April 06, 2020

කොරෝනා වෛරසය බ්‍රිතාන්‍ය තුළ දැඩි අර්බුද ගණනාවක් නිර්මාණය කරමින් තිබිය දී දෙවෙනි එලිසබෙත් මහ රැජිණ ඇයගේ නිහඬතාවය බිඳිමින් අද එරට ජනතාව හමුවටවිත් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරනු ලැබීය. ඇයගේ කතාව සිදු කරනු ලැබුවේ වින්ඩ්සර් මන්දිරයේ සිටයි.

රැජිණ ඇයගේ කතාව තුළ දී ස්වයං විනය පවත්වාගෙන යාම සහ එහි වටිනාකම ගැන පැහැදිළි කර දුන්නේය. ඇය එහිදී කියා සිටියේ දිනක මේ සියලු දේවල් නිමාවට පත් වෙන අවස්ථාවක තමන්ද ස්වයං විනය පවත්වාගෙන යමින් එය මැඩපැවැත්වීමට දැක්වූ සහය පිළිබඳව සතුටු විය හැකිබවයි.

මෙන්ම ඇයගේ කතාව තුළදී වර්ෂ 1940 දී ඇයට වයස අවු.14ක් වූ සමයේ ඇයගේ සහෝදරිය වූ මාග්‍රට් කුමරිය සමඟ එක්ව දෙවන ලෝක යුද්ධය පැවැති සමයේ දරුවන් අමතා කළ ඇයගේ පළමු ජාතිය ඇමතීමේ කතාවද ඇය සිහිපත් කළාය.

ඇයගේ කතාවේ තුළ එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවයට සහ වෛරසයට එරෙහි සටනේ ඉදිරිපෙළ ක්‍රියාකරමින් සිටින සියලු දෙනාට ඇයගේ ස්තූතිය පුද කිරීමටද ඇය කටයුතු කළාය.

සමාජ දුරස්ථ භාවය හෙවත් දෙදෙනෙකු අතර පරතරය පවත්වා ගෙන යෑම මඟින් තමන්ගේ ආදරණීයම අයගේ වියෝව පිළිබඳව එරට වැසියන්ට කණගාටු වීමට සිදු නොවනු ඇතිබව කියා තිබුණා.

එමෙන්ම රටේ පුරවැසියන්ගේ එකමුතු භාවය ගැන ප්‍රකාශ කළ ඇය, ඊට උදාහරණ ලෙස එරට ජාතික සෞඛ්‍ය සේවය තුළ සේවයේ නිරත වෙන පිරිස් හට ජනතාව ඇතුළු සියලු තරාතිරම්වල අය එක්ව අත්පොළසන් දෙමින් කරන ලද ගෞරවය පුද කිරීමත්, ජනතාව එකිනෙකාට ආහාර පාන ලබා දෙමින් එකට සහයෝගයෙන් කටයුතු කරන ආකාරය ගෙන දැක්වීය.

කොරෝනා වෛරසය පිළිබඳව සටනේ ජයග්‍රහණය රටක් ලෙස ඔවුන් අනිවාර්යෙන් ලබා ගන්නා බවද රැජින අවධාරණය කළ සිටි අතර පැරැණි වේරා ලින්ගේ යුධ කාලීන ගීතයක පදයක් සිහිපත් කරමින් ඇය අවසාන වශයෙන් රටට සහතික කළ සිටියේ “අපි නැවත හමුවෙමු” යන්නයි

1952 දී එක්සත් රාජධානිය ඇතුළු පොදුරාජ්‍ය මණ්ඩලයේ බලයට පත්වෙන දෙවෙනි එලිසබෙත් රැජින ඇයගේ 67 වසරක පාලන කාලය තුළ ඇයගේ නත්තල් ප්‍රකාශය හැරුණු කොට ජාතිය අමතන ලද්දේ 4 වෙනි වතාවට වීම විශේෂත්වයකි.

මේ වන විට තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ගණන 175 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට අද දිනයට පමණක් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 9 දෙනෙකු වාර්තා වී ඇත.

මේ අතර කොරෝනා ආසාදිත පුද්ගලයින් සිව් දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඒ අනුව රෝගය ආසාදනය වූ පුද්ගලයින් 33 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මෙරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 5 ක් වෙයි.

ලෝකය පුරා වාර්තා වු කොරෝනා ආසාදනය සංඛ්‍යාව මිලියනයේ සීමාවට ළඟා වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පේනවා දෙයි. තවත් දින කිහිහිපයක් තුළ මිලියනය පසු කර යනු ඇති බවටද ඔවුන් පෙන්වා දෙයි. මේ වෙන විට ලෝකයේ කොරෝනා ආසාදනය වු පිරිස 936,050ක් ලෙස වාර්තා වෙයි. වැඩිම ආසාදනයන් ප්‍රමාණයක් වු රටවල් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය (215,300)ය, ඉතාලිය (110,574) ස්පාඤ්ඤය (104,118) නම් කළ හැකිය.

ආසාදයන වීම නිසා මිය ගිය සංඛ්‍යාවත් 50,000කට ආසන්න වෙමින් පවතින බවද දැකිය හැකිය.  මේ වෙන විට ලෝකයේ මරණ 47,245ක් වාර්තා වෙයි.

මෙරට සිටින කොවිඩ් – 19 ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සැක කටයුතු සියලු දෙනාම තව තවත් රසායනාගාර පරීක්ෂණයන්ට ලක් කිරීම වෛරසය මැඩ පැවැත්වීම සඳහා ඇති එකම මග බව වෛද්‍ය විශේෂඥයෝ පවසති.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයකු වූ රුවයිස් හනීෆා ඇතුළු කොළඹ විශ්වවිද්‍යාලයේ විශේෂඥයන් පිරිසක් පෙන්වා දෙන්නේ සැක කටයුතු පුද්ගලයන් සහ ආසාදිතයන් ළඟින් ඇසුරු කළ පුද්ගලයන් සියලු දෙනාම අනිවාර්ය රසායනාගාර පරීක්ෂාවන්ට ලක් කළ යුතු බවයි.

විදෙස් රටවල සංඛ්‍යා ලේඛන සමග සසඳන විට ඉදිරි සතියක කාලය ඇතුළත මෙරට රෝගීන්ගේ සංඛ්‍යාවද සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයිද ඔවුහු අනතුරු අඟවති.

‘‘සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී අසල්වැසි නිවාස කරා යෑමට ජනතාව කටයුතු කළහොත් මෙම තත්ත්වය තවදුරටත් පාලනය කළ නොහැකි තත්ත්වයක් වනු ඇති’’ යනුවෙන්ද ඔවුහු ප්‍රකාශ කරති.

කොරෝනා වසංගතය හමුවේ රටේ උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් අද (01) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව ඇතැයි එම පක්ෂයේ ආරංචි මාර්ග පැවසීය.

මෙම සාකච්ඡාව අද (01) දහවල් 12.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකිරිමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරුන් වන අර්ජුන රණතුංග, රවී කරුණානායක, රුවන් විජයවර්ධන, ලක්ෂ්මන් විජේමාන්න, දයා ගමගේ, නවීන් දිසානායක සහ පාලිත රංගේබණ්ඩාර යන මහත්වරුන් මෙම හමුව සදහා සහභාගී වීමට නියමිත බවද වාර්තා වේ.

අකුරණ ප්‍රදේශයෙන් තහවුරු කරගත් කොරෝනා ආසාදිතයා  ගුවන්තොටුපොළේ සිට අකුරණ ඔහුගේ නිවස දක්වා රැගෙන ආ වෑන් රථය ගම්පොළ සිංහපිටිය ප්‍රදේශයේ වාහන අලුත්වැඩියා කරන ස්ථානයක තිබි පොලිස් බුද්ධි අංශ නිලධාරින් ඊයේ (31) පෙරවරුවේ සොයා ගෙන තිබේ.

ගම්පොළ පුස්සැල්ලාව ප්‍රදේශයේ පුද්ගලයෙකු මෙම වෑන් රථයේ හිමිකරු වන අතර ඔහු සිය වෑන් රථය මිගමුව ප්‍රදේශයේ කුලි රථ අයතනයකට ලබාදි තිබේ.

වෑන් රථයේ රියදුරු නුවරඑළිය රාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට වාර්තා වේ.

මේ අතර අකුරන ප්‍රදේශයෙන් තහවුරු කර ගත් කොරෝනා වෛරස ආසාදිතයා දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ අවමඟුල් උත්සවයකට සහභාගි වි ඇති බවට තොරතුරු අනාවරණ වෙයි.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් ආසාදිත පුද්ගලයාගේ ඡායාරූප පෙන්වා ප්‍රශ්න කළද ගම්වාසින් ඒ පිළිබඳ තොරතුරු වසන් කිරිමට කටයුතු කරන ආකාරය දක්නට ලැබුණි.

කෙසේ වෙතත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා දඹුල්ල පොලිසිය එක්ව නිකවටවන ගම්මානයේ නිවාස හතක පුද්ගලයින් 33 දෙනෙකු සිය නිවාස තුළම ස්වං නිරෝධායනයකට ලක්කෙරුණි.

නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට ඊයේ (31) පස්වරුවේදී තහවුරු වූ පුද්ගලයින් 10 දෙනා පුත්තලම ප්‍රදේශයෙන් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 

ඉන්දුනීසියාවේ සංචාරය කොට මෙරට පැමිණීමෙන් පසු මිට දින කිහිපයකට පෙර නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරුවූ පුද්ගලයා සමග ඇසුරු කරන ලද පුද්ගලයින් 60 කට අධික සංඛ්‍යාවක් පුත්තලම ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් සහ ආරක්ෂක අංශ මිට දින කිහිපයකට පෙර පියවර ගෙන තිබිණි.

එලෙස නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 20 දෙනෙකු ගේ නියැදි ලබා ගනිමින් මාරවිල රෝහලේදී අද දිනයේදී සිදුකළ පරීක්ෂණයේදී මෙලෙස නව කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 10 දෙනා හඳුනා ගැනීමට හැකිවූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

එම පුද්ගලයින් 20 දෙනා මිට පෙර කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරු වූ පුද්ගලයා සමග සමීප ඇසුරක් පැවැත්වූ පුද්ගලයින් ලෙස හඳුනා ගෙන තිබේ.

කෙසේ වෙතත් මෙම පුද්ගලයින් 10 දෙනා වෛද්‍ය පරීක්ෂණයේදී කොරෝනා ආසාධිතයින් බවට තහවුරු කර ගනු ලැබුවත්, මේ දක්වා ඔවුන්ට කොරෝනා වෛරසය හා සම්බන්ධ කිසිදු මුලික රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නොතිබීම විශේෂත්වයක් බව උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසී ය.

නව කොරෝනා වෛරසය වැලදී ඇති බවට සැක කරන රෝගීන් ඇතුලත් කිරීම සඳහා මිනුවන්ගොඩ සහ බේරුවල රෝහල් වෙන් කළ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

එමෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ එවැනි සැක සහිත රෝගීන් සඳහා ඉරණවිල පිහිටි වොයිස් ඔෆ් අමෙරිකා ගොඩනැගිල්ලේ ඇඳන් 50 කින් යුත් තාවකාලික රෝහලක් ඉදි කර ඇති බවත් එය දින දෙකකින් විවෘත කරන බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේය.

එමෙන්ම කොළඹ ප්‍රදේශයේ කොරෝනා සැක සහිත රෝගීන් ඇතුලත් කිරිම සඳහා හෝමාගම මූලික රෝහල සම්පූර්ණයෙන්ම වෙන් කර ඇත.

ඒ අනුව මිනුවන්ගොඩ රෝහලට හෙට දිනයේ සිට බේරුවල රෝහලද තව දින දෙකකින් විවෘත කරන බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා පැවසී ය.

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 10 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 142 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වන ආකාරය සම්බන්ධයෙන් ඇතැමුන් තුළ වැරදි මත පවතින බව වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ආහාර මගින් මෙම වෛරසය ව්‍යාප්ත වීමක් සිදු නොවන බව නිශ්චිතව ප්‍රකාශ කළ හැකි බව ඔහු විශේෂඥ වෛද්‍යවරයා පෙන්ව දෙයි.

වෛරස් වල ගුණාංග කිහිපයක් තිබෙන බැවින් කොවිඩි 19 වෛරසය පිළිබඳ දැනට තිබෙන දැනුමක් තිබෙන බවත් ඒ දැනුම අනුව නිශ්චිතව මෙම වෛරසය ආහාර මගින් බෝ නොවන බවත් හෙතෙම සඳහන් කළේය.

කොරෝනා වෛරසය බෝවන ප්‍රධාන ක්‍රම දෙකක් තිබෙන බවත් කෙනෙකුගේ වෛරසය සහිත බිඳිති මගින් තව කෙනෙකු ආශ්වාස ප්‍රශ්වාස කළහොත් හා වෛරසය වැළඳී ඇති පුද්ගලයෙකු ස්පර්ශ කරන දෙයක වෛරසය තිබුනොත් තවත් කෙනෙකුගේ එය ස්පර්ශ වීමෙන් මුහුණ නාසය ඇල්ලුවොත් එම වෛරසය වැළදෙන බවත් වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේය.

ආහාර මගින් වෛරසය බෝවන දුර්ලබ ක්‍රමය වන්නේ රෝගී පුද්ගලයෙකු අතපත ගා තිබූ ආහර තවත් කෙනෙකු ආහාරයට ගැනීම මගින් කලාතුරකින් බෝවිය හැකි බවත් එයද පරීක්ෂණ මගින් ඔප්පු කර නොමැති බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Page 1 of 26