May 27, 2020

එක්සත් ජාතික පක්ෂයේ කුමන්ත්‍රණකාරී නායකයින්ගේ නිරුවත මේ වන විට හෙළිවෙන්නට පටන් ගෙන ඇති  බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසයි.

කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරීනිය විසින් දුන් කටඋත්තරය වෙනස් කථාවක් එම නිලධාරීනිය විසින් කියන්නට ගෙන ඇති බව මන්ත්‍රීවරයා පැවසීය.

එමෙන්ම ස්විස් තානාපති කාර්යාලයේ සිද්ධිය සම්බන්යෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා විසින් වෙනත් කථාවක් කියන බවත් ස්විස් තානාපති කාර්යාලයෙන් තවත් කථාවක් කියන බවත් පියල් නිශාන්ත මහතා පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා මෙහිදී  පවසා සිටියේ මෙම කථා සියල්ල ගොතමින් කුමන්ත්‍රණකාරී ලෙස රජය සහ රට අපකීර්තියට පත් කිරීම සඳහා කටයුතු කරන බවට තේරුම් යන බවයි.

එමෙන්ම මෙම කුමන්ත්‍රණයේ සුලමුල රජය විසින් සොයා ගෙන මේ කුමන්ත්‍රණයට සම්බන්ධ අයට නීතිය ක්‍රියාත්ම කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා වැඩිදුරටත් පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ නායකයන් ඇතුළු සියලු දෙනාට අද වන විට දිට්ඨධම්මවේදනීය කර්මය පඩිසන් දී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිෂාන්ත මහතා පවසයි.

පසුගිය මැතිවරණ සමයේ මෙන්ම ඊට පෙර සිටම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකයන්ට සහ විශේෂයෙන් රාජපක්ෂ පවුලේ පිරිසට නින්දා අපහස කරමින් කළ අකටයුතුකම්වලට මෙලෙස දඬුවම් ලැබි ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

අද වන විට එක්සත් ජාතික පක්ෂයට විපක්ෂ නායකයා තොර ගැනීමට නොහැකිව පක්ෂය තුල බෙදීම් ඇති ව ඇති බවත් නිවැරදි නායකත්වයක් නොමැති බවත් ඒ මහතා පෙන්වා දෙයි.

පසුගිය මැතිවරණයෙදි විපක්ෂ නායක ධූරය මහින්ද රාජපක්ෂ මහතාට හො ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයෙකුට ලබා දීමට හැකියාව පැවතුනත් විපක්ෂ නායක ධුරය දෙමළ ජාතික සංධානයේ නායක ආර් සම්බන්ධන මහතාට ලබා දුන් බවත් එම නිසා වර්තමානයේ එයට ප්‍රතිවිපාක විඳින බවද පියල් නිශාන්ත මහතා පවසයි.

එයට පිලිතුරු සපයමින් වර්ථමානයේ රටට නිවැරදි නායකයෙක් මෙන්ම  යහපත් අග්‍රාමාත්‍යවරයෙක්ද ලැබි ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

බොම්බයක් අත්හදා බැලීමකදී තුවාල ලැබූ සහරාන් හෂීම්ගේ සොහොයුරා පෞද්ගලික රෝහලකින් රජයේ රෝහලක් වෙත මාරු කිරීමට අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ සහාය ලැබී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පැවැසීය.

ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව  පැවැසීය.

සහරාන්ගේ සොහොයුරාද පසුව කාන්තාන්කුඩියේදි මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය.

“අපි පැහැදිලිවම දන්නවා සහරාන්ගේ මල්ලි කරළියට එන්නේ බෝම්බ පිපිරීම් සිද්ධියක් එක්කයි. බෝම්බ පිපිරීමකදී පෞද්ගලික රෝහලකින් මේ පුද්ගලයා ප‍්‍රතිකාර ගන්නවා.   පසුව දේශපාලනඥයකුගේ මැදිහත්වීම මත රජයේ රෝහලකට මාරුකර යවනවා. අද රවුෆ් හකීම් කියන්නේ එවැනි පුද්ගලයෝ මාත් එක්ක  ඕන තරම් කතා කරනවා කියලයි. අපි අහන්නේ සහරාන්ගේ මල්ලිට  රෝහල් ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා උදව් කිරීමට තරම් හකීම් ඇමැතිවරයාට ඒ අයත් එක්ක පැවැති  සම්බන්ධය කුමක්ද කියලයි.”

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරන්නේ අවුරුදු හතර හමාරක් පුරා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා වුණේ තමන් බව අමතක වූවෙකු ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී සිය අදහස් දක්විමන් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු පියල් නිශාන්ත මහතා මෙසේ පැවසීය.

"අද රටේ ජනතාව කල්පනා කරනවා සජිත් ප්‍රේමදාස කෝමා රෝගයට ගොදුරු වෙලා හිටපු කෙනෙක්ද කියලා. සමහර වෙලාවට කතා කරන්නේ ඔහු කතා කරන්නේ කෝමා එකක ඉඳලා දැන් ප්‍රකෘති තත්ත්වයට පත් වුණා වගේ. අවුරුදු හතර හමාරක් පුරා රනිල්ගේ නියෝජ්‍ය නායකයා වුණේ සජිත් කියන එක අද  අමතක වෙලා. අද කතා කරන්නේ නින්දෙන් නැගිට්ට කෙනෙක් වගේ. අද රටේ ආර්ථීක අර්බුදය ඇති වෙන්න මූලික හේතුවක් වුනේ බැඳුම්කර මංකොල්ලයයි. බැඳුම්කර මංකොල්ලය සිදු වෙනකොට  සජිත් සිටියේ මේ කැබිනට් එකේ. මත්තල ගුවන්තොටුපල වී ගබඩාවක් කරන කොටත් සජිත් හිටියේ මේ කැබිනට් එකේ. සංඝයා වහන්සේලා හිරේ දානකොට බුද්ධි අංශ හිරේ දානකොට සජිත් හිටියේ මේ කැබිනට් එකේ. ත්‍රස්ත වාදීන්ට වන්දි ගෙවනපනතට අත උස්සනකොට එතුමා හිටියේ මේ කැබිනට් එකේ.මේ රටේ ආර්ථීකයේ වර්ධන වේගය 1.6 ක් දක්වා පහත වැටුනේ එතුමාගේ කාලයේ කියලා එතුමාට මතක නැහැ. මේ වෙනකොට සජිත් ප්‍රේමදාස වේදිකාවල කියනවා කාබන් බද්ද ඉවත් කරනවා කියලා. කාබන් බද්ද පැනෙව්වෙත් එතුමාගේ ආණ්ඩුව කාලේ කියලා එතුමාට අමතක වෙලා. මම අහනවා සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන් එතුමා ජනාධිපති වුණාම අගමැති කවුද කියලා.එතුමා හැම විටම කියන්නේමේක අගමැති තෝරන මැතිවරණයක් නෙමෙයි කියලා. හැබැයි ගෝල්ෆෙස් පිටියේ දී එතුමාට පරණ පුරුදු මතක් උනා. ඒ නිසා උසම උස කෙනාට සිකියුරිටි ඇමතිකම දෙනවා කියලා  එතුමා ප්‍රකාශ කළා."

"මම හිතනවා එතුමා මෙහෙම ගියොත් එතුමාගේ ආණ්ඩුවේ පොඩිම පොඩි මන්ත්‍රී කෙනෙක් වෙන බුද්ධික පතිරණට කම්කරු ඇමතිකම දෙයි කියලා.විකාර දොඩවන සිහින කැබිනට් මණ්ඩලයක් මවාගත්ත ජනාධිපති කෙනෙක් රටට වැඩක් නැහැ. ඊයේ පෙරේදා රත්නපුරේ පැත්තේ සමනල පැටියෙක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට අභූත චෝදනා  එල්ල කළා මම එතුමාට කියනවා තාම එතුමාට එතුමා ගැනවත් අවබෝධයක් නැහැ කියලා. සමනල පැටියෙක් වුණාට එතුමා හිතාගෙන ඉන්නේ එතුමා උකුස්සෙක් හරි රාජාලියෙක් හරි කියලයි. මම කියන්නෙ තමන්ගේ තත්ත්වය පිළිබඳව අවබෝධයෙන් කතා කරන්න කියලා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බේරුවල සංවිධායකවරයා අම්ජාඩ් මහත්තයා එජාපයට සම්බන්ධ වුණා කියලා පසුගියදා බරපතළ රඟපෑමක් සිදු කළා. ඒ මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කළේ 2019 ජුනි මාසෙ එකොළොස්  වෙනිදා. එදා ඉඳලා බේරුවල සංවිධායකමේ සුගත් මතුනමගේ කියන මහත්තයා. මම  කියනවා මේ වගේ රඟපෑම් කරන්න පුලූවන්නම් මතුනමගේ මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභාවේ හය දෙනාම  පුලූවන්නම් අරගෙන පෙන්නන්න කියලා. මේ අය ඉන්නේ අපිත් එක්කය. මේ අයත් එක්ක ඉතාම ඉක්මනට මම මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනවා. අම්ජාඩ් මහත්තයා  රාජිතගේ අතකොළුවක් වුණේ මීට ගොඩක් කාලෙකට කලින්. බොරු මාධ්‍ය සන්දර්ශන නැතුව පුලූවන්නම් බේරුවල දිනල පෙන්නන්න කියලා මම මේ අයට කියන්න කැමතියි."

 

මුළු රටම අර්බුදයට ලක් කරපු එක්සත් ජාතික පක්ෂය අද අර්බුදයට ලක් වි ඇති බවත් , එය එක්සත් ජාතික පක්ෂයට දිට්ඨධම්මවේදනීය කර්මය පරිසම් දිමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසයි.

අද කොළඹ පැවති රැස්විමකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා,             

"රට ගොඩනඟනවා කියලා බොරු කියලා බලයට ආපු එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ ආණ්ඩුව අපේ රටේ දේශපාලන සමාජීය සහ ආර්ථික වශයෙන් අර්බුදයට ලක් කලා. අද එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධානතම ගැටලූව වෙලා තියෙන්නේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමයි. සජිත් රනිල් කරු නවීන් රාජිත  සියලූ දෙනා ජනාධිපති අපේක්ෂක තරගයට පොර බදනවා.මේ සියලූ දෙනාගෙන් කුමන අපේක්ෂකයා ආවත් ඔහු පරාජය කරන්න පුළුවන් දක්ෂ අපේක්ෂකයෙක්  අපි ඉදිරිපත් කර තිබෙනවා. අද වෙනකොට එක්සත් ජාතික පක්ෂය කෑලි කෑලි විසිරිලා ඉවරයි එම පක්ෂය තව වසර ගණනාවකට ගොඩගන්න බැහැ. ඉදිරි ජනාධිපතිවරණය සඳහා තව තියෙන්නේ දින 89. නාම යෝජනා භාරදීම සඳහා තව දින පනස් නවයක් තිබෙනවා. ඔය අතරේ අමාත්‍යාංශ  තුනක කිසිම විළිලැජ්ජාවක් නැතුව අහිංසක ජනතාවගේ මුදල් නාස්ති කරමින් තිබෙනවා.  සජිත් පේ‍්‍රමදාස පාඨලී චම්පික රණවක රාජිත සේනාරත්න යන අයගේ අමාත්‍යාංශවල ඉතාමත්ම නරක ආකාරයෙන්  ජනතාවගේ  මුදල් නාස්ති කරනවා. ජනාධිපති අපේක්ෂක  වේයැයි සිතා ගෙන තම තමන්ගේ ප‍්‍රතිරූපය  නැංවීම සඳහා මේ මුදල් විවිධ ප‍්‍රචාරක කටයුතු සඳහා වැය කරනවා."

"මම මේ අමාත්‍යාංශවල මුදල් සම්බන්ධ සියලුම නිලධාරීන්ට කියන්න කැමතියි තව දවස් 89කින් බන්ධනාගාර ගත වෙන්න සූදානමින් ඉන්නේ කියලා. රාජිත සේනාරත්න ඇමතිතුමා අධි මානසිකත්වයකින් මේ දවස් වල විවිධ පුරාජේරු කථා කියමින් ඉන්නවා. මම එතුමාට අභියෝග කරනවා රට දිනවන්න කතා කරන්න කලින් පුළුවන් නම් බේරුවල ආසනය දිනා ගන්න කියලා. අද බේරුවල ප‍්‍රදේශයේ තිබෙන තත්ත්වය හැමදෙනාම දන්නවා. මුස්ලිම් සහ සිංහල ජනතාව මේ ආණ්ඩුව පළවා හරින්නේ කොයි විනාඩියෙ ද කියලයි බලාගෙන ඉන්නේ. අකිල විරාජ් කාරියවසම් කියන්නේ අධ්‍යාපනයට ලැබුණු විකෘති ම අමාත්‍යවරයායි. අපේ අතීතයේ අධ්‍යාපන ඇමතිවරු කොයිතරම් වැඩ කොටසක් සිදු කළාද කියලා අපි දන්නවා. සී ඩබ්ලිව් ඩබ්ලිව් කරනංගර මහත්තයා නිදහස් අධ්‍යාපනය ලබා දුන්නා. ලලිත් ඇතුලත්මුදලි මහපොළ ශිෂ්‍යත්වය සම්බන්ධයෙන් සුවිශේෂී වැඩ කොටසක් කළා. රිචඞ් පතිරණ කියන්නේ කීර්තිමත් අධ්‍යාපන අමාත්‍යවරයෙක්. බන්දුල ගුණවර්ධන මහතා ගමට තාක්ෂණය ගෙන ගියා. නමුත් අකිල විරාජ් කාරියවසම් කියන මේ විකෘති ඇමතිවරයා යටතේ වැඩියෙන් බදු ගෙවන අයගේ ළමයින්ට ජාතික පාසල් දෙනවා කියලා කියනවා. එතකොට පාසල අවට ඉන්න අහිංසක දෙමාපියන්ගෙන් දරුවන්ට කාගේ පිහිටක්ද ලැබෙන්නේ" යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කුමන සන්ධානයකින් තරඟ කළ ද එක්සත් ජාතික පක්ෂයට ඉදිරි මැතිවරණ කිසිවක් ජයගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසයි.

කළුතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී පියල් නිශාන්ත මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.

කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කළේ ජනතාව යළිත් පෙර පැවති පාලනයක් රටේ ඇති කිරීමට සහය ලබා නොදෙන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයට ඒකාබද්ධ කිරීම සඳහා නිදහස් පක්ෂයේ ඇතැම් පුද්ගලයින් උත්සාහ කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසයි

අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකදී මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ඇති අර්බුධය තුළින් රටම අර්බුධයකට ඇඳ දමා ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි පියල් නිශාන්ත මහතා පවසයි.

පිටිපන පැවති පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කර සිටියේය.

මෙම අවස්ථාවේ දී එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් පොදුජන පෙරමුණේ පාක්ෂිකත්වය ලබාගෙන ඇත.

එම අවස්ථාවේ දී සිය අදහස් දක්වමින් පියල් නිශාන්ත මහතා ප්‍රකාශ කර සිටියේ එක්සත් ජාතික පක්ෂය වැටෙන සියළු අවස්ථාවලදී නැවත නැගිටවීම සිදු කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින් බවයි.

රජයට එරෙහිවන ඕනෑම අවස්ථාවක කුමන පක්ෂයකට වුවද සහය දැක්වීමට පොදුජන පෙරමුණ සූදානමින් සිටි බැවින් ජවිපය ගෙනා විශ්වාසභංගයට සහාය දැක්වු බවත් කෙසේ නමුත් විශ්වාසභංගය පරාජය වු පසු එම පක්ෂයේ අනුර කුමාර මහතා වියරු වැටී ඇති බවත් පියල් නිශාන්ත මහතා ප්‍රකාශ කළේය.

එජාපය සමඟ එක්වී තමන්ට අහිමි දේශපාලන වරප්‍රසාද භුක්ති විදින පක්ෂයක් බවට ජනතා විමුක්ති පෙරමුණ පත්ව ඇති බවත් ඔහු පැවසීය.

අගමැති විවේචනය කර මහින්ද පරදවන්න කුමන්ත්‍රණය කරන දෙබිඩි පිළිවෙතක් ජවිපෙට ඇති බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

අනිවාර්ය නිවාඩු යැවු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට දිට්ඨධම්මවේදනීය කර්මයක් විපාක දී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා ප්‍රකාශ කරයි.

අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැඳවු මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. 

"පූජිත පොලිස්පතිවරයා ලෙස වැඩ භාර ගනිද්දී රාජපක්ෂවරුන්ට ජම්පර් අන්දවන්න සූදානම් වුණේ. පූජිතට හෙට අනිද්දා වෙනකොට ජම්පරය අඳින්න වෙනවා." 

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කිරීම පිළිබඳ සියලු කරුණු නිරාකරණය වී ඇති බව මෙම අවස්ථාවේ අදහස් දැක්වු රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති වැය ශීර්ෂය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සිදු වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ තිරපිටපතකට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම රඟදැක්වීමක් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසා සිටියි.

ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. 

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය නිසැක ලෙසම පරාජය කරනවායැයි පැවසූ පසුපෙළ මන්ත්‍රීවරුන් එසේ සිදු නොකළේ අදාල තිර පිටපත රනිල් වික්‍රමසිංහ මහතාගේ හේතුවෙන් බවත් එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේය.