි ජයසේකර මහතා තනි තීන්දු ගෙන කටයුතු කරන්නේ ඉදිරියේදී ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට ද යැයි සැකයක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද පැවසීය.

"එජාප රජයක් මෙතෙක් කල් පවත්වාගෙන යාමට සහය දුන් ඇතැම් කඳවුරු ඉදිරි එජාප ජයග‍්‍රහණය වෙනුවෙන් මේ වන විටත් මෙහෙය වෙමින් සිටිනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම් මට්ටමේ ජනතාව එකතු වී එජාපය පරාජය කළ යුතුයි කියලා තීරණය සිටියදී දයාසිරි ජයසේකර මහින්ද-මෛත‍්‍රී එකතු වුණොත් බිම් මට්ටම එකතු වෙන්නේ නෑ කියලා විවිධ ප‍්‍රකාශ කරනවා. ශ‍්‍රී ලංකාව නිදහස් පක්ෂය ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කරනවා කියලා දයාසිරි කියනවා. නිදහස් පක්ෂ ජේෂ්ඨයින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සාකච්ඡා සාර්ථක කර ගැනීමට උත්සාහ දැරීම අතරතුර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම් දයාසිරි ජයසේකර තනි තීන්දු ගෙන කටයුතු කරන්නේ ඉදිරියේදී ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට ද කියලා සැකයක් ඇති වෙමින් තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය වැළැක්වීම සඳහා  කටයුතු කරන මේ හුඟක් අය මහ බැංකු මංකොල්ලයට සම්බන්ධ බවට චෝදනා ලැබූ පුද්ගලයින් බව පැහැදිලියි."

"මෙම කුමන්ත‍්‍රනය මෙහෙයවන්නේ සිංගප්පූරුවෙ ඉඳලා අර්ජුන් මහේන්ද්‍රන් ද කියලා අපට සැකයක් ඇතිවෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ රජයක් පිහිටවූවිට ඔවුන්ට ගැලවීමක්  නැති බව දන්නා නිසා මෙවැනි කටයුතු සිදුකරනවාද යන්න පිළිබඳව අපි අවධානයෙන් ඉන්නවා.ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව වැඩ කරන හුගක් අය මහ බැංකුවේ බැඳුම්කර වංචාව තුළින් මුදල් ලබාගත් අය කියලා පැහැදිලිව නිසා ඔවුන් එක කඳවුරකට වෙලා  සටන් කරන බව දැන් පැහැදිලි වෙමින් තිබෙනවා. මේ අවස්ථාවේදී අපි අපේ ජාතික ආරක්ෂාව පිළිබඳ දෙවරක් සිතිය යුතුයි.පාස්කු ඉරිදා තේරීම් කාරක සභාව තව මාසයකින් දීර්ඝ කරලා තියන අතරතුරම අම්පාර වගේ ප‍්‍රදේශ වලින් තවදුරටත් ගිනි අවි සොයා ගනිමින් සිටිනවා. මහ බැංකු මංකොල්ලයට සම්බන්ධ  පිරිසත් ත‍්‍රස්ත ක‍්‍රියා  ක‍්‍රියාකාරීනුත් එකතුවෙලා වෙලා වැඩ කරන බව දැන් දැන් පැහැදිලි වෙමින් තිබෙනවා.ඒ නිසා ඉදිරියේදී ජාතික ආරක්ෂාව සහ රටේ අනාගතය පිළිබඳ සිතා තීරණ ගැනීම ජනතාවට බාර වෙනවා."

ශ්‍රීලනිප සහ එජනිස සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර ඊයේ (19) රාත්‍රියේ ජනාධිපතිවරණයේදී එක්ව තරග කිරීම පිළිබඳව පැවති තීරණාත්මක සාකච්ජා අසාර්ථක වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 

මෙම සාකච්ජාවේදී විපක්ෂ නායකවරයා විසින් පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට උපකාර කරන ලෙස කළ ඉල්ලීම ජනපතිවරයා දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.

පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ සමඟ කිසිදු සබඳකමක් පැවැත්වීම ජනාධිපතිවරයා එහිදී තරයේම ප්‍රකාශ කර තිබේ. මෙම සාකච්ජාව පවත්වන ලද්දේ නෙලුම් කුලුන සම්බන්ධයෙන් ෂෙල් සමාගමට ගෙවන ලද අත්තිකාරම් මුදලක් පිළිබඳව දෙපාර්ශවය අතර දැඩි කරුණු දැක්වීමකින් යුත් ලිපි හුවමාරුවන පසුබිමක් තුළය.

නෙලුම් කුලුන පදනම් කර ගෙන රාජපක්ෂ රජය දුෂිතයන් ලෙස ජනපතිවරයා විසින් චෝදනා එල්ල කළ අතර ඓතිහාසික ඉදිකිරීමේ ගෞරවය පොදුජන පෙරමුණට සහ ඒකාබද්ධ විපක්ෂයට යාම වැලැක්වීමට ජනාධිපතිවරයා පහත් ආකාරයේ ක්‍රියාමාර්ග ගන්නා බවට රාජපක්ෂ මහතා චෝදනා කරයි.

වත්මන් ආණ්ඩුව විසින් අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා යමින් රාජ්‍ය සේවය සඳහා පුද්ගලයින් බඳවාගැනීම් කටයුතු සිදු කරමින් පවතින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි. 

එමෙන්ම ආණ්ඩුව ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවෙනුවෙන් විශාල මුදලක් වැය කරමින් සිටින බව නිදහස් සන්ධාන මහලේකම්වරයා සඳහන් කළේය. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මහින්ද අමරවීර මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.

පොදුජන පෙරමුණ සහ නිදහස් පක්ෂය අතර සාකච්ජා ගැන සුබවාදීව බලාපොරොත්තු වෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.

ජනාධිපතිවරණ සඳහා ඉදිරිපත් නක අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් තීන්දු කර ඇත්තේ ජනාධිප මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම බව මහින්ද අමරවීර මහතා  සඳහන් කළේය.

කොළඹ නෙලුම් කුලුණ විවෘත කරිමෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවති ආණ්ඩුවට විවේචන එල්ල කරමින්  කළ කතාවට හිටපු ජනාධිපති විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (18) නිවේදනයක් නිකුත් කරමින් ඊට පිළිතුරු ලබා දුන්නේය.

එම නිවේදනයේ ඔහු සඳහන් කළේ මෙවැන්නකි.

“කොළඹ නෙලුම් කුලුණ විවෘත කිරීමේ උත්සවයේදී කතා කරමින්, එම ව්‍යාපෘතියේ  කොන්ත්‍රාත්කරුවෙකු වූ චීනයේ ‘ඒලිට්’ නැමති සමාගමක් ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිසමෙන් දුන් රුපියල් බිලියන දෙකක (ඒ කාලයේ හැටියට ඇමරිකානු ඩොලර් මිලියන 15ක) අත්තිකාරම් මුදල රැගෙන අතුරුදහන් වූ බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ජනාධිපතිවරයා සිදු කළේය. චීනයේ සිටින අපේ වත්මන් තානාපතිවරයා මෙකී‘ඒලිට්’ සමාගමේ ලිපිනය සඳහන් ස්ථානයට ගොස් බැලූ විට ඒ ලිපිනයේ එවන් සමාගමක් නැති බවට අනාවරණය කරගත් බවත් ජනාධිපතිවරයා කියා සිටියේය. මේ චෝදනාව රොයිටර්ස් ඇතුළු  විදේශීය ප්‍රවෘත්ති සේවාවන් විසින් සැනෙකින් මුළු  ලෝකය පුරාම ප්‍රචාරය කිරීම හේතුවෙන්, එය ආසියානු රටවල් ගණනාවක මාධ්‍ය වල ප්‍රධාන පුවතක් බවට පත්විය.

මෙකී ගෙවීම සිදු කළ 2012 වසරේ, නෙලුම් කුලුණ ව්‍යාපෘතිය භාරව සිටි විදුලි සංදේශ නියාමන  කොමිසම තිබුණේ ජනාධිපතිවරයා හැටියට ඍජුවම මා යටතේය. එම නිසා මේ චෝදනාව ගැන පැහැදිලි කිරීමක් සිදු කළ යුතුය. 2012 දී නෙළුම් කුලුණ ඉදිකිරීම සඳහා මුලු ඇස්තමේන්තුව වූයේ ඇමරිකානු ඩොලර් මිලියන 104.3 කි. චීන එක්සිම් බැංකුව මේ සඳහා  ඇමරිකානු ඩොලර් මිලියන 88.6ක් (එනම් ව්‍යාපෘති වියදමෙන් 85% ක උපරිමයක් දක්වා) ණයක් සැපයීමට එකඟ විය.ව්‍යාපෘති වියදමේ ඉතිරි 15% දැරිය යුතු වූයේ ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිසමයි. චීන ණය පහසුකම් යටතේ කරන ව්‍යාපෘති සඳහා කොන්ත්‍රාත් කරුවා නම් කරනු ලබන්නේ චීන ආන්ඩුව විසිනි. ඒ අනුව චීන ආණ්ඩුව විසින් ‘චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික්ස් කෝපරේෂන්’ සහ ‘ඒලිට්’යන සමාගම් දෙක එකතු වී සෑදූ හවුල් ව්‍යාපාරයක්නිර්දේශ කළේය. නෙළුම් කුලුණ අවසන් කිරීමට සැලසුම් කර තිබුණේ 2015 දීය. නමුත් යහපාලන ආණ්ඩුව බලයට පැමිණි පසු මේ ව්‍යාපෘතියට බාධා කිරීම හා කොන්ත්‍රාත්කරුගේ අතපසුවීම් නිසා ව්‍යාපෘතිය ප්‍රමාද විය.

මෙවැනි ව්‍යාපෘති ආරම්භ කිරිමට පෙර ණය ලබාගන්න රට, අදාල ව්‍යාපෘතිය වෙනුවෙන් ආයෝජනය කරන 15% ක මුදල අත්තිකාරමක් හැටියට කොන්ත්‍රාත්කරුට ගෙවිය යුතු වේ. ඒ අනුව 2012 ඔක්තෝබර් මස 09 වෙනි දින විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ප්‍රධාන කොන්ත්‍රාකරු වන චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික්ස්සමාගමේ ගිණුමට රුපියල් බිලියන දෙකක් (ඩොලර් මිලියන 15ක්) යැවූ බව ලියවිලි වලින් පෙනේ. අදටත් නෙළුම් කුලුණේ වැඩ කටයුතු කරන්නේ එම ගෙවීම ලබාගත් චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික්ස් සමාගමයි. මේරුපියල් බිලියන දෙක අනෙක් කොන්ත්‍රාත්කරු වූ ‘ඒලිට්’ සමාගමට ලබා දී නැත. මුල් දවසේ සිට අද දක්වා සියලු ගෙවීම් කර ඇත්තේ ප්‍රධාන කොන්ත්‍රාත්කරු වෙන  චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික්ස් සමාගමේ ගිණුමට බව අදාල ලියවිලි වලින් තහවුරු කරගත හැක.

නෙලුම් කුලුණේ කොන්ත්‍රාත්තුවට නිර්දේශ වූ චීන සමාගම් දෙකම සියයට සියයක්ම චීන ආණ්ඩුවට අයත් මහාපරිමාන සමාගම්ය.හැමදාමත් මේ ව්‍යාපෘතියේ ක්‍රියාකාරී පාර්ශවය වුයේ ‘ඒලිට්’ සමාගම නොව චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික්ස් කෝපරේෂන් නැමති සමාගමයි.  චීන රජයට අයත් මහා පරිමාන සමාගමක් ලංකාවේ රුපියල් බිලියන දෙකක් රැගෙන අතුරුදහන් වූවා යැයි කීම චීනයට කරන ලද මහා අපහාසයකි. ඒ අපහාසය කළේ ද ලංකාවේ චීන තානාපතිවරයා ඉදිරිපිටදීමය. ජනාධිපතිවරණයක් අතළඟ තිබියදී අපට මඩ ගැසීම තේරුම් ගත හැකිය. නමුත් ඒ වෙනුවෙන්, අපේ රටට බෙහෙවින්ම උදවු උපකාර කළ චීනය වැනි මිත්‍රශීලී ලෝක බලවතෙකුට මේ ආකාරයට ප්‍රසිද්ධියේ අපහාස කිරීම අදහා ගැනීමටත් නොහැකි දෙයකි. 

මේ ආණ්ඩුව බලයට ආපු දා සිට කළේ මගේ ආණ්ඩුව විසින් ඉදි කරපු දේවල් විවෘත කිරීම පමණි. නෙළුම් කුලුණත් එවැනිම ව්‍යාපෘතියකි. දුරකථන, රෑපවාහිනී හා ගුවන් විදුලි සම්ප්‍රේෂණ සේවා සැපයීම තුළින් පමනක් නොව දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශණය ඇති ස්ථානයක් වීමෙනුත් නෙළුම් කුලුණ හරහා අතිවිශාල ආදායමක් ආණ්ඩුවට ලබාගත හැක. නමුත් මේ මුලු ව්‍යාපෘතිය වෙනුවෙන්ම  වැය වී ඇත්තේ කොලඹ ෂැන්ග්‍රි - ලා හෝටල් ව්‍යාපෘතිය පමණක් ඉදිකිරීමට ඒ පුද්ගලික සමාගමට වැය වූ වියදමෙන් හතෙන් පංගුවකටත් අඩු මුදලකි. ඒ අනුව බලන කළ නෙළුම් කුලුණ යනුකදිම ආයෝජනයකි. එමෙන්ම මෙය ප්‍රංශයේ අයිෆල් කුලුණ මෙන්, ලංකාව සංකේතවත් කරන ඉදිකිරීමකි.

ජනාධිපතිවරණයක් අතලඟ තිබියදී මෙවැනි ව්‍යාපෘතියක් ඉදිකිරීමේ කීර්තිය පොහොට්ටු පාර්ශවයට ලැබීම වැලැක්වීම සඳහා, සුබ මොහොතෙන් මේ ව්‍යාපෘතියවිවෘත කරන අවස්ථාවේදීම මේ රුපියල් බිලියන දෙකේ මඩ ප්‍රහාරය දියත් කළ බව මගේ විශ්වාසයයි. මෙතන සිදු වී ඇත්තේ අසල් වැසියගේ අලුත් වාහනයට, ඉරිසියාවට ගල් ගැහීමට නොවෙනස් දෙයකි.  රත්තරන් අශ්වයින්, ලැම්බෝගිනි, ඩොලර් බිලියන 18 ක බැංකු ගිණුම් ඇතුලු වෙනත් චෝදනා රාශියක් අවුරුදු පහකට කළින් සිට අපි අසා තිබුණද, රුපියල් බිලියන දෙකක් අරගෙන අතුරුදහන් වූ චීන සමාගමක් ගැන අපි ඇහුවේ පළමු වතාවටය. නෙළුම් කුලුණ ගැන 2019 අප්‍රේල් මාසයේදී පල වූ පිටු 670 ක විගණකාධිපතිවරයාගේ විශේෂ වාර්ථාවේද රුපියල් බිලියන දෙකක් අරගෙන අතුරුදහන් වූ චීන කොන්ත්‍රාත් කරුවෙකු ගැන කිසිඳු සඳහනක් නැත.

අවස්ථාවට ගැලපෙන පරිදි පට්ටපල් බොරු නිර්මාණය කර කීමට යහපාලකයන්ට ඇති සහජ හැකියාව මෙයින් ඉතා මැනවින් විදහා දැක්වේ. මෙය වැරදි තොරතුරු ලබාදීම හේතුවෙන් සිඳුකළ ප්‍රකාශයක් නම් අදාල පාර්ශවය එය ඉක්මනින්ම නිවැරදි කරනු ඇතයි මම බලාපොරොත්තු වෙමි.  නෙළුම් කුලුණු ව්‍යාපාතියට අදාල සියලුම ලිපි ලේඛන විදුලි සංදේශන නියාමන කොමිසමසහ විගණකාධිපතිවරයා සතුව තිබෙන නිසා, මේ කාරණා වල ඇත්ත තත්වය සොයා බැලීම කිසිසේතම අසීරු කාරණයක් නොවේ.

මහින්ද රාජපක්‍ෂ

විපක්‍ෂ නායක

නෙළුම් කුලුණ ව්‍යාපෘතිය ඉදිකිරිමේ දී රුපියල් මිලියන 200 ක් වංචාවක් සිදුවී ඇති බවට ජනාධිපති කළ ප්‍රකාශය ඒ මහතා නොමඟ යැවීමට කවුරුන් හෝ කළ කුමන්ත්‍රණයක් දැයි සැකයක් මතුව ඇති බැවින් ඒ ගැන සොයා බලා ස්වාධීන ජනාධිපති කොමිසමක් පත්කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී  බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (17) ජනාධිපතිගෙන් ඉල්ලා සිටියේය.

එහි වාර්තාව සති දෙකක් තුළ ලබාගත යුතු බවද  මන්ත්‍රීවරයා දැනුම් දුන්නේය. මෙම බරපතල ප්‍රකාශය හේතුවෙන් ශ්‍රී ලංකාව හා චීන රජයේ අභිමානයට බලවත් කැළලක් සිදුවී ඇතැයි ද චීන රජයෙන් ඒ සඳහා පැහැදිලි කිරිමක් බලාපොරොත්තු වන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් මේ සම්බන්ධයෙන් ඊයේ විශේෂ නිවේදනයක් නිකුත් කිරිමට නියමිත බවද කී මන්ත්‍රීවරයා විදුලි සංදේශ නියාමන කොමිසමේ එවකට අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ අනුෂ පැල්පිට මහතා සිය මුහුණු පොතේ සටහනක් තබමින් මේ පිළිබඳ සැබෑ තත්ත්වය හෙළිකර ඇතැයි ද ඔහු කීවේය.

නෙලුම් කුලුන විවෘත කිරීමේ උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ALIT (Aerospace Long - March International Ltd ) නමින් චීනයේ සමාගමක් නැති බවත් ඒ නිසා එම සමාගමට ගෙවන ලද රුපියල් බිලියන 2ක මුදල අතුරුදහන් බවට කළ චෝදනාව පදනම් විරහිත අසත්‍ය එකක් බව මේ වන විට ඔප්පු වී තිබේ.

ALIT (Aerospace Long - March International Ltd ) සමාගම චීන රජයට අයත් සමාගමක වන අතර ඉන් චීන රජයට අයත් යුධ උපකරණ වන missile weapon systems, rocket systems, bombs, UAV, anti - terrorism / anti - riot equipment, border coastal surveillance and control / command systems, aerospace application equipment අපනයනය කරයි. නෙලුම් කුලුන යනු චන්ද්‍රිකා සන්නිවේදනයට මෙන්ම මෙරට ජාතික ආරක්ෂාවට අදාළ සන්නිවේදන ක්‍රියාකාරකම් සඳහා යොදා ගන්නා සන්නිවේදන කුලුනකි. ඒ සඳහා අදාළ සමාගමෙන් තාක්ෂණය සහ තාක්ෂණික උපකරණ ලබා ගෙන ඇත.

අප ජිවත් වන්නේ තොරතුරු තාක්ෂනය ඉහලම තැන තිබෙන යුගයකය. ගූගල් තාක්ෂණය ඔස්සේ  ALIT (Aerospace Long - March International Ltd ) සමාගම තිබෙන තැන සොයා ගැනීමට මෙරට ඕනෑම පුරවැසියෙකුට පුළුවන. එම අවස්ථාව ජනාධිපතිවරයාටද තිබේ. 

https://www.google.lk/maps/place/Long+March+International/@39.8205976,116.2892635,19z/data=!4m5!3m4!1s0x0:0x8a5bb0c00c733fa2!8m2!3d39.8205615!4d116.2894884 

මෙම සමාගම සොයා ගැනීම පිණිස පිරිසක් මෙරටින් චීනයට යැවූ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ අතර එහි ගිය පිරිස මාස 6කට වැඩි කාලයක් චීනයේ හොටල් වල රැඳෙමින් ජාතික ධනය නාස්ති කරමින් අදාළ සමාගම සෙවූ බව අනාවරණය වී තිබේ. මෙම කණ්ඩායමට නායකත්වය දුන්නේ චීනයේ සිටින ශ්‍රී ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කු මහතා බවද ජනධිපතිවරයා අනාවරණය කර සිටියි. 

මෙරට ජනතාව තුල වඩාත්ම විශ්වාසනීය රාජ්‍ය ආයතනයක් ලෙස පිළිගැනීමට ලක්වන විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වාර්තාවේ ද මේ පිළිබඳ කරුණු සඳහන් වේ. 2018 නෙලුම් කුලුන ඉදි කිරීම පිළිබඳව විගණකාධිපති විශේෂ වාර්තාවක් එලි දක්වන ලදී.

එම විගණකාධිපති වාර්තාවේ කොතැනක හෝ ජනාධිපතිවරයා කියන රුපියල් බිලියන 2 වංචාව පිළිබඳව සඳහන් වී නොමැත. එහෙත් ජනාධිපතිවරයා නැතැයි කියන සමාගම සමග අත්සන් කරන ලද නීතිපති දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද අදාළ ගිවිසුමේ පිටපතක්ද ඇතුලත්ව තිබේ.

2012 ආරම්භ වී 2015 මැයි මස වන විට ඉදි කිරීම් නිම කිරීමට කර තිබු සැලසුම ක්‍රියාත්මක නොවීම මත රජය සිදු වූ පාඩුව පෙන්වා දී තිබේ. ඒ අනුව ඉදිරි වර්ෂ 15ක් සඳහා ආදායම් පුරෝකථනයක් කර තිබිණි. එම පුරෝකථනයට අනුව කුලුන ඉදි කිරීම පමා වීම හේතුවෙන් 2018 අගෝස්තු 30 වන විට රජයට ඉපයීමට හැකිව තිබු රුපියල් මිලියන 5475ක ආදායමක් අහිමිව තිබු බව වාර්තා වේ. 

ඊට 2018 අගෝස්තු 30 සිට ඊයේ දක්වා ඉපැයීමට තිබු මුදල ඇතුලත් කොට නොමැත.

චීනය ලොව යුධමය වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ශක්තිමත්ම රටකි. චීනයේ පවතින බෞද්ධ පරිසරයත් සමඟ චීනය ශ්‍රී ලංකාවත් සමඟ වසර දහස් ගණනකට පෙර සිටම ඉතා කිට්ටු සබදතාවයක් පවත්වාගෙන යති. මේ නිසාම චීනය ශ්‍රී ලංකාව තුළ අති විශාල ආයෝජන ප්‍රමාණයක් කර තිබෙන බවද ප්‍රසිද්ධ කරුණකි. ඉතා නුදුරු අනාගතයේදී  චීනය ලොව ධනවත්ම මෙන්ම බලවත්ම රාජ්‍ය වනු ඇති බවට අනාවැකි දැනටමත්ම පළ වී තිබේ. එවැනි රටක සමාගමක් පිළිබඳව ජනාධිපතිවරයා එල්ල කළ මෙම චෝදනාව රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් මෙන්ම නෛතික වශයෙන්ද ශ්‍රී ලංකා රජයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත. 

දකුණු ආසියාවේ උසම කුලුන වන නෙලුම් කුලුන විවෘත කිරීම ලෝකයේ අවධානය දිනා ගත් අවස්ථාවක් වූ අතර එහිදී කිරි කලයට ගොම බිඳුවක් නොව තනිකරම කිරි කළය ගොම වලින් නාවන තැනට යොමු කිරීම හරහා ජනාධිපතිවරයා මෙම ඉතිහාසගත අවස්ථාවට කළු පැල්ලමක් එක් කරන ලදී. මතු අනාගතයේ නෙලුම් කුලුන ගැන කතා කරන විට ජනාධිපතිවරයා ඊට දායාද කළා වූ කළු පැල්ලම ද ඉස්මතු වනු ඇත.

නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා 2012 වසරේ දී ලබාදුන් රුපියල් කෝටි 200 ක අත්තිකාරම් මුදල්වලට ආගිය අතක් නැති බවත් කුලුනේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවට අත්සන් තබන ලද එක් පාර්ශ්වයක් වන ඇලිට් (ඒ.එල්.අයි.ටී.) සමාගම පිළිබඳ කිසිදු තොරතුරක් නැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (16) ප්‍රකාශ කළේය.

දකුණු ආසියාවේ ඉහළම කුලුන වන ‘නෙළුම් කුලුන’ විවෘතකිරීමේ උත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව පැවැසීය.

නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා 2012 වසරේදී ශ්‍රී ලංකා රජය, චීනයේ සී.ඊ.අයි.ඊ.සී සහ ඇලිට් (ඒ.එල්.අයි.ටී) යන සමාගම් අතර ත්‍රෛපාර්ශවීය ගිවිසුමකට අත්සන් තැබූ බව ද ජනාධිපතිවරයා කීවේය. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදුලි සංදේශ කොමිසම ගිවිසුමට අත්සන් තැබූ බව ද හෙතෙම කීය.

ඒ අනුව කුලුන ඉදිකිරීම සඳහා අත්තිකාරම් මුදල් වශයෙන් ශ්‍රී ලංකා රජය 2012 වසරේදී ඇලිට් (ඒ.එල්.අයි.ටී.) සමාගමට රුපියල් කෝටි 200ක මුදලක් ගෙවා ඇති බවත් පසුව කරන සොයාබැලීම්වලදී එවැනි සමාගමක් නැති බවට තොරතුරු අනාවරණය වූ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය

නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා චීනයේ එක්සිම් බැංකුව මුලදී රුපියල් බිලියන 16ක මුදලක් දුන් බව බව කී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් සහ සමාගම පිළිබඳ තොරතුරු නොමැති නිසා එක්සිම් බැංකුව ණය මුදල රුපියල් බිලියන 12කට සීමා කළ බව ද පැවැසීය.

ඇලිට් (ඒ.එල්.අයි.ටී.) සමාගමේ ලිපිනය චීනයේ බීජිං නුවර බවට තොරතුරු ලැබුණු බවත් චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහ චීන රජයේ සහාය ලබාගනිමින් එවැනි සමාගමක් පිළිබඳ තොරතුරු චීනය තුළ ඉන් බැහැර රටකින් සොයාගැනීමට නොහැකි වූ බවත් ජනාධිපතිවරයා කීවේය.

නෙළුම් කුලුනේ ඉදිරි කටයුතු සඳහා රුපියල් කෝටි 300ක මුදල් අවශ්‍ය බවත් ඒ සඳහා මුදල් යොදවන්නේ මෙරට රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමට, අධ්‍යාපනයට, සෞඛ්‍යයට සහ සංවර්ධනයට යෙදවීමට තිබෙන මුදල් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා ලබාගත් ණය මුදලේ වාරිකය ලෙස වසරකට රුපියල් කෝටි 240ක මුදලක් ගෙවීමට තිබෙන බවත් පසුගිය වසරේදී කෝටි 240ක් ගෙවූ බවත් ජනාධිපතිවරයා පැවසීය.

මේ වසරේදී ණය වාරිකයට අදාළව රුපියල් කෝටි 120ක් දැනටමත් ගෙවා ඇති බවත් මේ ආකාරයෙන් වසර 10ක් යන තුරු රුපියල් කෝටි 240 බැගින් ගෙවිය යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

පසුගිය වසරේ නොවැම්බර් මස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ඇති වූ තත්ත්වයන් හමුවේ පො.ජ.පෙ මන්ත්‍රීවරුන් බහුතරයක් තමන්ගේ මන්ත්‍රී ධූර ආරක්ෂා කර දෙන මෙන් තමන්ගෙන් අයැද සිටි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ශ්‍රී.ල.නි.ප හෑල්ලුවට ලක් කරන පො.ජ.පෙ මන්ත්‍රීවරුන්ට ප්‍රහාරයක් එල්ල කරමින් ජනාධිපතිවරයා පවසන්නේ තමන් ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ රාජපක්ෂ කණ්ඩායමේ සාමාජීකයන්ගේ ඉල්ලීම මත බවය.

"මම පාර්ලිමේන්තු විසුරුවා හැරීමට පසු දින ඔවුන් පො.ජ.පෙ සාමාජීකත්වය ගත්තා, ඉන්පසු අමාරුවේ වැටුණාට පස්සේ තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර අහෝසි නොකර මෙන් මගෙන් ආයාචනා කරා. මහින්ද රාජපක්ෂ මා ගාවට පැමිණමගෙන් ආසා සිටියා, සර් අපි දැන් මොකද කරන්නේ" යැයි අසා සිටි බව රත්නපුරේ ශ්‍රී.ල.නි.ප රැස්වීමක් අමතා ඊයේ (15) ප්‍රකාශ කළේය. 

"මම මේ කාරණය ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයන් වන නිමල් සිරිපාල, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර සමඟ සාකච්ඡා කළා. ඒ අනුව අපිඔවුන්ව බේරගන්න තීරණය කරා, මොකද මොනවා වුණත් ඔවුන් ශ්‍රී.ල.නි.පයේ අය නිසා. මේ නිසා එ.ජ.නි.ස මහලේකම් මහින්ද අමරවීර කථානායකට ලිපියක් යැව්වා ඒ අයගේ ශ්‍රී.ල.නි.ප සාමාජීකත්වය අහෝසි වී නොමැති බවට" යැයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී.

"ඒ ගැන පො.ජ.පෙ නායකයන්ගේ කෘතගුණයක් තියෙනවා. ඒ වගේම පො.ජ.පෙ සාමාන්‍ය පාක්ෂිකයන්ගෙත් කෘතවේදිත්වයක් තියෙනවා. ඒත් එහි දෙවන පෙළ අය ඒ ගැන අකෘතඥවේදිවයි කතා කරන්නේ. විශේෂයෙන්ම නුවර පැත්තේ කෙනෙක්" යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා. එහිදී ජනාධිපතිවරයා කරන ලද සමීක්ෂණවලට අනුව කිසිදු අපේක්ෂකයෙකුට 40% ඉක්මවා ජනාධිපතිවරණයේ දී ඡන්ද ගැනීම නොහැකි බව අනාවරණය වී තිබෙනවා. ඒ නිසා ප්‍රධාන පක්ෂ දෙකට අපි එක්ක කතා කරන්න වෙනවා. ඒත් පරස්පරතා මත අපි එ.ජා.ප එක්ක කතා කරන්න සුදානම් නැහැ" යැයිද ජනාධිපතිවරයා එහිදි සඳහන් කළේය.

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  විසින් අසභ්‍ය වචනයෙන් එක්සත් ජාතික පක්ෂ නායකයන්ට බැන වදින හඬ පටයක් මේ දිනවල සමාජජාල හරහා පැතිර යමින් තිබේ.

ඒ සමඟම ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳයෙන් එ.ජා.ප ඉහළ තනතුරු අතර තිබෙන අර්බුදය යළිත් වරක් තහවුරුව තිබෙන බව දේශපාලන අරාංචි මාර්ග සඳහන් කරයි.

මෙම හඬ පටයත් සමඟ ජනාධිපතිවරයාගේ ඉතා කිට්ටු සමීපතයෙකු වන එ.ජා.ප නියෝජ්‍ය නායක සජීත් ප්‍රේමදාස මහතාට එ.ජා.පයෙන් ජනපති අපේ්ක්ෂකත්වය ලබා ගැනීමේ අවස්ථාව සම්පුර්ණයෙන් අහිමි වන බව එම ආරංචි මාර්ග පේනවා දෙයි.

"එ.ජා.ප යට හා පාක්ෂිකයන්ට පරුෂ වචනයෙන් බැන වදින පුද්ගලයෙකු සජීත් ප්‍රේමදාස මහතාගේ දෑත් ශක්තිමත් කිරීමට ඉදිරිපත් වන්නේ කෙසේද" යැයි එ.ජා.ප ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ප්‍රශ්න කරයි.

මෙම හඬ පටයත් සමඟ ප්‍රේමදාස මහතාගේ අපේක්ෂකත්ව ව්‍යාපාරය යටපත් වී කරූ ජයසූරිය මහතාගේ අපේක්ෂකත්ව අවස්ථාවට ප්‍රමුඛතාවය හිමිවී තිබේ.

ජනාධිපතිවරයා මෙසේ බැන වැදී තිබෙන්නේ තමන් යටතේ ම තිබෙන පොලීස් දෙපාර්තුමේන්තුව එ.ජා.ප යත් සමඟ සහයෝගයෙන් කළ කටයුත්තක් පදනම් කරගෙනය.

මෙම හඬ පටය සත්‍ය එකක් බැව් ජනාධිපතිවරයාට වඩාත් කිට්ටුවෙන් සිටින්නන් විසින් තහවුරු කර තිබේ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අවතක්සේරු කළහොත් පක්ෂයේ ශක්තිය සියළු දෙනාට පෙන්වීමට සුදානම් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. 

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ පක්ෂයටත් පාක්ෂිකයන්ටත් අසාධාරණයක් සිදු නොවන සියලු දෙනාට පිළිගත හැකි සහ සතුටට පත්විය හැකි වැඩපිළිවෙලකට ඉදිරියේදී සුදානම් බවයි. 

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ රත්නපුර දිස්ත්‍රික් සමුළුව අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේය.    

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ මන්ත්‍රි ධුර ආරක්ෂා වී තිබෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ඉදිරිපත් කළ ලිපිය හේතුවෙන් බව ඇතැම් පිරිසකට අමතක වීම පිළිබඳ තමා කණගාටුවන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

එම වීඩියෝව පහතින්,

Page 1 of 15