June 19, 2019

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුම පුද්ගලයා බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

මීගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරණය තව මාස නවයකින් පැවැත්වීමට නියමිත බව ඒ මහතා පැවසීය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට පසුව ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට සුදුසුම නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් ඔහු වැඩක් කර පෙන්වූ නායකයෙක් බවත් කතා පමණක් පැවැත්වූ නායකයෙක් නොවන බවත් පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය යටතේ ත්‍රිවිද හමුදාවම කළමනාකරණය කර ගනිමින් ත්‍රස්තවාදය තුරන්කළ නායකයෙක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කලේය.

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයක් ගොඩනැගුවද ජනාධිපති අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතා පිළිගන්නා පුද්ගලයෙකු ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුතු  බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරන බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා වනවාට මහින්ද රාජපක්ෂ මහතා විරෝධය පළකර නොමැති බවත් ඊයේ (10) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයාට සටහනක් දිය හැකි එකම නායකයා මෛත්‍රීපාල සිරිසේන මහතා පමණක් වන බවත්, දෙකට තුනට බෙදී වෙන්වී කටයුතු කළහොත් ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයාට ඒ තුළින් වාසි අත්විය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.