February 26, 2020

හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා දෙමළ ජාතික සන්ධානයේ නායකයා වශයෙන් කටයුතු කරන තාක්කල් පාවිච්චි කිරීම සඳහා විපක්ෂ නායක නිල නිවස පසුගිය ආණ්ඩුව විසින් විශේෂ කැබිනට් තීන්දුවක් මගින් ලබාදී ඇත.

කොළඹ 07, මහගමසේකර මාවතේ පිහිටි බී 12 නිල නිවස, විපක්ෂ නායක නිල නිවස ලෙස වෙන්කර ඇති අතර ආර්. සම්බන්ධන්මහතා මේ වන විටත් එම නිල නිවසේ පදිංචිව සිටී.

සම්බන්ධන් මහතාට පෞද්ගලික වන සේ මෙම නිල නිවස ලබාදී ඇති අතර ඊට අදාළ විශේෂ කැබිනට් සංදේශය එවකට ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමැතිවරයාවූ ගයන්ත කරුණාතිලක මහතා විසින් 2019 පෙබරවාරි මස 26 වැනිදා මෙම විශේෂ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබ තිබේ.

කොළඹ 07 පිහිටි අක්කර එක හමාරක පමණ භූමි භාගයක මෙම නිල නිවස පිහිටා ඇති අතර එහි නඩත්තු කටයුතු සඳහා බංගලා භාරකරුවකු උද්‍යාන කරුවන් දෙදෙනකු, අභ්‍යන්තර නඩත්තු කම්කරුවන් දෙදෙනෙකු වශයෙන් සේවකයන් පස් දෙනකු යොදවනු ලැබ සිටින අතර ඔවුන්ට වැටුප් ගෙවීම හා නිල නිවස නඩත්තුව ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය විසින් සිදු කරනු ලැබේ.

2015 අගෝස්තු මහ මැතිවරණයෙන් පසුව සම්පන්ධන් මහතා විපක්ෂ නායකධුරයට පත්වීමත් සමග ඔහුට මෙම නිල නිවස ලබාදී ඇති අතර 2017 වසරේදී එහි අලුත්වැඩියා කටයුතු සඳහා රුපියල් ලක්ෂ 350 ක මුදලක්ද රජයෙන් වැයකර ඇත.

2018 ඔක්තෝබර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරයට පත්කිරීමත් සමඟ පිහිටවූ දින 52 ආණ්ඩුව වෙනස්වූ පසුව මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකධුරයට පත්වුවද විපක්ෂ නායක නිල නිවස දිගටම පාවිච්චි කරනු ලැබුවේද සම්බන්ධන් මහතා විසිනි.

සම්බන්ධන් මහතාට පහසුකම් සැලසීම හේතුවෙන් ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමැතිවරයා 2019 පෙබරවාරි 26 වැනිදා ඉදිරිපත් කළ විශේෂ කැබිනට් මණ්ඩල සංදේශය අනුව ඔහුට මෙම සුවිශේෂි පහසුකම් ලබාදී තිබේ.

සංහිඳියාව සඳහා සම්බන්ධන් මහතා දක්වන සුවිශේෂී දායකත්වය මත ඔහුට පහසුකම් සැලසීම රජයේ වගකීමක් බවත් සම්බන්ධන් මහතාට පෞද්ගලික වන සේ කතානායකවරයාගේ ඉල්ලීම මත මෙම නිල නිවස ලබාදිය යුතු බවත් ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමැතිවරයා සිය කැබිනට් මණ්ඩල සංදේශය මගින් අමාත්‍ය මණ්ඩලයට යෝජනා කර ඇති බව වාර්තාවේ.

නිල නිවසේ ජල බිල්පත් විදුලි බිල්පත් දුරකථන බිල්පත් හා නඩත්තු වියදම් ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය මගින් දරනු ලබන අතර මෙම නිල නිවස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පාලනය යටතේ පවතින නමුත් එම අමාත්‍යාංශයෙන් කිසිදු විමසීමක් කර නැතැයිද දැන ගන්නට ඇත.

එම විශේෂ කැබිනට් තීන්දුව ප්‍රකාරව සම්බන්ධන් මහතාට KX-2330 සහ KO-6339 යන අංක දරණ මෝටර් රථ දෙකද වෙන්කර ඇති අතර ඒ සඳහා මසකට ඉන්ධන ලීටර් 600 බැගින්ද ලබාදෙනු ඇත.

මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරයට පත්වීමෙන් පසුව වැඩ බලන විපක්ෂ නායක ලේකම් හර්ෂ විජේවර්ධන මහතා මේ පිළිබඳව විමසමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත ලිපියක් යොමුකර ඇති අතර මෙය සම්බන්ධන් මහතාට දී ඇත්තේ විපක්ෂ නායක නිල නිවස ලෙසද යන්න එමගින් විමසා ඇත. එහෙත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ඊට කිසිදු පිළිතුරක් එවා නැතැයිද පැවසේ.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ට හා ඔවුන්ගේ බිරින්දෑවරුන්ට රජයෙන් නිල නිවසක් ලබාදෙන නමුත් හිටපු විපක්ෂ නායකවරුන්ට හෝ පක්ෂ නායකයන්ට රජයෙන් නිල නිවාස ලබාදීමක් මෙතෙක් සිදුවී නැති බවත් සම්බන්ධන් මහතාට මෙලෙස විශේෂ වූ නිල නිවසක් ලබාදීම නරක පූර්වාදර්ශයක් බවත් රජයේ ඇමැතිවරු පෙන්වා දෙති.

විපක්ෂ නායක නිල නිවස සම්බන්ධන් මහතාට ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ලංකා ඉතිහාසයේ පක්ෂ නායකත්වයකට රජයෙන් නිල නිවසක් ලබාදී නැති බවත් මෙය පළමුවැනි අවස්ථාව බවත්ය.

මෙය නරක පූර්වාදර්ශයක් බව කී ඇමැති තෙන්නකෝන් මහතා පසුගිය රජය මෙම නිල නිවස සම්බන්ධන් මහතාට ලබා දුන්නේ කුමන පදනමින්ද යන්න ගැටලුවක් බවද කීවේය.

විපක්ෂ නායක නිල නිවස සම්පන්ධන් මහතාට මෙසේ ලබාදී ඇත්තේ කැබිනට් මණ්ඩල තීන්දුවක් වන බැවින් එය වෙනස් කළ යුත්තේද කැබිනට් මණ්ඩල තීන්දුවකින්ම බවද හෙතෙම සඳහන් කළේය.

එබැවින් තමා මේ පිළිබඳව ලබන සතියේදී අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන බවද ඇමැති තෙන්නකෝන් මහතා කීවේය.

උතුරේ ජනතාව දුක්විඳිද්දී ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන දෙමළ නායකයන් මෙලෙස කටයුතු කිරීම කිසිසේත් සාධාරණ නොවන බවද ඇමැති තෙන්නකෝන් මහතා පැවැසීය.

(ලංකාදීප)

උතුරු පළාත සඳහා තවමත් ආණ්ඩුකාරවරයකු පත් කිරීමට රජයට නොහැකි වීම නිසා බොහෝ තීන්දු තීරණ ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මන්ත‍්‍රීවරයා මාධ්‍යවේදීන්ට ප‍්‍රකාශ කළේය.

මේ පිළිබඳව තමන් අවස්ථා කිහිපයක්ම රජයට දැනුම් දීම් හා මතක් කිරීම් කළ බව කී සම්බන්ධන් මහතා වෙනත් පළාත්වලට කඩිනමින් ආණ්ඩුකාරවරයකු පත් කිරීමට මේ රජයට තිබූ උනන්දුව උතුරු පළාතට ආණ්ඩුකාරවරයකු පත් කිරීම සම්බන්ධයෙන් නොමැති බව ද සඳහන් කළේය.

උතුරු පළාතට ආණ්ඩුකාරවරයකු පත් නොකිරීම නිසා වසර අවසානයේ ලබාදිය යුතු ස්ථාන මාරුවීම් පිළිබඳව හා වෙනත් කටයුතු සම්බන්ධයෙන් විශාල අර්බුදයක් ඇති වී තිබෙන බව කී ඔහු මේ නිසා අසරණභාවයට පත්ව සිටින ගුරුවරුන් පිරිසක් පැමිණ තමන්ට පැමිණිලි කළ බව ද කියා සිටියේය.

වසර හයකට වඩා වැඩි කාලයක් උතුරේ සේවය කොට ඇති ගුරුවරුන් විශාල පිරිසකට ලබන වර්ෂය සඳහා ස්ථාන මාරුවීම් ලබාගැනීමට ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය නොමැති වීම නිසා ඒ ගුරුවරුන්ට විශාල අසාධාරණයක් සිදුව ඇති බව ද සම්බන්ධන් මහතා පැවසීය.

ගුරුවරුන්ට පමණක් නොව උතුරු පළාත් සභාව යටතේ පාලනය වන සෑම ආයතනයකම මෙන්ම ජනතාවට ද ආණ්ඩුකාරවරයකු පත් නොකිරීම නිසා විශාල අසාධාරණයක් සිදුව ඇති බව සම්බන්ධන් මහතා කියා සිටි අතර තමන් යළිත් වරක් මේ පිළිබඳව රජයට දැනුම් දෙන බව ද පැවසීය.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට හිමිවිය යුතු බවට තමා කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බවත් එය මුළුමනින්ම එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ ගත යුතු තීරණයක් බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි.

ත්‍රිකුණාමලයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු සම්බන්ධන් මහතා මෙසේ පැවසීය.

“අපි තවදුරටත් විපක්ෂයේ රැඳී සිටිනවා.රජයේ තීරණවලට විරුද්ධ විය යුතු සෑම අවස්ථාවකම අපි විරුද්ධ වෙනවා. නමුත් එයින් කියවෙන්නේ නැහැ අපි සෑම විටම රජයට විරුද්ධ වෙයි කියලා. රජයට සහය දිය යුතු අවස්ථාවක් නම් රටට වාසිදායක තීරණවලදී ,ජනතාවට වාසිදායක අවස්ථාවලදී අපි සහය දෙන්න පැකිලෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ කථානායක ධුරය ගැන යම් මතයන් පවතින බවට පෙනෙන්න තිබෙනවා. අපට මේ අවස්ථාවේදී කථානායකයෙක් ඉන්නවා. ඡන්දය දෙන්න අවස්ථාවක් එනවනම් අපි ඒ අවස්ථාවට ගැළපෙන හොඳම තීරණය ගන්නවා. ප්‍රචාරයක් යනවා මම සඳහන් කළා කියලා විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට හිමිවිය යුතු බවට, මම එවැනි මතයක් පළ කරලා නැහැ. එය මුළුමනින්ම එක්සත් ජාතික පක්ෂය ගතයුතු තීරණයක්. අභ්‍යන්තරිකව සාකච්ඡා කරලා තීරණය කළ යුතු දෙයක්. ඉදිරියේදී මේ ගැන මතයක් ප්‍රකාශ කරන්න අවශ්‍යතාවයක් ආවොත් අපි ඒ අවස්ථාවේදී මතයක් කියන්න පැකිළෙන්නේ නැහැ.“

දෙමළ ජනතාවට බොරු පොරොන්දු දී දෙමළ ජනතාව රැවටවූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයාටත් සුමන්තිරන් මන්ත්‍රීවරයාටත්  දෙමළ ජනතාව පිළිබදව කතා කිරීමට අයිතියක් නැතැයි යුද සමයේදී අතුරුදහන් වූවන් පිළිබදව සොයා බලන ඥාතී සංගමයේ සභාපති එස්.රාජ්කුමාර් මහතා ඊයේ (30) වවුනියාවේදී පැවසීය.

වවුනියාවේ මාධ්‍ය සමාජ ශාලාවේ පැවති මාධ්‍ය හමුවකදී එම සභාපතිවරයා කියා සිටියේ  සම්බන්ධන් මන්ත්‍රීවරයාත් සුමන්තිරන් මන්ත්‍රීවරයාත් දෙමළ ජාතික සන්ධානයත් දෙමළ ජනතාවත් රවටවා රජයට සහය ලබා දී මේ වන විට එක් අයෙකු රුපියල් කෝටි 300 කට වඩා වැඩි මුදලක් උපයා ගෙන ඇති බවයි.

ඊට අමතරව අති සුඛෝපභෝගී වාහනද නිවාසද රජයේ පිහිටෙන් ඔවුන් දෙදෙනා ලබා ගෙන සිටීම නිසා දෙමළ ජනතාවගේ ප්‍රශ්න ඔවුන් රජය වෙත යොමු නොකරණ බවද කියා සිටියේය.

යුද්ධය හමාර වී වසර දහයකටත් වඩා වැඩි කාලයක් ගත වී තිබියදී යුද්ධයෙන් විපතට පත් වූ දෙමළ ජනතාවගේ එකම ප්‍රශ්නයක් හෝ සම්බන්ධන් මන්ත්‍රීවරයාටත් සුමන්තිරන් මන්ත්‍රීවරයාටත් විසදීමට නොහැකි වූ බවද සභාපතිවරයා සදහන් කළේය.

යුද ස්මයේදී අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබදව කරුණු සොයා බලා ඔවුන්ගේ පවුල් වලට සහනයක් සලසන බවට මේ දෙදෙනාම පොරොන්දු වූවත් මේ වන තුරු යුද සමයේදී අතුරුදහන් වූ  පුද්ගලයින්ගේ නාම ලේඛනයක් හෝ සපයා දීමට ඔවුන්ට නොහැකි වූ බවට සභාපතිවරයා මෙහිදී චෝදනා කළේය.

(දිනසේන රතුගමගේ)

යුද අපරාධ හා මානව හිමිකම් කඩකළ බවට චෝදනා එල්ල වන මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධූරයට පත් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් ජනාධිපතිවරයා කඩිනමින් ඔහුව එම ධූරයෙන් ඉවත් කළ යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා පැවසීය.

මහේෂ් සේනනායක මහතාගේ විශ්‍රාම යාමෙන් පසුව නව යුද හමුදාපතිවරයා වශයෙන් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීම පිළිබද අද(23) විශේෂ ප්‍රකාශයක් ලබාදෙමින් සම්බන්ධන් මහතා මේ අදහස් පළකර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සම්බන්ධන් මහතා මෙසේද කීය.

යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සිදුකළ බවට චෝදනා එල්ල වූවන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරල ඔවුන් වරදකරුවන් ද නිවැරදිකරුවන් ද කියල සනාථ කරගත යුතුයි. එසේම වරදකරුවන්ට නීතිය ඉදිරියේ දඬුවම් පැනවිය යුතුයි. එසේ සිදුකළ යුතුව තිබියදී යුද අපරාධ හා මානව හිමිකම් කඩකිරීම් සිදුකළ බවට චෝදනා එල්ල වු අයෙකුට යුද හමුදාවේ ඉහළම පදවිය පිරිනැමීම කිසිසේත් අනුමත කළ නොහැකියි.

එවන් චෝදනා එල්ල වන මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැනි කෙනෙකුට ලබාදීල තියෙන යුද හමුදාපතිධූරය අත්හිටුවා රජය ඔහුව ධූරයෙන් ඉවත් කරන්න ඕනෑ. අවසන් යුද්ධයේ දී 58 වන සේනාංකයට අණ දුන් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ 23 වන යුද හමුදාපතිවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා පත්කරනු ලැබිණි.

මොහුට එරෙහිව ජාත්‍යන්තර වශයෙනුත් බොහෝ චෝදනාවන් එල්ල වුණා. එසේ චෝදනා එල්ල වි තිබියදී මොහුව යුද හමුදාපතිධූරය සදහා පත් කිරීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර සංවිධාන  සහ ඇමෙරිකාව ඇතුළු රටවල් ගණනාවක් විරෝධය හා අප්‍රසාධය පලකරනු ලැබුවා. මේ නිසා මුලින්ම මොහුට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතුයි. ඉන් වරදකරුවකු වෙනවා නම් ඔහුට දඬුවම් කළ යුතුයි. නොවේ නම් යුද හමුදාපතිධූරය සඳහා පත්කළ හැකියැයි ද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා පැවසීය.

දෙමළ ජනතාවට කෲර අන්දමින් සැළකූ පාලනයක් ගෙනගිය විනාශකරී ඒකාධිපති පාලනයකට නැවතත් ඉඩ තැබිය නොහැකි හෙයින් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය පරාජය කිරීමට සහාය වූ බව දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා පැවසීය.

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාවට එරෙහිව දෙමළ ජාතික සන්ධානය එරෙහි වීමේ තීරණය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සම්බන්ධන් මහතා මේ බව අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ සම්බන්ධන් මහතා මෙසේද කීය.

"විශ්වාසභංගයකින් එක් ආණ්ඩුවක් පරාජය කරන්නේ නම් තවත් ආණ්ඩුවක් බලයට පත්වෙනවා. එසේ වුණා නම් වත්මන් තත්වය මැද කොයි ආණ්ඩුව බලයට එනවද කියල අප හොදින් දන්නවා. ඒ ආණ්ඩුව තමයි කලින් රට පාලනය කළෙත්. ඒ ආණ්ඩුවෙන් දෙමළ ජනයාට හොඳක් සිදුවුණාද ? කියල අප විමසා බැලිය යුතුයි. පසුගිය ඒ ආණ්ඩුවෙන් දෙමළ ජනතාවට වචනයෙන් කිව නොහැකි තරම් වේදනාවන් විදින්නට සිදුවුණා.දෙමළ ජනතාව යටපත් කරගනිමින් ඉතා කෲර අන්දමින් දෙමළ ජාතිය විනාශ කළ  පිරිසකට නැවතත් බලයට පැමිණීමට ඉඩ දිය හැකිද ? නැවතත් ඒකාධිපති විනාශකාරී පාලනයක් අපට පිළිගත හැකිද ? මේ ගැන සැළකිල්ලට අරන් තමයි දෙමළ ජාතික සන්ධානය රජයට එරෙහි විශ්වාසභංගයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළේ. අපි එම උත්සහාය පරාජය කළා. ඒ වගේම වත්මන් ආණ්ඩුව ගැන අපගේ ජනතාවට කිසිදු විශ්වාසයක් නැහැ.මේ රජය ගැන විවේචන රැසක් එල්ල වී තිබෙනවා."

"නමුත් පසුගිය ආණ්ඩුවට සාපේක්ෂව වත්මන් ආණ්ඩුව දෙමළ ජනතාව වෙනුවෙන් යහපත් කාර්යන් කිහිපයක් හෝ සිදුකරො තියෙනවා. දෙමළ ජනතාවගේ මූලික ගැටලු විසදන්න මේ ආණ්ඩුවේ නායකත්වය වගවීමෙන් සිටිනවා. ඇතැම් ගැටලු කඩිනමින් විසදලා දෙනවා කියලා ආණ්ඩුවේ නායකත්වය අපට පොරොන්දු වී තිබෙනවා. නමුත් තව වසරකින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙනවා. මේ ආණ්ඩුව මාර්ගයෙන්ම දෙමළ ජනතාවගේ ගැටළු වලට විසඳුම් ගෙන එන්න ඕනෑ. මෙයද සැළකිල්ලට අරගෙන තමයි විශ්වාසභංගයට එරෙහිව කටයුතු කළේ "යැයි ද සම්බන්ධන් මහතා කීය.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා හදිසියේම රෝගාතුර වීම නිසා ඔහුව ඊයේ (08) කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බව ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා පැවසීය.

හදිසියේම රෝගාතුර වූ ඔහු රෝහල් ගත කිරීමෙන් පසුව  ඔහුගේ අසනීප තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂණ කීපයක් සිදු කිරීමට අවශ්‍ය බැවින් ඔහුට පැය කීපයක් රෝහල් ගතව සිටින්නට සිදුවන බවද පෞද්ගලික ලේකම්වරයා පැවසීය.

කෙසේ වෙතත් ඔහුගේ අසනීප තත්ත්වය එතරම් අසාධ්‍ය නොවන බවද  පෞද්ගලික ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේය.

(දිනසේන රතුගමගේ)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගත්තේ නම් ඒ තුළ බොහෝ අඩුපාඩුකම් ඇති බව ජනාධිපතිවරයාට ඒ අවස්ථා වලදී නොපෙනී ගියේ මන්දැයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා ඊයේ (30) යාපනයේදී පැවසීය.

යාපනයේ වීරසිංහම් ශාලාවේ පැවති ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ දාසය වෙනි සංවත්සරයට සහභාගී වූ අවස්ථාවේදී සම්බන්ධන් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

එම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ අවස්ථාවේද සියලු දෙනා නිහඩව සිට මේ අවස්ථාවේදී ඒ පිළිබදව විවිධ අදහස් පල කරනු ලබන්නේ දේශපාලන වාසි වෙනුවෙන් බවද ඔහු කියා සිටියේය.

මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් දෙමළ ජාතික සන්ධානයට විශාල වාසියක් ඇති බව පාර්ශ්ව කීපයක් විසින් ප්‍රසිද්ධියේම පවසා ඇති බව කී සම්බන්ධන් මන්ත්‍රීවරයා එදා සිට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ඇතුලු කීප දෙනෙකුට එම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවක් පෙනෙන්නට පටන් ගෙන ඇතැයිද කියා සිටියේය.

නමුත් ඒ ව්‍යවස්ථා සංශෝධනයේදී දෙමළ ජාතික සන්ධානයට හෝ දෙමළ වැසියන්ට අමුතුවෙන් යමක් ලැබී නොමැති බවද සම්බන්ධන් මහතා එහිදී අවධාරණය කළේය.

(දිනසේන රතුගමගේ)

උතුරේ ජාතික ගැටළුවට ස්ථිර දේශපාලන විසඳුම් ගෙන ඒම ඇතුළු දෙමළ ජනතාව වෙනුවෙන් ලබාදුන් පොරොන්දු රජය විසින් එලෙසම ඉටුකළ යුතු බවත් තවදුරටත් දෙමළ ජනතාව නොරවටන ලෙසත් දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා සඳහන් කරයි.

එමෙන්ම දෙමළ ජනතාවට නිදහසේ සිය අයිතිවාසිකම් විඳිමින් ජීවත්වීමට නම් ජාතික ගැටළුවට විසඳුම් ගෙන ආ යුතු බවත් ඒ සඳහා වූ පොරොන්දුව රජය විසින් නොපමාව ඉටුකළ යුතු බවත් සම්බන්ධන් මහතා සදහන් කළේය.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ දී පැවති අතර එම සාකච්ඡාව පිළිබඳ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සම්බන්ධන් මහතා මේ බව කියා සිටියේය.

"තිස් වසරක යුද්ධයෙන් පීඩාවට පත්වූ දෙමළ ජනතාවගේ ජීවන තත්වය ඉහළ දැමීම සහ උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය කිරීමේ කාර්යන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දුන් පොරොන්දුව එලෙසම ඉටුකළ යුතුයි. දීර්ඝ කාලීන ජාතික ගැටළුවට දේශපාලන විසදුම් ගෙන ඒමට ද රජය කටයුතු කළ යුතුයි. උතුරේ සංවර්ධන ව්‍යාපෘති රැසක් සිදුකර තිබෙනවා. නමුත් සංවර්ධනය ඉදිරියට දෙමළ ඕනෑකමින්ම අපගේ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුම් දීම මඟහැර සිටිනවා. එසේ සිදුනොකළ යුතුයි."

"වත්මන් රජය බලයට පත්වීමෙන් පසු දෙමළ ජනතාව වෙනුවෙන් පොරොන්දු රැසක් ලබාදුන්නා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුම් ගෙන එන බවට දෙමළ ජාතික සන්ධානයටත් දෙමළ ජනතාවටත් ජාත්‍යන්තරයටත් පොරොන්දු වුණා. ඒ සියළු පොරොන්දු ඉටුකල යුතුයි. ජාතික ගැටළුවට දේශපාලන විසඳුම් ගෙන ඒම තුළින් පමණක්මයි දෙමළ ජනතාවට නිදහසේ ජීවත්විය හැකියි " යැයි තමන් අග්‍රාමාත්‍යවරයාට හමුවී අවධාරණය කළ බවද සම්බන්ධන් මහතා කියා සිටියේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මෙරට දේශපාලනයේ ඉහළම නායකයන් පිරිසක් මේ වන විට සාකච්ඡාවකට එක්ව ඇති බව වාර්තා වෙයි.

රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, එහි මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡා සඳහා එක්ව සිටිති.

Page 1 of 2