January 23, 2020

ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝණය කළ බවට චෝදනා කර ඇති පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට තවදුරටත්  නීතිපතිවරයා පෙනී නොසිටින බවට අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට නිල වශයෙන් දැනුම් දුන්නේය.

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට පියවර නොගැනීම හේතුවෙන් මොවුනට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ අතිරේක සොලිස්ටර් ජනරාල් ෆර්සානා ජමීල් මහත්මිය අධිකරණයට දන්වා සිටියාය.

එසේම වගඋත්තරකරුවන්ට විරෝධතා  ගොනු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය කල් ලබා දුන්නේය.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා සහ හිටපු අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පෞද්ගලික නීතිඥවරු දෙදෙනෙක් අද (20) අධිකරණය හමුවේ පෙනී සිටියහ.

ඒ අනුව විරෝධතා තිබේ නම් ඒවා මාර්තු මස 6 වැනි දා ට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

පසුව පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය මැයි මස 12, 13 සහ 14 යන දිනවලට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළේය.

මෙම පෙත්සම් අද (20) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී.බී. දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්ම මහත්මීහු මෙම විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූහ.

ශ්‍රී ලංකා නිදහස් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්කිරීමට ශක්තියක් වූ බවත් ජනාධිපතිධුරයේ සිටි තමන්ට වූ දේ  ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදුව ඇති බවත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ අනුව පාර්ලිමේන්තු බලය ලබා ගැනීමට එක්ව තරග කරන බවත් ඔහු පොලොන්නරුව හිගුරක්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පවසා සිටියේය.

“මම පාර්ලිමේන්තුවට ගිහින් මේ දක්වා වසර තිහක් ජනාධිපති ධුරයත් එක්ක. මේ දිස්ත්‍රික්කයට රැකි රක්ෂා තිස් දාහකට වැඩිය දීලා තිබෙනවා. ඒ කරපු කැප කිරීම් එක්ක අද වර්තමාන දේශපාලන තත්ත්වයත් එක්ක තමුන් නන්සේලා අපි හෙට දවසේ කුමක් කළ යුතුද කියන කාරණාව අවධානයට ගන්න  ඕනේ. 16දා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ජයග්‍රහණය කළ. එකට අපි සියලු දෙනා කැප වුණා. සහයෝගය දුන්නා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට පොහොට්ටුව නැත්නම් පොදු ජන පෙරමුණත් එක්ක අපි ගිවිසුම් අත්සන් කළා. ඔහුගේ ජයග්‍රහණයට අපි වැඩ කරනවා කියලා.ඒ වගේම අපි වැඩ කළා. අපි 2018 පළාත් පාලන මැතිවරණයේදී ගත්ත ඡන්ද ලක්ෂ දහහතට  වැඩි ගණනක් ගෝඨාභය මහත්තයා ජයග්‍රහණය පැහැදිලි ලෙසම ශක්තියක් වුණා. සමහර අය ඒව කියන්නේ නෑ, නමුත් දේශපාලන ව්‍යාපාරයකදී රටක් ගොඩ නගන්න සන්ධාන පෙරමුණු සංකල්පය තමයි ඉතාම වැදගත් වෙන්නේ. ඒ කියන්නේ රටට ආදරය කරන හැම කෙනෙක්ම එකට එකතු වෙලා හදන ආණ්ඩුවක් එක තමයි එකේ සරල අදහස."

"මාර්තු මාසයේ තුන්වැනිදා පාර්ලිමේන්තුව විසිරෙනවා. අප්‍රේල් මාසේ අන්තිමේ පාර්ලිමේන්තු මැතිවරණය තියෙනවා. අපි එකට එකතුවෙලා හදලා තිබෙන ගිවිසුම් අනුව අපි සියලු දෙනාම ඒ මැතිවරණය එකට තරග කරනවා. අද ගෝඨාබය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බලයක් නෑ. මම ජනාධිපතිධුරයේ ඉදලා අවේ එතුමාටත් වෙලා තියෙන්නේ මට වෙච්ච දේ. මම ජනාධිපති වෙච්ච වෙලාවේ පාර්ලිමේන්තු බලය මට නෙමෙයි තිබුණේ. මහින්ද රාජපක්ෂ මහත්තයාට 142 ක් තිබුණා. පාර්ලිමේන්තුවේ මම රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කළා. එයාට 47 යි තිබුණේ. නමුත් ඒ පළවෙනි අවුරුද්දේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා 2015 අගෝස්තු මහා මැතිවරණය එනකම් මට සහයෝගය දුන්න. ඒ නිසා අවශ්‍ය අනපනත් රාශියක් පාර්ලිමේතුවේ තුනෙන් දෙකේ බලයෙන් සම්මත කරන්න පුළුවන් වුණා. දැන් අද ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පාර්ලිමේන්තුවේ බලයක් නෑ. ඒ නිසා එතුමාට වැඩ කරන්න අලුත් පාරිමේන්තු බලයක් දෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි මේ එකට එකතු වෙලා වැඩ කරන්නේ. අප්‍රේල් මාසයේ පවත්වන මැතිවරණයේදී අපි වැඩි බලයක් අරගෙන තුනෙන් දෙක වැඩි බලයක් පෙන්වන්න ජයග්‍රහණය කරන්න ඕනේ.”

රටේ විධායක ජනාධිපතිවරයා වශයෙන් සිටියදීත් පොලොන්නරුව දිස්ත්‍රික්කයට කිසිදු වැදගත් සේවයක් ඉටු නොකළ මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කෙසේ නම් ජනතාවට සේවය කරන්නද යන ප්‍රශ්නය මතුවන බව අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. 

"අපි පක්ෂ හැදුවොත් පාරක් පාරක් ගාණේ ඇවිද්දනවයි කියලා මෛත්‍රීපාල සිරිසේන, එදා හිටපු ජනාධිපතිවරයා තර්ජනය කරද්දිත් අපෙ බැසිල් රාජපක්ෂ මැතිතුමා හිරගෙදර ඉඳන් තමයි පක්ෂයේ ප්‍රතිපත්ති හදලා අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිකෙරුවේ. පොලොන්නරුවේ විශාල වැඩකොටසක් තියෙනවා කරන්න. පොලොන්නරුවට වෙච්චි දෙයක් නෑ ගිනිපෙට්ටි වගේ ගොඩනැගිලි ටිකක් හැදුණ මිසක් කිසිදු ජාතික වැඩපිළිවෙලක් ආවෙ නෑ පහුගිය කාලෙ. ඒ නිසා ජනාධිපතිවරයෙක් බිහිවුණාට විශ්ව විද්‍යාලයක්, අධිවේගී මාර්ගයක්, අඩුගාණේ වකුගඩු රෝගයෙන් පෙළෙන දිස්ත්‍රික්කයට පානීය ජලයෝජනා ක්‍රමයක්, අද දරුවෝ ගේට්ටුවෙ එල්ලිලා ඉන්නවා පාසල් මදිව, අඩුගාණෙ පාසලක්, ප්‍රධාන රෝහල් ටික, නගර ටික සංවර්ධනය කිරීමක්. කිසිදු ආකාරයකින් දියුණු කරගන්න එදා ජනාධිපතිවරයා විදියට පත් වෙලාත් එතුමාට බැරිවුණා. ඒ නිසා ජනාධිපති වෙලාත් පොලොන්නරුවට කරන්න බැරිවුණු එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලා මොනවා කරන්නද කියන එක ප්‍රශ්නාර්ථයක්.  ඒ හින්දා මේක පොලොන්නරුවෙත් රටේත් ජනතාව අවවෝධ කරගනී කියන එක තමයි මට නම් කියන්න තියෙන්නෙ. නිකම් මැතිවරණවලට ඇවිල්ලා, කඳුළු කතා කියලා, මිනිස්සු මුලා කරන්න හදයි, ඒවගෙදි රැවටෙන්න එපා කියන ඉල්ලීම විශේෂයෙන්ම කරනවා."

මේ මැතිවරණයට අපි යන්නෙ පොහොට්ටුව ලකුණින්. පක්ෂ හැදුවොත් පාරක් පාරක් ගානෙ ඇවිද්දවනවා කියපු අයට පොහොට්ටුවෙන් තරග කරන්න සදාචාරයක් තියෙනවද කියන ප්‍රශ්නෙත් මට තියෙනවා" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය. 

රොෂාන් රණසිංහ අමාත්‍යවරයා මේ බව පැවසුවේ මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මහමැතිවරණය සඳහා පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරගවදින බවට වූ පුවතට ප්‍රතිචාර දක්වමින් ස්වර්ණවාහිනී නාලිකාව වෙත ප්‍රකාශයක් ලබා දෙමිනි. 

මහ මැතිවරණය සඳහා හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයකු ලෙස තරඟවදින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ (17) පැවසීය.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැති සාකච්ඡාවකදී  අමාත්‍යවරයා මේ බව පැවසීය.
 
මෙවර සෑම  දිස්ත්‍රික්කයක් සඳහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයින් ඉදිරිපත් කරන අතර ඔවුන් සඳහා මේ වන විට ආචාර ධර්ම පද්ධතියක් සකස් කර ඇතැයි ඒ මහතා කීය.
 
ඉදිරි මැතිවරණයට තරග කිරීම සඳහා  උගතුන් බුද්ධිමතුන්  සිය ගණනකගේ අයදුම්පත් ලැබී ඇති බවත්  එහි ජ්‍යෙෂ්ඨ උපදේශක රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ සභාපතීත්වයෙන් යුත් මණ්ඩලයක්  සුදුස්සන් තේරීම ආරම්භ කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය. 

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ තවත් හඬ පටයක් නිකුත් වී ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේන මහතා විසින් ඔහුට හිතවත් පොලිසියේ නිලධාරීන් ඉහල තනතුරුවලට පත් කිරීම සඳහා බලපෑම් කල අයුරු රංජන් රාමනායක මහතා සමග රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා එම හඬ පටයේ සාකච්චා කරයි.

දහම් සිරිසේන මහතා තම පියා වූ හිටපු ජනාධිපති වරයාගේ බලතල ද ගෙන හිතවත් පොලිස් නිලධාරියෙකු ඉහළ තනතුරකට යොමුකර ඇති බව එම සාකච්චාවේදී ශානි අබේසේකර මහතා සදහන් කලේය.

නගරයක් සංවර්ධනය කිරීමේදී රජයේ සහා පළාත් සභාවේ සහයෝගය අවශ්‍ය බවත් ඒ අනුව නව රජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  සහාය පොළොන්නරුව නගරය ඉදිරියටත් සංවර්ධනය කිරීමට අවශ්‍ය බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

පොළොන්නරුව මහානගර සභාවේ හිටපු උපනගරාධිපති එම්.අයි.එම් අරෆා මහතා අභාවප්‍රාප්ත වීමෙන් ඇති වූ පුරප්පාඩුවේ ධුරයට පත්  නව මහානගර සභාවේ උපසභාපති ලෙස පත් වූ රංජිත් ගම්ලත් මහතාගේ වැඩ භාර ගැනීමේ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු ජනාධිපතිවරයා,

“දීර්ඝ කාලයක් නගරයක් වශයෙන් පැවතුනත් නගර සභාවක් විදිහට පත් වුණේ  නෑ.  ඒ නිසා මට පුළුවන් කම ලබුණා  පසුගිය කාලයේ පොළොන්නරුව ප්‍රාදේශීය සභාවක් විදිහට තිබුණ දේ මහානගර සභාවක් විදිහට පත් කරන්න. එවගේම  පොළොන්නරුව ප්‍රාදේශීය සභාවක් විදිහට අලුත් බල ප්‍රදේශයක් නම් කරනු ලැබුවා. මහානගර සභාවක් වූ විට සංවර්ධනයේදී දිය යුතු ප්‍රමුඛත්වයේදී නගරාධිපතිතුමත් නියෝජ්‍ය නගරාධිපතිතුමත්,ඇතුළුව පක්ෂ භේදයකින් තොරව  මනිත්‍රීවරුන්  සෑම කෙනෙකුටම විශාල වගකීමක් තියෙනවා නගරයේ සංවර්ධනයට ප්‍රමුඛත්වය නායකත්වය දෙන්න. අද නගර සංවර්ධනයේදී ජනතාව බලන ප්‍රධාන දෙයක් තමයි පිරිසිදුකම, පවිත්‍රකම ,සනීපාරක්ෂාව.  ඒ  වගේම අනෙකුත් නගරයක් විදිහට සැලසුම් සහගතව කෙරෙන සංවර්ධන කටයුතු. ඒ  අනුව මම සතුටු වෙනවා මේ කෙටි කාලයක් තුළ  පොළොන්නරුව මහානගර සභාවක් විදිහට පත් කරලා  තමන්ගේ වගකීම් ඒ විදිහට ඉටු කරගෙන යයි කියලා. අපිට නගර සභාවක් විදිහට ප්‍රාදේශීය  සභාවක් විදිහට රජය සමග දැඩි සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම අවශ්‍යයි. මොකද මුලික වශයෙන් පිරිසිදු කිරීම් හා අවශ්‍ය යන්ත්‍ර සුත්‍ර අඩුපාඩුකම් තිබෙනවා. එක නිසා නගරය  සංවර්ධනයේදී මුලික වශයෙන් අවශ්‍ය සම්පත් ලබා ගෙනම පළාත් සභාවත් රජයත් සමග මුලික සම්බන්ධතාවය පවත්වාගන යාම අවශ්‍යයි."

"ඒ නිසා මම විශ්වාස කරනවා නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතාගේ රජය තුළ  පළාත් සභාවේත් රජයේත් සහයෝගය ලබා ගෙන මේ නගරය ඉදිරියට සංවර්ධනය කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා ගැනීම නගරාධිපති තුමා සහා මන්ත්‍රී මණ්ඩලය අදාළ ආයතන හා සංස්ථා සමග පොළොන්නරුවෙන් පිට පළාත් සභාව වේවා රෙකිය අමාත්‍යංශ වේවා  ඒ ආයතන සමග හොඳ සබදතාවයක් තිබිය යුතුය. නගරයේ ජනතාවගේ සුභ සිද්ධිය සංවර්ධනය සදහා පසුගිය කාලය තුළ  නව පරිවර්තනයක් පොළොන්නරුවේ ඇති කළා කියලා ඔබ දන්නවා. මම ජනාධිපති වුණ  නිසයි මේ වගේ සුවිශේෂී දෙයක්  කිරීමට හැකියාව ලැබුණේ.  දැන් පොළොන්නරුව නව කෞතුකාගාරය එතන බස් වාහන රාශියක් නවත්වලා තිබෙනවා. අද පොළොන්නරුව පැමිණෙනවා  නටබුන් බලන්න වගේම පිරිසක් මේ කෞතුකාගාරය බලන්න. මම එක මගේ අස් දෙකට දැක්ක දෙයක්.  ඒවා අපිට ලැබුණු සම්පත්.  ඒවා ආරක්ෂා කරන්න ඕනේ. වැඩිදියුණු කරන්න ඕනේ. හොඳින් නඩත්තු කරන්න ඕනේ. එක නගර සභාවේ මුලික වගකීමක් වෙනවා. නගරාධිපති නියෝජ්‍ය නගරාධිපති ඇතුළුව පක්ෂ විපක්ෂ මන්ත්‍රී මණ්ඩලය  එකමුතුව වැඩ කරද්දී තමයි නගරය සංවර්ධනය කරන්න හැකි වෙන්නේ . ඒ නිසා මා සතුටු වෙනවා මේ දක්වා පොළොන්නරුව නගරසභාව ආ ගමන පිළිබඳව” යැයි මෛත්‍රීපාල මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා මෙන්ම හිටපු ජනාධිපතිවරයාද වන මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව පොදුජන පෙරමුණ පොළොන්නරුවේ දී දැවැන්ත වාග් ප්‍රහාරයක් එල්ල කරන ලදී.

පොදුජන පෙරමුණ වෙනුවෙන් එම වාග් ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ පොළොන්නරු දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසිනි.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයාව සිටියදී රොෂාන් රණසිංහ මහතාට එරෙහිව දැඩි පිළිවෙතක් අනුගමනය කළ අතර රණසිංහ මහතා අත්අඩංගුවට පත්කිරීම සඳහා කීප වතාවක්ම උත්සාහ ගන්නා ලදී.

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමට කුමන්ත්‍රණය කළ පිරිස් වලට එළඹෙන මහ මැතිවරණයේදී ලකුණ තීරණය කිරීමට ඉඩ නොදෙන බවද රණසිංහ මහතා එහිදී සඳහන් කළේය.

ඔහු මෙහිදී සෘජුවම චෝදනාව එල්ල කරන ලද්දේ මෛත්‍රිපාල සිරිසේන මහතා ඉලක්ක කරගෙනය.

අස්ගිරිය ප්‍රදේශයේ පැවති ව්‍යාපාරික හමුවකට සහභාගී වෙමින් රණසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්විමින් ඒ මහතා මෙසේ කියා සිටියේය.

"එහාට මෙහාට පනින අය නෙවෙයි පාර්ලිමේන්තුවට ගේන්න ඕනේ. සිරිසේන මහත්තයා කියනවා තුනෙන් දෙකක් අරගෙන හයිය දෙන්න උදවු කරනවාලු. ඕක එතුමාට මතක් වෙන්න තිබ්බෙ 2015 දී. මේ රටේ මිනිස්සු මැරිලා ඉපදිලා නෑ. ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා එක එකතු වෙනකොට අපිත් හිතුවා ජනාධිපතිවරණයේ දී සියයට 70 අනිවාර්යයෙන් පනියි කියලා. ශ්‍රී ලංකා එක එකතු වෙන්නේ නෑ කියලා හිටියානම් මම ශ්‍රී ලංකා එකේ අති බහුතරයක් අරගෙන. ඒ වෙලාවේ ශ්‍රී ලංකා එක සත් භාවයෙන් සහයෝගය දෙයි කියලා හිතනකොට නැවත කුමන්‍ත්‍රණයක් වුණා. පේෂල ජයරත්නත් එක්ක සමහරු ඒක අනිත් පැත්තට හරවද්දි පොළොන්නරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රටට ආදරය කරන පිරිසක් මහින්ද රාජපක්ෂට ඡන්දේ දීලා සහයෝගය දැක්වුවා."

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීළඟ මහ මැතිවරණයට පෙර එක්සත් ජාතික නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දිමට සුදානම් බව ඒෂියන් මිරර් වෙත වාර්තා වේ. 

මෛත්‍රිපාල සිරිසේන මහතා එජනිස ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්.ෆවුසි මහතාගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මෙසේ දිවුරුම් දීමට නියමිත බවද වාර්තා වේ. 

ඒ.එච්.එම්.ෆවුසි මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩ කළ බවට තීන්දු කොට ඔහුව මන්ත්‍රී ධුරයෙන් නෙරපා තිබේ.

ශ්‍රී ලංකාවේ විෂ මත්ද්‍රව්‍ය පාලනය කිරීම වෙනුවෙන් තම ආණ්ඩුව ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ නව ආණ්ඩුව විසින්ද ඉදිරියට ගෙනි යනු ඇතැයි තමන් විශ්වාස කරන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

ඛෙත්තාරම ප්‍රදේශයේ පැවැති වැඩසටහනක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

“රටට නව නායකයෙක් අලුත් කෙනෙක්  ලැබුණාම ඒ අලුත් ආණ්ඩුවට හා නායකයාට සියලු දෙනාම සහාය දෙන්න ඕන. මේ රටේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නය දුප්පත්කම, දුගී භාවය. රටේ දුප්පත්කම නැති කරන්න අලුත් ජනපතිතුමාට අපි සෑම දෙනාම සහාය දෙන්න ඕන. ඒක ජනාධිපතිතුමාට විතරක් තනියෙන්න කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අගමැතිතුමාට හා ඇමති මණ්ඩලයට තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. රටේ සෑම කෙනෙක්ම සහාය දෙන්න ඕන. විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන්. මේ රටේ ලක්ෂ 12කට වැඩිය ඉන්නවා. අලුත් ආණ්ඩුවක අලුත් වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියන්න. ප්‍රධාන වශයෙන්ම කොළඹ නගරය ගත්තත් අපිට තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි විෂ මත්ද්‍රව්‍ය. අලුත් ආණ්ඩුව මත්ද්‍රව්‍ය මර්දනය සඳහා මම ගෙන ගිය වැඩපිළිවෙළ ශක්තිමත් කරයි කියලා මම විශ්වාසකරනවා”

ඉදිරි මහමැතිවරණයට පොලොන්නරුව දිස්ති‍්‍රක්කයෙන් තරග කරන ලෙස හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කර ඇතැයි  තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා කොළඹදී ඊයේ (6) පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස ඔහු දේශපාලන දහරාවේ සිටිය යුතුම බව පක්ෂයේ ස්ථාවරය වී ඇති බවත් සුමතිපාල මහතා සඳහන් කළේය.

පුංචිබොරැල්ලේ පිහිටි තිලංග සුමතිපාල මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපකෂ මහතා විශිෂ්ඨ ලෙස ජයගත් ආකාරයෙන්ම ඉදිරි මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සන්ධානගතව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලබන බවත් සුමතිපාල මහතා වැඩිදුරටත් පැවසීය.

Page 1 of 6