February 26, 2020

පසුගිය ආණ්ඩු කාලයේදී විගණකාධිපති දෙපාර්තමේන්තුව ක්‍රිකට් ආයතනය ගැන කළ වෝහාරික විගණනය පසුගිය ආණ්ඩුවේදීම සිතා ගත නොහැකි ලෙසට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන්නේ විශේෂ වාර්තාවක් ලෙසින් බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා අනාවරණය කරයි. එලෙස ක්‍රිකට් ආයතනය ගැන කළ වෝහාරික වාර්තාව විශේෂ වාර්තාවක් ලෙසට වෙනස් වීම පිටුපස හොරුන් දූෂිතයින් ආරක්ෂා කිරීමේ කුමන්ත්‍රණයක් පවතින්නට ඇතැයිද ඔහු අවධාරණය කළේය.

ඒ අද (06) විශේෂ මාධ්‍ය සාකච්ඡවක් කැඳවමිනි.

''අපි දන්නවා අපේ ආණ්ඩු කාලයේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉල්ලීම මත විගණකාධිපති දෙපාර්තමේන්තුව ක්‍රිකට් ආයතනය ගැන වෝහාරික විගණනයක් සිදු කළා. ඒබව මං ළඟ තියෙන මේ ලිපියෙනුත් සනාථ වෙනවා. මේ ලිපිය එවකට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලෙක්ම්ට යවන්නේ විගණකාධිපති වෙනුවෙට නියෝජ්‍ය විගණකාධිපතිතුමා විසින්. මෙහි පැහැදිලිවම සඳහන් වෙනවා වෝහාරික විගණනය කියලා. නමුත් මේ විගණනය පාර්ලිමේන්තුවට යන්නේ විශේෂ වාර්තාවක් ලෙසට. එහෙම වුණේ කොහොමද ? ඒ වගේම මේ වාර්තාවේ ක්‍රිකට් ආයතනයේ හුඟාක් දේවල් යට ගහලා තියෙනවා. නමුත් මේ වාර්තාවෙන් ක්‍රිකට් ආයතනයේ දූෂණ ගැන හෙළි වන තැන් කිහිපයකුත් තියෙනවා. කැම්පස් එකක් හදන්න කියලා කළ චෙක් ගනුදෙනු ගැන මේ වාර්තාවේ තියෙනවා. හතුරුසිංහ මහත්තයා ක්‍රිකට් ආයතනයට බඳවා ගෙන තියෙන්නේ ක්‍රිකට් පරිපාලනයට ඕන විදියට බවත් මේ වාර්තාවෙන් හෙළි වෙනවා. හරි ක්‍රමවේදයක් බඳවා ගැනීමට අනුගමනය කරලා නැහැ...''යිද අර්ජුන රණතුංග මහතා මෙහිදී පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ක්‍රිකට් ආයතනයේ දින හයක සි. සි. ටී. වි දර්ශන අභිරහස් ලෙසට මැකී ඇති බවයි.


''ක්‍රිකට් ආයතනයේ සි. සි. ටී. වී. 32ක් තියෙනවා. පුදුම කියන්නේ දවස් හයක දර්ශන මේ සි. සි. ටී. වි. වලින් මැකිලා. මේ ගැන ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් පවා කර තියෙනවා. නමුත් දැන් සභාපතිතුමා කියනවා බටන් එකක් ටච් වීමෙන් දර්ශන මැකිලා, ඒ නිසා ඒ ගැන පරීක්ෂණයක් කරන්න එපා කියලා. ඒක පුදුම හේතු දැක්වීමක්. මේ දවස් හයේ දර්ශන මැකුණේ ඇයි ? ක්‍රිකට් ආයතනයෙන් ෆයිල් උස්සන් යනවා මේ දර්ශනවල තිබුණද ? මොකද මේ දර්ශන මැකිලා තියෙනවා කියන්නේ ජනාධිපතිවරණය පැවැති කාලේදී.''

යනුවෙන් පවසමිනි. ක්‍රිකට් තරග පාවාදීම් ගැන තොරතුරු ඇතුළත් හඬපට කිහිපයක් රන්ජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ළඟ ඇති බවත් එම හඬපට ප්‍රසිද්ධ කරන ලෙසට තමන් ඔහුගෙන් ඉල්ලා සිටි බවත් අර්ජුන රණතුංග මහතා මෙහිදී කියා සිටියේය.
වැඩිදුරටත් ඔහු අවධාරණය කළේ ක්‍රිකට් ආයතනයට කඩා පනින ලෙසට තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවයි. ක්‍රිකට් ක්‍රීඩාව විනාශයෙන් විනාශයට පත් වූයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කාලයේදී බවද ඔහු අවධාරණය කළේය. ඒ,

''අපේ කාලයේදී සූදුකාරයෝ රාජ්‍ය නායකයෝ ඇල්ලුවා. රාජ්‍ය නායකයෝ හොරු අල්ලන්න කලින් හොරු සූදුකාරයෝ ගිහිල්ලා රාජ්‍ය නායකයෝ ඇල්ලුවා. ඒ නිසා අපේ ආණ්ඩු කාලයේදී ක්‍රිකට් ක්‍රීඩාව හොරුන්ගෙන්, සූදුකාරයින්ගෙන්, දූෂිතයින්ගෙන් බේරා ගන්න බැරිවුණා. විශේෂයෙන්ම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ජනාධිපතිධුරයට ගේන්න මූලික වුණු කෙනෙක් මම. නමුත් කොච්චර සාකච්ඡා කළත් කොච්චර කරුණු පෙන්නුවත් මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ කාලයේදී ක්‍රිකට් ක්‍රීඩාව හරි මඟට ගේන්න බැරි වුණා. ක්‍රිකට් ක්‍රීඩාව විනාශම වුණු කාලය වුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කාලයේ. මොකද ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන පුද්ගලයෝ එතුමා තමන්ගේ ළඟට ගත්තා. ඒ පවෙන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ගැලවෙන්න ලැබෙන්නේ නැහැ. මම අදත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ගරු කරනවා. අපි සෑහෙන්න වැඩ කොටසක් කළා. නමුත් ක්‍රීඩාව පැත්තෙන් බැලපුවාම ක්‍රීඩාවට ගොඩාක් ප්‍රශ්න ආවා. චූදිතන්ව ආරක්ෂා කළා. ක්‍රිකට් ආයතනය විනාශ කළ සූදු කාරයෝ, බුකිකාරයෝ සිටියේ හිටපු ජනාධිපතිතුමාගේ රැකවරණය යටතේ. මම දන්න විදියට අද ක්‍රිකට් බෝර්ඩ් එකට නඩු හතලිකයට වඩා තියෙනවා. අපේ අවුරුදු 19න් පහළ කණ්ඩායම ලෝක කුසලානයේදී දහවැනි ස්ථානයට දක්වා පහු බැස්සා. එදා අපිට වඩා පහළින් සිටි බංග්ලාදේශ සහ ඇෆ්ගනීස්ථාන කණ්ඩායම් ඉදිරියට ඇවිල්ලා. 

ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිතුමා අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයකු ලෙසත් ඉන්නවා. ඉතිං රට හදනවා ශුද්ධ කරනවා, ඔක්කොම කරනවා කියලා ආපු අයටත් ඒ වගේ අය එක්කහු වෙනවා නම් එතැනින් එහාට අපිට ලොකු ප්‍රශ්නයක් තියනෙවා. එතුමාත් බස් ඩ්‍රයිවර් මාරු කළාද වගේද කියන ප්‍රශ්නයත් එතැන අපට තියෙනවා. හැබැයි එතුමා ගැන අපට ලොකු විශ්වාසයක් තියෙනවා, එතුමා හොඳ දෙයක් කරන්න හදනවා කියලා. එතුමා ජාතිය අමතා කළ කථාවේ කොටසක් මම දැන් කියන්න කැමැතියි. එතුමා කියනවා මගේ රජය විරුද්ධ මත ඉවසන්නට සෑම විටම සූදානම්. මාධ්‍යවලට අද සම්පූර්ණ නිදහස තියෙනවා. ඕනෑම අයකුට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි ලබා දී තියෙනවා කියලා. මේ ජනාධිපතිතුමාගේ හොඳ තීරණයක්. නමුත් පැතුම් විජේරත්න කියන මාධ්‍යවේදීයාට තහනමක් දාලා ක්‍රිකට් ආයතනයෙන්. මොකද්ද ඒකට හේතුව. එතුමා ක්‍රිකට් ආයතනයේ හොරකම් ලිවීම. එතොකොට ජනාධිපතිතුමා කියනවා මාධ්‍යයට සියලුම පහසුකම් ලබා දෙනවා කියලා. නමුත් ක්‍රිකට් ආයතනය ජනාධිපතිතුමාට වඩා උඩින් ගිහින්. අපි දැක්කා පහුගිය කාලේ ජනාධිපතිතුමා පැන්නා එක එක ආයතනවලට. ආර්. එම්. වී. එකට පැන්නා. තව ආයතන කිහිපයකට පැන්නා. නමුත් ජනාධිපතිතුමා මේ කතාව කළේ ක්‍රිකට් බෝර්ඩ් එක පැත්ත බලාගෙන. එතැන තමයි විශාලම හොරු ගොඩ ඉන්නේ. මම කියන්නේ ඉස්සෙල්ලාම පනින්න ඕන ක්‍රිකට් බෝර්ඩ් එකට. යනකොට ජනාධිපතිතුමා කිව්වොත් අපිත් එන්නම්, අපි හොරු ටිකත් පෙන්නන්නම්.'' යනුවෙන් පවසමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය සුරක්ෂිත වීමට නම් හංසයා ලකුණින් ඉදිරිපත් වන සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යෙන්ම ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ යුතු බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. 

නියම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් පොදුජන පෙරමුණට කැමැති නැති බව ද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ මිනුවන්ගොඩ ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික පිරිසක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ පැවසීය.

“නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය මේ පෙහොට්ටුවට කැමති නැහැ. ඒක ඇත්ත කතාවක්. මේ ඇත්ත කථාව සාක්ෂි සහිතව ඔපුප් කළේ ඇල්පිටිය ඡන්දෙදි. ඇල්පිටිය ඡන්දයට කලින් තමයි පොහොට්ටුවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි ගිවිසුම් අත්සන් කළේ. නමුත් ඇල්පිටිය ඡන්දෙදි පන්දාහකට ආසන්න ඡන්ද සංඛ්‍යාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබුණා. ඒකෙන් පෙන්නුම් කළේ තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය පොහොට්ටුවට යට‍ නොවී ස්වාධීනව සිටීමට කැමැති බව. පක්ෂයේ අනන්‍යතාවය ආරක්ෂා කර ගෙන සිටීමට කැමැති බව. නමුත් පොහොට්ටුව දින්නොත් බණ්ඩාරණායක මහත්තයගේ පින්තූරයක්වත් දාන්න දෙන එකක් නැහැ. සිරිමාවෝ මැතිනිය දකින එකකුත් නැහැ. මේ ලොකේ ප්‍රථම අගමැතිනිය. ඒ හින්දා අප ඉදිරි ජනාධිපතිවරණයෙන් පත් ක‍ළ යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තමන්ගේ දේශපාලන ක්‍රියාකාරම් කර ගැනීමට නිදහස දෙන පුද්ගලයෙක්. ඒ සඳහා අපට සිටින්නේ එක්සත් ජාතික පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතායි. ඒ හින්දා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හුඟක් අය අපත් සමඟ සාකච්ඡා  කරමින් සිටිනවා. අදත් එවැනි සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ සාකච්ඡා සාර්ථකයි. ඉදිරියේදී විශාල පෙරළියක් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ දෙනෙක් හංසයා ලකුණ වටා එක් වෙනවා.”

රට බෙදන , ඒකීයභාවයට හානීදායක කිසිම ගිවිසුමකට දෙමළ ජාතික සන්ධානය සමග හෝ වෙනත් කිසිදු සංවිධානයක් සමග නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ එකඟතාවයකට එළඹි නැති බවත් එවැනි රට විනාශ කරන ගිවිසුමක් තිබෙනවා නම් මම මුලින්ම මෙම පෙරමුණෙන් ඉවත්වෙන බව ප්‍රවාහන සිවිල්ගුවන් සේවා අමාත්‍ය  අර්ජුන රණතුංග මහතා පවසයි.

දොම්පේ කොට්ඨාසයේ එජාප පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවකදී අමාත්‍යවරයා එසේ පැවසුවේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

"සජිත් ප්‍රේමදාස මහතා දිනවිම රටට ආදරය කරන සැමගේ යුතුකමක් හා වගකීමක් වනවා. මුලදී සජිත්ට අපේක්ෂකත්වය නොදෙන බවට රාජපක්ෂවරුන් කදුළු හෙලුවා.  නමුත් දැන් ඔවුන් ඒ මහතාට අපහාස උපහාස කරනවා. ගමේ ජනතාව එක හඬින්ම ඉල්ලා සිටින්නේ සජිත් මහත්තයාට අපේක්ෂකත්වය ලබාදෙන ලෙසයි. 2015 රට තිබුණ තත්ත්වය කෙහොමද කියලා හිතා බලන්න 2010 මම සරත් ෆොන්සේකා මහත්මයාට උදවු කලා. 2015 මෛත්‍රීපාල මහත්තයට උදවු කලා .ඒ චන්ද්‍රිකා මහත්මිය සමග එක්වෙමින්. නමුත් 2015 පිහිටුවාගත් යහපාලන රජයේ ජනපති ,  අගමැති සමග ගැටලු ඇති වුන ප්‍රශ්න ඇති වුන වසර දෙකක් හොඳට රට ඉදිරියට ගියා. ඉන්පසුව අවුල් සහගතතත්ත්වයක් ඇති වුණා. ආර්ථිකය හැසිරවීමට මුදල් ඇමතිතුමා හා ආර්ථික කටයුතු ඇමතිතුමා කටයුතු කලා. ණය අධික වීම ප්‍රධාන ගැටලුවක් බවට පත් වුනා. නමුත් එවැනි තත්ත්වයක් යටතෙත් ගම්පෙරළිය වැනි ව්‍යාපෘති මගින් විශාල වැඩකොටසක් සිදුකලා."

"2015 බඩුමිලමයි අදත් තියෙන්නේ. මිල වැඩිවුණේ  නැහැ. ගැටලු ඇති වුණේ හවුල් ආණ්ඩුව නිසයි. අපි මෙවර තනි ආණ්ඩුවක් හදන්න ඕනෑ. එතකොට ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැ. අපි කල වැඩ ගැන ප්‍රචාරයක් කළේ  නැහැ. පලාලි ගුවන් තොටුපොළ  හදන්න වැය කළේ  ඩොලර් මිලියන 03යි. මත්තල ගුවන් තොටුපොළ  එදා ඩොලර් මිලියන 280ක් වැයකර තිබුණා. පලාලි ගුවන්තොටුපොළ  හදන්න මෙතරම් අඩු මුදලක් වැයවුයේ වංචා දුෂණ නැති නිසයි. අපි වංචා දුෂණ  නොකරන නිසයි. තව ටිකදිනකින් අභ්‍යන්තර  ගුවන් ගමන් ආරම්භ කරනවා.ලංගම දියුණු කිරිමේ වැඩපිළිවෙලත් ආරම්භ කොට තිබෙනවා. අලුතින් බඩරට 2000ක් ගෙවීමේ වැඩසටහන නිලධාරිවාදය නිසා ප්‍රමාද වුණා. ඉදිරියේදී  එය සාරථකව ක්‍රියාත්මක කරනවා."යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.

අමාත්‍යාංශවල කටයුතු ප්‍රමාද වීමට ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියා කලාපයද ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

වේයන්ගොඩ පැවති සම්මන්ත්‍රණයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
   
ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා මව්රට නම් සංවිධානය වේයන්ගොඩදී සම්මන්ත්‍රණයක් සංවිධානය කර තිබූ අතර අමාත්‍ය අර්ජුන රණතුංග මහතාද ඊට එක්ව සිටියේය.

තමන් අද පාර්ලිමේන්තුවේ සිටින්නේ කැමැත්තෙන් ද යන්න තමන්ටම ප්‍රශ්නයක් බවත් මාස 6ක පමණ කාලයක සිට රටේ අමාත්‍යංශ කිසිවක වැඩ නිසි ආකාරයෙන් සිදු නොවන බවත් ඒ මහතා කියා සිටියේය.

බස් රථ මෙරටට ගෙන ඒමට මුදල් අමාත්‍යංශයෙන් තමා කිසිදු මුදලක් ඉල්ලා සිටියේ නැති බවත් ආයෝජකයෙක් කැඳවීමට මුදල් අමාත්‍යංශය තමාට ඉඩ නොදෙන්නේනම් තමාට ඇති ඇමතිකමේ ඵලය කුමක්දැයි ඒ මහතා ප්‍රශ්න කර සිටියි.

දේශපාලකයන්ටම චෝදනා එල්ල කළද ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියා කලාපයන්ද අමාත්‍යාංශවල කටයුතු ප්‍රමාද වීමට විශාල ලෙස බලපාන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

කෙසේ වෙතත් හොඳ ප්‍රවාහන ක්‍රමයක් ඇති කිරීමට දරණ උත්සාහයට මුදල් අමාත්‍යාංශ නිලධාරීන් විරුද්ධ නම් එහි වගකීම ජනාධිපති හා අගමැති විසින් භාර ගත යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ සමහර අය හිතනවනම් තනිවම දිනන්න පුළුවන් කියලා මං  හිතන්නේ එගොල්ලෝ ලොකු කළුවර ගෙදරක ඉන්නේ යැයි ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය. 

“එක්සත් ජාතික පක්ෂයේ තියෙන ප්‍ර‍ශ්න ඒ පක්ෂයම විසදගන්න ඕන. ඒක අපිට අදාල ප්‍ර‍ශ්නයක් නෙවෙයි මොකද අපි එක්සත් ජාතික පාක්ෂිකයෝ නෙවෙයි. මම එක්සත් ජාතික පෙරමුණේ ඉන්නේ. එකසත් ජාතික පක්ෂයේ තියෙන ප්‍ර‍ශ්නවලට අත ගහන්න අපිට අයිතියක් නැහැ. ඒ නිසාම එකසත් ජාතික පක්ෂය ප්‍ර‍ධාන පක්ෂයක් ලෙස දැන ගන්න ඕන ඔවුන්ගේ ප්‍ර‍ශ්න විසද ගෙන එන්න. අපි අවුරුදු දෙකක් තිස්සේ මේ සන්ධානය හදන්න අපි අගැමතිතුමත් එක්ක සාකච්ඡා කළා. අගමැතිතුමා එක්ක වගේම එක්සත් ජාතික පක්ෂයේ සියලු නායකයෝ ඒ කියන්නේ සජිත් හිටියා, රවි හිටියා, මංගල හිටියා, කබීර් හෂීම් හිටියා, මලික් හිටියා, මේ ඔක්කොම නායකයෝ එක්ක තමයි මේ සංධානය හදන්න අපි සාකච්ඡා කළේ. එය ඉදිරියට ඇවිල්ලා අන්තිම ටික තමයි තියෙන්නේ. නමුත් හැමදාම එක්සත් ජාතික පක්ෂය කලබල වෙනවා ඡන්දයක් එනකොට. නායකයෝ වැඩි වෙනවා. හැබැයි එක්සත් ජාතික පක්ෂය හිතනවනම් ඔවුනට තනියම ඉල්ලලා දිනන්න පුළුන් කියලා ඉතිං ඒක කළාට අපිට ප්‍ර‍්ශ්නයක් නැහැ. සමහර පක්ෂවල ඉන්නවා හරි දක්ෂ කතා කාරයෝ. ඒගොල්ලෝ වැඩ නැහැ. එගොල්ල්ලෝ දන්නේ නැහැ ආණ්ඩුවක් දුවන්නේ කොහොමද කියලා. ඒක ආවාසනාවක්. එක්සත් ජාතික පක්ෂයේ සංධානයට විරුද්ධව ඔය කෑගහන පොඩි අය දැන ගන්න දින පනස් දෙකේදී අපි හතර පස් දෙනා අනිත් පැත්තට ගියානම් මොකද වෙන්නේ කියලා. ඒ ගොල්ලන්ට අද කෑ ගහන්නවත් ලැබෙන්නේ නැහැ. නමුත් අපි හතර පස්දෙනා තීරණාත්මකව හිටියා, අපි ප්‍ර‍තිපත්තියක හිටියා. නමුත් එක්සත් ජාතික පක්ෂය ඇතුළේ තියෙන ප්‍ර‍ශ්න ඔවුනට විසද ගන්න බැහැයි කියලා අපිට පෙනෙන්න තියෙනවා. යම්කිසි විදයකින් එක්සත් ජාතික පක්ෂයේ සමහර අය හිතනවනම් තනිවම දිනන්න පුළුවන් කියලා මං හිතන්නේ එගොල්ලෝ ලොකු කළුවර ගෙදරක ඉන්නේ. ගිය 2015 මැතිවරණෙදි ඔය මොන නායකයෙක් එක්ක හරි එක්සත් ජාතික පක්ෂය තනිවම ඉල්ලුවනම් අනිවාර්යෙන්ම පරදිනවා."

"පසුගිය ජනාධිපතිවරණයේදී අපි මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සමග චන්ද්‍රිකා මැතිනිය, දුමින්ද, අපි චම්පිකලා, රාජිතලා සියල්ලම එකතුවෙලා එලියට බැස්සේ පැවැති පාලනය වෙනස් කරන්න. එහෙම කරලත් අපි ඉතාමත් සුළු චන්ද ප්‍ර‍මාණයකින් දිනුවේ. හැබැයි එක්සත් ජාතික පක්ෂය හිතනවනම් ඒ අයට තනිවම දිනන්න පුළුවන් කියලා මං පුද්ගලිකව හිතනවා අපි පැත්කකට වෙලා එක්සත් ජාතික පක්ෂයට දිනන්න දිලා ඉන්න ඕන කියලා. එකයි මගේ පුද්ගලික මතය. මං සමහර වෙලාවට  ඒ වගේ තීරණයකට යන්න  පුළුවන්  ඉස්සරහට. ඒකොහොම වුණත් මම නැවත කියන්නේ එක්සත් ජාතික පක්ෂය මේ සන්ධානය එක්ක එකට එකතුවෙලා ගියොත් මේ ඡන්දය දිනන්න පුළුවන්. එහෙම නැත්නම් මං වගකීමකින් කියන්නේ, සන්ධානයේ ඉන්න අනිත් පක්ෂටික නැතුව එක්සත් ජාතික පක්ෂය දිනන්න පුළුවන් කියලා හිතනවනම් මං හිතන්නේ ඒක ලොකු මුලාවක්. එහෙම කරනවනම් ඒකේ වගකීම ඔය කෑගහන හ්‍රුගදෙනෙක් ගන්න ඕන. පැරදුනොත් මේ රටේ ඉන්න එක්සත් ජාකික පාක්ෂිකයෝ  සියලුදෙනාටම එගොල්ලෝ වග කියන්න ඕන.”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය පවතින්නේ ඉතාම දරුණු තත්ත්වයක බවත්  නිමාවූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී සහ අවසාන වසර දෙක තුළ එය අපිට පැහැදිලිවම පෙනුණ බවත් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ අර්බුදය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වංචා දූෂණ රැසක් ද එහිදී හෙළි කරන ලදි.

විශේෂයෙන්ම අයි සී සී ශ්‍රේණි කිරීම්වල එක දෙක තුන සිට අපි දැන් මේ වන විට දරුණු පසුබෑමකට ලක්ව තිබෙන බවත් කෙසේනමුත් මේ තත්ත්වය ඉදිරියට ගියහොත් අයිසීසී පළමුපෙළ කණ්ඩාම් දොළෙහෙනුත් පහළට යාමේ අවධානමක් තිබෙන බවත් ඒ ගැන ක්‍රීඩා අමාත්‍යවරයාගේ සහ රජයේ අවධානය යොමු වීම වැදගත් බවත් පැවසිය.

ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය පවතින්නේ ඉතාම දරුණු තත්ත්වයක. නිමාවූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී සහ අවසාන වසර දෙක තුළ එය අපිට පැහැදිලිවම පෙනුණා. විශේෂයෙන්ම අයි සී සී ශ්‍රේණි කිරීම්වල එක දෙක තුන සිට අපි දැන් මේ වන විට දරුණු පසුබෑමකට ලක්ව තිබෙනවා. එදා රටවල් අටක් පමණයි ටෙස්ට් ක්‍රීඩා කළේ. අද රටවල් දොළහක් ක්‍රීඩා කරනවා. කෙසේනමුත් මේ තත්ත්වය ඉදිරියට ගියහොත් අයිසීසී පළමුපෙළ කණ්ඩාම් දොළෙහෙනුත් පහළට යාමේ අවධානමක් තිබෙනවා. ඒ ගැන ක්‍රීඩා අමාත්‍යවරයාගේ සහ රජයේ අවධානය යොමු වීම වැදගත් යැයි මම සලකනවා.  අද ජාත්‍යන්තර ජයග්‍ර‍ණවල පිපාසයක් අපේ රටට දැනෙනවා. අපේ රටට ජාත්‍යන්තර වශයෙන් ඉමහත් කීර්තියක් ගෙනදුන් ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රීඩා ලෝලීන්ගෙන් ඈත් වෙමින් පවතිනවා. එවන් තත්ත්වයක් හමුවේ ක්‍රිකට් ක්‍රීඩාව සූදුකාරයින්ගෙන් සහ වංචනකයින්ගෙන් බේරා ගැනීමේ සටන වේගවත් කරන්නැයි ක්‍රීඩා ලෝලීන් මගෙන් නොයෙක් වර ඉල්ලා සිටිනවා. අද මම මේ ගරු පාර්ලිමේන්තුවේදී මේ විශේෂ ප්‍ර‍කාශය සිදු කරන්නේ එම හේතුව නිසාබවද ප්‍ර‍කාශ කරනවා.

ගරු කථානායකතුමනි, ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ අපට ක්‍රීඩාවක් පමණක් නෙමෙයි. එය අපේ හදවත්වලට සමීප ආගමක් වැනියි. අපේ හදවත්වලට සමීප සංස්කෘතියක්. එහි දියුණුවේ ගමන 1980 දශකයේදී ආරම්භ වන්නේ ගාමිණී දිසානායක මැතිතුමාගේ මූලිකත්වයෙන්. එතුමා ක්‍රිකට් සභාපති ලෙසට රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සහයෝගයෙන් ක්‍රිකට් ක්‍රීඩාව ක්‍ර‍ම ක්‍ර‍මයෙන් දියුණුව කරා ගෙන ඒමට අඩිතාලම සකස් කළා. ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව උදෙසා එතුමා නිසල් සේනාරත්න, නීල් පෙරේරා, අනුරුද්ධ පොලොන්නෝවිට, රාජ මහේන්ද්‍ර‍න්, අබු ෆුවාඩ්, ලියෝ විජේසිංහ සහ දහම් විමලසේන වැනි ක්‍රිකට් ක්‍රීඩාවට අවංකවම හදවතින් ආදරය කරන හොරකම් සහ දූෂණය පිටුදකින මහත්මා ගුණයෙන් යුත් පරිපාලකයින්ගේ දායකත්වය ලබා ගත්තා. ලංකාවට ටෙස්ට් වරම් හිමි කර දී ක්‍රිකට් ක්‍රීඩාව නිවැරදි දිශාවකට යොමු කළා.

ගරු කථා නායකතුමනි, ගාමිණී දිසානායක මැතිතුමා අපට ටෙස්ට් වරම ලබා දෙන්නේ 1981වර්ෂයේදී. ශ්‍රී ලංකාව එක් වූ පළමුවැනි ටෙස්ට් තරගය 1982 පෙබරවාරී මාසයේදී ශ්‍රී ලංකාවේදීම පැවැත්වුණා. එතැන් සිට වසර 37ක් ගෙවුණු මේ ඉතිහාසයේදී හිටපු රාජ්‍ය නායකයින්, ක්‍රීඩා අමාත්‍යවරුන් සහ ක්‍රිකට් පරිපාලකයින් ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට කළ සේවාව මම මේ අවස්ථාවේදී අගය කරනවා. ක්‍රිකට් ක්‍රීඩාවට ඔවුන් දැක්වූ මේ සංවේදී බව නිසාම 1996 වර්ෂයේදී ලෝක කුසලානය දිනා ගැනීමට අපට හැකි වූ බවද මම මේ අවස්ථාවේදී ප්‍ර‍කාශ කරනවා.

ගරු කථානායකතුමනි, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවත්වන ප්‍ර‍ධාන තරගාවලිවල මුදුන් මල්කඩ වන්නේ ලෝක කුසලාන එක්දින පන්දුවාර පනහේ ක්‍රිකට් තරගාවලිය. එය ආරම්භ වන්නේ 1975 වර්ෂයේදී. කෙසේනමුත් ඉතා කෙටි කලකින් ටෙස්ට් වරම් දිනාගත් ශ්‍රී ලංකාවට ඉතා කෙටි කලකදීම එනම් 1996 වසරේදී මේ ක්‍රිකට් කිරුළ දිනා ගැනීමට හැකි වුණා. ක්‍රිකට් ක්‍රීඩාව උපන් එංගලන්තයට පවා එවැනි දස්කමක් දැක්වීමට හැකි වුණේ නැහැ. එංගලන්ත කණ්ඩායම පළමුවරට ලෝක කුසලානයක් දිනා ගත්තේ මේ වසරේදී. ඒ නිසා 96 වර්ෂයේදී ශ්‍රීලංකාව ලෝක ක්‍රිකට් කිරුළ දිනා ගැනීම මෙරට ක්‍රිකට් ඉතිහාසයේ කේන්ද්‍රීය අවස්ථාවක්. මෙම යුගයේදී ආනා පුංචිහේවා මැතිතුමාගේ දායකත්වය මම මේ අවස්ථාවේ සිහිපත් කරනවා. මේ ජයග්‍ර‍ණයත් සම ක්‍රිකට් ක්‍රීඩාවට මුදල් වේගයෙන් ගලා ආවා. ඒ සමම ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්නට නොව ක්‍රිකට් ක්‍රීඩාවෙන් තමන් දියුණුවන්නට මාන බැලූ පිරිසක්ද ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනය අත්පත් කර ගත්තා. ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාව සූදුවට සහ ඔට්ටු ව්‍යාපාරයට ගොදුරු කළා.

ගරු කථානායකතුමනි, අපේ රටේ සූදු ව්‍යාපාරය සහ ක්‍රිකට් ක්‍රීඩාව ගැන සහන් කිරීමේදී මුලින්ම කියවෙන්නේ හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ නම. ඔහු තම පවුල සූදු ව්‍යාපාරයට ඍජුවම සම්බන්ධ බව මේ උත්තරීතර පාර්ලිමේන්තුවේදී පවා පිළිගත්තා. කෙසේනමුත් 2015ට පෙර හිටපු ජනාධිපතිවරුන් මෙන්ම ක්‍රීඩා අමාත්‍යවරුන් ක්‍රිකට් ක්‍රීඩාව සූදු ව්‍යාපාරයෙන් බේරා ගැනීමට කටයුතු කළා. නීති රෙගුලාසි හුන්වා දෙමින් ක්‍රිකට් ක්‍රීඩාවට නීතිමය ආවරණයක් දුන්නා. සුමතිපාල මහතා සහ ඔහුගේ මාෆියාව ක්‍රිකට් පරිපාලනයට පැමිණ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරද්දි එස්. බී. දිසානායක, ලක්ෂ්මන් කිරි ඇල්ල, සහ ජීවන් කුමාරතුංග යන හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් අතුරු කමිටු පත් කරමින් ක්‍රිකට් ක්‍රීඩාව බුකීකරණයෙන් සහ දූෂණය වංචාවෙන් බේරා ගත්තා. ඒ නිසාම ශ්‍රී ලංකාවට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජයග්‍ර‍හණ ලබා ගැනීමට හැකි වුණා. 2014 විස්සයි විස්ස ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වීම එයින් එක් වැදගත් ජයග්‍රහණයක්. 1996 සිට 2015 දක්වා කාලයේදී ලෝක තරගාවලි හතක අවසන් තරගවලට පිවිසීමටත් අපට හැකි වුණා. කෙසේනමුත් මේ තත්ත්වය 2015න් පසුව සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.

ගරු කථානායකතුමනි, 2015 ජනවාරි අටවැනිදා විප්ලවය සම මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සියලු ක්‍රීඩා ලෝලීන් එක්ව සිටියා. ක්‍රිකට් ක්‍රීඩකයින් පරිපාලකයින් එක්ව සිටියා. යහපාලන සිද්ධාන්ත මත ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාම ඔවුන්ගේ අපේක්ෂාව වුණා. නමුත් මේ යහපාලන ආණ්ඩුව යටතේ සිදුවුණේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත වරක් බුකීකරණයටම ගොදුරු වීම බව මම ප්‍රකාශ කරනවා. 2015න් පසුව අපිට ජාත්‍යන්තර ජයග්‍ර‍හණ අහිමි වුණා. ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රීඩාශීල්ත්වය ජීව ගුණය නැති වුණා. තරගපාවා දීම් එළිපිටම සිදු වුණා. කළුතර - පානදුර තරගයේ තරග පාවාදීම ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මණ්ඩලයේ උප ලේකම් වූ රවීන් වික්‍රමරත්නගේ මැදිහත්වීමෙන් සිදුවුණා. ලංකා කණ්ඩායම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලින් පහළම සිටි සිම්බාබ්වේ කණ්ඩායමට පවා සැක කටයුතු ලෙස පරාජය වුණා. ක්‍රිකට් ක්‍රීඩාවේ අත්තිවාරම වන පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම නොසලකා හැරියා. එස්. සී. සී. සහ එන්. සී. සී. වැනි වැදගත් ක්‍රීඩා සමාජවලට ලබා දෙන මුදල් කපා හැරියා. ක්‍රීඩකයින්ගේ පෝෂ්‍යදායි ආහාර පවා කපා හැරුණා. කණ්ඩායමේ ස්ථාවරත්වක් නැති කෙරුණා.

ගරු කථානායකතුමනි, මේ අවුරුදු හතරට නායකයෝ හත් දෙනක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට පත් කර තිබෙනවා. කළමනාකරුවන් 5 දෙනෙක් පත් කෙරුණා. පුහුණුකරුවෝ 4දෙනෙක් පත් කෙරුණා. කණ්ඩායම් හැීම නැති කළා. ඉතාම කණගාටු දෙය නම් ජාතික කණ්ඩායමේ නිල ඇුමේ සිංහ ලාංඡනය ඉවත්කර කැස්බෑවකුගේ ලාංඡනයක් දැමීම. මෙසේ සිංහයාගේ ලාංඡනය ඉවත් කර කැස්බෑවකුගේ ලාංඡනය නිල ඇඳුමට යෙදුවේ ඇයිදැයි ප්‍රශ්න කළ විට, එම නිල ඇඳුම වෙරළට එකතුවන පොලතින් අපද්‍රව්‍ය ආශ්‍රයෙන් සාදා ඇති බවත්  එම අපද්‍රව්‍යවලින් වැඩිම හානියක් වනුයේ කැස්බෑවට බවත් එමනිසා කැස්බෑවාගේ ලාංඡනය නිල ඇඳුමට යෙදූ බවත් ප්‍රකාශ කෙරුණා. මේ කුමක් කීවත් සිංහයාගේ ලාංඡනය ජාතික කණ්ඩායමේ  නිල ඇඳුමෙන් ඉවත් කිරීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ. සිංහයා අපේ රටේ අනන්‍යතාව පෙන්නුම් කරන ජාතික සංකේතයක්. එම ජාතික සංකේතය ක්‍රිකට් නිල ඇඳුමෙන් ඉවත් කිරීමේ සැබෑ හේතු කවරේදැයි සොයා බැලීමට පරීක්ෂණයක් කළ යුතු යැයි මම යෝජනා කරනවා. ඉදිරියේදී කැස්බෑවගේ ලාංඡනය ඉවත් කර රේස් අශ්වයකුගේ ලාංඡනය දායිද කියලත් සැකයක් තියනවා. ඒතරමට වත්මන් ක්‍රිකට් පරිපාලනය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශය කරා ගෙන යමින් තිබෙනවා.

ගරු කථානායකතුමනි, වත්මන් යහපාලන ආණ්ඩුවේ දූෂිතම ක්‍රීඩා ආයතනය ක්‍රිකට් ආයතනය බව මම පවසනවා. 2015න් පසුව සුමතිපාල පාර්ශ්වය ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණෙන්නෙම දූෂණයට සහ වංචාවට හොරකම අවශ්‍ය පසුබිම සකස් කර ගනිමින්. 2015ට පෙර ක්‍රීඩා නීතිය අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික තනතුරට පත් විය හැක්කේ වරලත් ගණකාධිකාරිවරයකුට පමණයි. නමුත් 2015න් පසුව මේ ක්‍රීඩා නීතිය ගිණුම් ලිපිකරුවකුට (Accountant Clark) වුවද දැරිය හැකි ලෙස වෙනස් කර ගනු ලැබුවා. ඒ නීතිය මතින් සුමතිපාල පාර්ශ්වය කිසිු සුදුසුකමක් නැති ෂම්මිද සිල්වා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික ලෙසට පත් කර ගත්තා. එපමණක් නොව ගිණුම්කරණය පිළිබඳ වෘත්තීය සුදුසුකම් සහ දීර්ඝ කාලීන පළපුරුද්දක් ඇති, වසර ගණනාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවය කළ, මූල්‍ය අංශයේ ප්‍ර‍ධාන කළමනාකාරිනිය සහ කළමනාකරුන් දෙදෙනා සුමතිපාල පාර්ශ්වය විසින් අකාරුණික ලෙස ඉවත් කෙරුණා. ඒ වෙනුවට හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාගේ ලක්බිම පුවත්පතේ සේවය කළ පුද්ගලයකුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය පරිපාලනය භාර දුන්නා. එතැන් සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වංචාව දූෂණය හොරකම වේගවත් වුණා.

ගරු කථානායකතුමනි, 2015 සිට මේ දක්වා සුමතිපාල පාර්ශ්වය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වූ හොරකම්, වංචා දූෂණ අප්‍ර‍මාණයයි. ඒ අතරින් තරග විකාශන අයිතින්වලින් මුදල් ගසා කෑම ඉදිරියෙන්ම තිබෙනවා. නිමාවූ ශ්‍රී ලංකාවේ එංගලන්ත තරග සංචාරයේ විකාශන අයිතිය හිමි කර ගෙන තිබුණේ සෝනි සමාගම. එම සමාගම විසින් එකී තරග විකාශන අයිතිය මිලදී ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගෙවිය යුතු මුළු මුදලින් අමෙරිකානු ඩොලර් මිලියන 5යි දශම පහක් එනම් රුපියල් රුපියල් කෝටි 89ක  පමණ මුදලක් හොංකොංවල පෞද්ගලික ගිණුමක් හරහා හොරකම් කිරීමට ගත් වංචනික උත්සාහයක් සැකයෙන් තොරව දැන් අනාවරණය වී තිබෙනවා.

හොංකොංවල එම පෞද්ගලික ගිණුමට මේ රුපියල් කෝටි 89ක මුදල බැර කිරීමට සෝනි සමාගමට උපදෙස් දී තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය  මෙහෙයුම් කළමනාකරුගේ රාජකාරී ඊමේල් ලිපිනයෙන්. හොංකොංහි බැංකු ගිණුම ෆන්යා සිලූ” නැමැති සමාගමකට අයත් බවත් එහි හිමිකරු චීන ජාතිකයකු බවත් තනිපුද්ගල ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කර ඇති බවත් එම සමාගම දැන් වසා ඇති බවත් අනාවරණය වෙනවා. කෙසේනමුත් මේ වංචාව යට ගැසීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති, පත් කළ මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා මේ ගරු සභාව  නොම යැවීමේ ප්‍ර‍කාශ නිකුත් කළ බව පෙනෙන්නට තිබෙනවා.

පසුගිය මාර්තු 18 වැනි දින මේ ගරු සභාවට පත්කළ මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබිය යුතු ඩොලර් මිලියන 5යි දශම පහ එනම් රුපියල් කෝටි 89ක පමණ මුදල හොංකොංවල පෞද්ගලික ගිණුමකට බැර කරන ලෙසට උපදෙස් දුන් ඊමේල් පණිවිඩය සයිබර් ප්‍ර‍හාරයක් නිසා සිදු වන්නට ඇති බවත් විදෙස් ගිණුමකට මුදල් ගියේ නම් ඒවා නැවත ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙන බවද පත්කළ මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසා තිබුණා. නමුත් එම ඊමේල් පණිවිඩය සයිබර් ප්‍ර‍හාරයක් නිසා සිදුවූවක් නොව හිතාමතාම යැවූවක් බව දැනට කළ පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා. ඒ බව තහවුරු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තොරතුරු අංශ ප්‍ර‍ධානී නදීශාන් සූරියආරච්චිගේ මහතා එම ඊමේල් පණිවිඩය තම සවර් එකෙන්ම (Server) ගිය බව 2018. 09. 13 වැනිදා ප්‍ර‍වෘත්ති සාකච්ඡාවකදී ප්‍ර‍කාශ කළා.

ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් වංචා කිරීමට උත්සාහ කිරීම සයිබර් ප්‍රහාරයක් නොවන බව තහවුරු කිරීමට තවත් සාක්ෂි තියෙනවා. විශේෂයෙන්ම ලෝක ප්‍රකට පරිගණක සමාගම (Microsoft) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිගණක මෙහෙයුම් පද්ධතියට කිසිදු ආකාරයක අනවසර ඇතුළු වීමක් සිදු නොවූ බව තහවුරු කර තිබෙනවා. එම සමාගමේ මෙරට කාර්යාලයේ කළමනාකරුද අදාල පරීක්ෂණවලින් පසුව එවැනි අනවසර ඇතුළුවීමක් නොමැති බව තහවුරු කරනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිගණක මෙහෙයුම් පද්ධතියේ වගකීම් දරන මෙරට ප්‍රධාන පෙළේ සන්නිවේදන ආයතනයද ඒබව තහවුරු කර තිබෙනවා.  සෝනි සමාගමද මෙරට සිටින සිය නියෝජිතවරිය  හරහා තමන්ගේ සමාගමේ පරිගණක මෙහෙයුම් පද්ධතියටද කිසිදු ආකාරයක අනවසර ඇතුළු වීමක් සිදුව නොමැති බව තහවුරු කර තිබෙනවා.

ගරු කථානායකතුමනි, මා පැවසූ මේ සියලු තොරතුරු දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ගරු අධිකරණයට දන්වා තිබෙනවා. ඒ අනුව මෙය තිලංග සුමතිපාල මහතා කියන පරිදි සයිබර් ප්‍රහාරයක් නොවන බව ඉතා පැහැදිලිව පෙනෙනවා. ඒ වගේම පත්කළ මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා කියූ ලෙසින් කිසියම් ගිණුමකට මුදල් බැර වූ විට එය නැවත ලබා ගැනීමේ හැකියාවක් තිබේදැයි මම දන්නේ නැහැ. සමහර විට සිදුවීමට ගිය මේ මුදල් වංචාවේ මහමොළකරු ඔහු විය හැකි නිසාත් හොංකොංහි ගිණුම ඔහුගේ හෝ ඔහුට සමීප කෙනෙකුට අයිති විය හැකි නිසාත් එම මුදල් නැවත ගෙන්වා ගැනීමේ හැකියාවක් ඇති බවට සුමතිපාල මහතා ප්‍ර‍කාශ කරන්නට ඇති.

ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් විදේශ ගිණුමක් හරහා හොරකම් කිරීමට උත්සාහ කිරීම බරපතල තත්ත්වයක්. කෙසේනමුත් හොරකම පැහැදිලිව තිබියදීත් හොරා පැහැදිලිව හුනා ගත හැකිව තිබියදීත් නීතිය ක්‍රියාත්මක වීම මන්දගාමීව සිදුවීම ගැන මම මගේ කණගාටුව ප්‍ර‍කාශ කරනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මහජනතාවට වගකිව යුතු ආයතනයක්. මේ ආයතනයේ මුදල් සොරා ගැනීමට උත්සාහ කිරීම් පමණක් නොව ඇතැම් විට මේ ආයතනයේ මුදල්වලට වුණු දෙයක් නැහැ.

ගරු කථානායකතුමනි, දකුණු අප්‍රිකානු සංචාරයේ විකාශන අයිතිය වෙනුවෙන් සෝනි සමාගම මෙරටට ගෙවිය යුතු අවසන් වාරිකය වුණේ අමෙරිකානු ඩොලර් එක් ලක්ෂ අසූ හත්දහස් අටසිය හැත්තෑ පහයි ශත හැත්තෑ පහක මුදලක්. 1 87 084.75 )රුපියල්වලින් මිලියන 33ක්. මේ අති දැවැන්ත මුදල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල් අංශ ප්‍ර‍ධානියාගේ උපදෙස් මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැන්වූ ගිණුමකට බැරකළ බව සෝනි සමාගම පවසනවා. එම ගෙවීම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලිපි ශීර්ෂවල වගකිව යුතු නිලධාරීන්ගේ අත්සන්ද සහිතව ලැබුණු ඉන්වොයිස් පත්වලට අනුව සිදු කළ බවද සෝනි සමාගම පවසනවා.

සෝනි සමාගම සිය ගෙවීම් සිදු කෙරුණු ගිණුම වන්නේ අමෙරිකාවේ බී.බී.වී. කොම්පාස් බැංකුවේ අංක 67 61 60 38 74 දරණ ගිණුම. සෝනි සමාගම විසින් 2018 වසරේ අගෝස්තු මාසේ දෙවැනිදා එම ගිණුමට මුදල් බැර කර තිබෙන්නේ ඉන්දියාවේ ඩොයිෂ් බැංකුව මගින්. කෙසේනමුත් එම මුදල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබී නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ගිණුමකට ලැබී නැහැ. සෝනි සමාගම මුදල් ගෙවූ 2018 වසරේ අගෝස්තු මාසේ දෙවැනිදාම අමෙරිකාවේ බී.බී.වී. කොම්පාස් බැංකුවේ අබිරහස් ගිණුමේ මුදල් සියල්ලම එළියට ගෙන ගිණුම වසා තිබෙනවා. වෙනත් විදියකින් කියනවා නම් මේ දැවැන්ත මුදලට, රුපියල් මිලියන් තිස්තුනට වුණු දෙයක් නැහැ. එම මුදල කවුරුහරි හොරකම් කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේම කවුරු හරි හොරකම් කර තිබෙනවා.

ගරු කථානායකතුමනි, යහපාලන රජය යටතේ අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්පූර්ණයෙන්ම හොරගුහාවක් බවට පත් වී අවසන්. බුකීකරුවන් සහ සූදුකාරයින් මේ ක්‍රිකට් ආයතනයේ මුදල් තමන්ගේ සුඛවිවරණයට වියදම් කරමින් සිටිනවා. නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ විකාශන අයිතිය විකුණමින් කොමිස් මුදල් පිටස්තර සමාගමකට ලබා දුන්නා. ඒ ගැන තොරතුරු විමසා සිටින විට මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන ලේකම් මොහාන්ද සිල්වා මේ උත්තරීතර පාර්ලිමේන්තුවට බොරු ප්‍රකාශ කර නොමඟ යැවුවා. නිමාවූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විකාශන අයිතිය හිමි කරගත්තේ කිරිබත්ගොඩ රෙදි කඩයක්. ක්‍රිකට් ආයතනය ඒ රෙදි කඩයට සල්ලි දීලා විකාශන අයිතියේ නිෂ්පාදනය තමන්ගේ ගෝලයකුට ලබා දුන්නා.  පසුගිය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දිරි ගැන්වීමේ ගීතයට පමණක් රුපියල් ලක්ෂ 60ක් වියදම් කළා. ගීතය එළි දැක්වීමේ උත්සවයට තවත් රුපියල් ලක්ෂ 15ක් වැය කළා.

ලෝක කුසලාන තරගාවලිය නැරඹීමට තමන්ට ඡන්දය දුන් 37දෙනකුට වඩා මුදල් ලබා දුන්නා. ක්‍රිකට් ආයතනයේ නම භාවිත කරමින් වීසා ලබා ගත් ඔවුන් නැවත ලංකාවට පැමිණ ඇත්දැයි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය හරහා පරීක්ෂණයක් පැවැත්විය යුතුයැයි මම යෝජනා කරනවා. ඒ වගේම වැඩිමුදලට ප්‍රවේශ පත්‍ර‍මිලදී ගත්තා. නමුත් අපේ රටේ පාසලට ගමේ දරුවන්ට ක්‍රිකට් කී‍්‍රඩාව සහා අවශ්‍ය පහසුකම් ලබා දෙන්නේ නැහැ. ගමේ කී‍්‍රඩකයින්ට අවශ්‍ය බෝලයක් බැට් එකක් ලබා දෙන්නේ නැහැ. ගමේ පාසලටගමට බැට් එකක් බෝලයක් නොදී අපි කොහොමද ලෝකය දිනන්නේ. 

ගරු කථානායකතුමනි, අවුරුදු හතරමාරක් මේ යහපාලන ආණ්ඩුව යටතේ ක්‍රිකට් විනාශ වුණා. ප්‍ර‍වීණ ක්‍රීඩකයින් නොසලකා හැරියා. විශේෂයෙන්ම අනූහයේ ජයග්‍රාහී ක්‍රීඩකයින් හෑල්ලුවට ලක් කළා. අද සනත් ජයසූරිය ක්‍රීඩා තහනමකට ලක්ව සිටිනවා. ඔහු ඒ තත්ත්වයට පත් කළේ කවුද ? ඔහු ඒ තත්ත්වයට පත් වුණේ කාගේ පාලනය යටතේද ? මේ සිද්ධියේ මහමොළකරු කවුද ? සනත් ජයසූරිය වෙනුවෙන් අද ක්‍රිකට් ආයතනය පෙනී සිටින්නේ නැහැ. ඔහු බිල්ලට දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සුමතිපාල පාර්ශ්වයේ අය අත පිහදාගෙන ඉන්නවා.

ගරු කථානායකතුමනි,  මේ ආණ්ඩුවේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරු විශාල වශයෙන් මේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළා. සූදු කාරයින්ට නැවත වරක් බලය අල්ලන්න අවස්ථාව ලබා දුන්නා. ක්‍රිකට් පරිපාලනය කරන සූදු කාරයොත් ක්‍රීඩා අමාත්‍යවරුන්ට යටි අල්ලස් දුන්නා. හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රදේශයේ හෙට්ටිපොළ ක්‍රීඩාංගණය හදන්න 2017 වර්සයේදී රුපියල් මිලියන 55 ලබා දුන්නා. නැවත රුපියල් මිලියන 65ක් ලබා දුන්නා. මුළු මුදල රුපියල් මිලියන 120ක්. මෙම හෙට්ටිපොළ ක්‍රීඩා සමාජය ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වයවත් නැති ක්‍රීඩා සමාජයක්. එවැනි සාමාජිකත්වය නැති අයට මුදල් ලබා දීම නීති විරෝධියි.  දැන් ඉන්න ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රදේශයේ බදුල්ල ක්‍රීඩාංගණයක් හදන්නත් මෙවර ක්‍රිකට් නිලවරණයට පෙර රුපියල් මිලියන 45ක් දුන්නා. ඡන්දයෙන් පසුව තව මිලියන හැටක් ලබා දී තිබෙනවා. සියල්ලම මිලියන 105ක් වනවා. මේවා එක්තරා විදියකින් යටි අල්ලසක් විදියටයි මම දකින්නේ. එම යටි අල්ලස්වල ප්‍ර‍තිඵලයක් ලෙසට තවදුරටත් ක්‍රිකට් ආයතනයට හොරකම් කිරීමේ අවස්ථාව සලසා ඇතිබව පෙනෙන්නට තිබෙනවා. මෙවැනි දොළ පිදේනි දෙමින් ක්‍රීඩා අමාත්‍යවරුන් තමන්ට නතු කර ගැනීම මොවුන්ගේ ක්‍රමවේදය බවත් මට පෙනෙන්න තියෙනවා. ඒ අනුව එවැනි සුළු දේවල්වලට ක්‍රීඩාව පාවා නොදෙන ලෙසද මම සියලු දෙනාගෙන් ක්‍රීඩාවේ නාමයෙන් ඉල්ලා සිටිනවා.

ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය මහා සභා රැස්වීමට පෙර සිය විගණන කළ ගිණුම ප්‍ර‍කාශයට පත් කළ යුතුයි. එය ක්‍රීඩා නීතියේ ප්‍රමුඛ කරුණක්. නමුත් පසුගිය මහා සභා රැස්වීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම් ඉදිරිපත් කෙරුණේ නැහැ. වත්මන් ක්‍රිකට් පරිපාලනය හොඹවන සුමතිපාල පාර්ශ්වය එය ම හැරියා. වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාත් එයට ඉඩ ප්‍ර‍ස්තා ලබා දෙමින් විගණන කළ ගිණුම් වාර්තා ප්‍ර‍කාශ කිරීමට සුමතිපාල පාර්ශ්වයට නොවැම්බර් මාසය දක්වා කල් ලබා දී තිබෙනවා. අද ක්‍රිකට් ආයතනයේ මූල්‍ය වංචා මහා පරිමාණයෙන් සිදු වනවා. එවැනි අවස්ථාවක විගණනය කළ ගිණුම් වාර්තා ඉදිරිපත් නොකිරීමට උදව් දීම පිළිකුලෙන් යුතුව ප්‍ර‍තික්ෂේප කළ යුතු දෙයක් නොවේදැයි මම මේ සභාවට කියා සිටිනවා. කොහාම නමුත් දැන් ඉන්න ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අපේ හො මිත්‍රයෙක්. ඔහුත් මේ ක්‍රිකට් ක්‍රීඩාව හරි මාර්ගයකට ගෙන ගියේ නැත්නම් ඔහුගේ නමත් ක්‍රිකට් විනාශ කළ හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ නම් ගොන්නට එකතු වනු ඇතැයි මම මේ ගරු සභාවට ප්‍ර‍කාශ කරනවා.

ගරු කථානායකතුමනි, අද අපේ ජීවිතයේ යම් සතුටක් කීර්තියක් හෝ ප්‍රතිලාභයක් ලබා ඇත්නම් එය අපට හිමි වූයේ ක්‍රිකට් ක්‍රීඩාව නිසා. අපට දිරිදුන් ක්‍රීඩා ලෝලීන්අපේ ක්‍රිකට් ගුරුවරුන්ගේ සහ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සියලු දෙනාගේම අපේක්ෂාව වන්නේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව. අපේ රටට ඉමහත් කීර්තියක් ගෙන දුන් එම ක්‍රීඩාව රැක ගැනීමට මම අවංකවම පෙනී සිටිනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් මම ඕනෑම කැපකිරීමක් කරන්න සූදානම්. අවසාන වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මේ සිදුව ඇති වංචා දූෂණ ගැන විමර්ශනය කළ වැරදිකරුවන් හුනා ගෙන කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙසද ගරු කථානායකතුමනි මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව රැක ගැනීමේ සටනට තමන් හා ලසිත් මාලිංගද එක්වනු ඇතැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විශ්වාසය පල කරන බව ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග වෙත ලිපියක් යොමු කරමින් අර්ජුන රණතුංග මහතා පවසයි.

ලසිත් මාලිංග ශ්‍රී ලංකා‍වේ ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය එම ලිපියෙන් අගය කරන අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පවසන්නේ ලසිත් මාලිංග ක්‍රිකට් පිටියේ රමණීයත්වය සහ චමත්කාරය සනිටුහන් කළ විශිෂ්ට ක්‍රීඩකයකු වන බවයි. 

වසර 15ක් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේදී ශ්‍රී ලංකා අභිමානය රැක දුන් ඔබට මම මගේ උපහාරය හදවතින්ම පුද කරමි. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් අද සමුගන්නා ඔබගේ නම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට එක් වන්නේ ක්‍රිකට් පිටියේ රමණීයත්වය සහ චමත්කාරය සනිටුහන් කළ දක්ෂ ක්‍රීඩකයකු ලෙසම පමණක් නොවේ. 2015 වසරින් පසු මෑත කාලීන ක්‍රිකට් පරිපාලනයෙහි නොයෙකුත් කෙණෙහිලිකම් මැද දක්ෂතා ප්‍රකට කළ ක්‍රීඩකයකු ලෙසින්ද වේ. අද අපේ ජීවිතයේ යම් සතුටක් කීර්තියක් හෝ ප්‍රතිලාභයක් ලබා ඇත්නම් එය අපට හිමි වූයේ ක්‍රිකට් ක්‍රීඩාව නිසාය. අපට දිරිදුන් ක්‍රීඩා ලෝලීන්, අපේ ක්‍රිකට් ගුරුවරුන්ගේ සහ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සියලු දෙනාගේම අපේක්ෂාව වන්නේද මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණවයි. අපේ රටට ඉමහත් කීර්තියක් ගෙන දුන් එම ක්‍රීඩාව රැක ගැනීමට මම අවංකවම පෙනී සිටිමි. ඒ සටනට ඔබේ සහායද අනාගතයේදී එක් වනු ඇතැයි මම විශ්වාස කරමි. ඔබගේ ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වේවායිද මම සුබ පතමි.යිද එම ලිපියේ දැක්වෙයි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ සම ශූරතාව එංගලන්තයට සහ නවසීලන්තයට දිය යුතුව තිබුණු බව ලෝක ශූර ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. 

අමාත්‍යවරයා මේබව කියා සිටියේ මීරිගම ප්‍රදේශයේ පැවැති ක්‍රීඩා උත්සව කිහිපයකදී අදහස් දක්වමිනි. 

මව්රට සහ සේව්ද ස්පෝර්ට්ස් සංවිධානය මෙම ක්‍රීඩා උත්සව සංවිධානය කර තිබිණ. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ ක්‍රිකට් පරිපාලනය නරක තත්ත්වයක තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දියුණුවක් අපේක්ෂා කළ නොහැකි බවයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ලෝක කුසලාන ඉතිහාසයේ මම දැක්ක හොඳම තරගය. මෙම තරගයේදී කණ්ඩායම දෙකේම ලකුණු සම වීම නිසා කණ්ඩායම් දෙකටම සම ශූරතාව ලබා දුන්නා නම් හොඳ යැයි මම පෞද්ගලිකව සිතනවා. එම තරගාවලියේදී අපේ කණ්ඩායම දිහා බැලූවිට අපේ කණ්ඩායම හිතුවට වඩා දක්ෂතා පෙන්නුම් කළා. නමුත් අපි හරි කණ්ඩායමක් තෝරා තිබුණේ නැහැ. ‍එසේ හරි කණ්ඩායමක් තෝරාගෙන තිබුණා නම් අපිට අවසන් පූර්ව තරගයට පැමිණීමේ හැකියාව තිබුණා. අපේ කණ්ඩායමේ නවක ක්‍රීඩකයෝ තරගාවලියේදී ක්‍රමානුකූලව තම දක්ෂතා වර්ධනය කර ගත්තා. නමුත් මැදපෙළේ දුර්වලතාව නිසා අපි ‍බොහෝ වෙලාවට අසරණ වුණේ. වැදගත්ම‍ දේ අපේ ක්‍රිකට් පරිපාලනය නරක තත්ත්වයක තියෙන විට ක්‍රිකට් කණ්ඩායමේ දියුණුවක් දකින්නට ලැබෙන්නේ නැහැ. අද ක්‍රිකට් පරිපාලනය සිදු කරන්නේ කිසිම විදියකින් ක්‍රිකට් දැනුමක් නැති අය. ඔවුන්ගේ ආශිර්වාදයෙන් ක්‍රිකට් මුදල් වියදම් කරමින් හතලියක් පමණ ලෝක කුසලාන තරගාවලිය බලන්න යනවා.  නමුත් අපේ රටේ පාසලකට ක්‍රිකට් ක්‍රීඩාව උදෙසා සල්ලි දෙන්නැයි කිව්වම ක්‍රිකට් පරිපාලනය අඩනවා. ගමේ දරුවන්ට කී‍්‍රඩාවට අවශ්‍ය පහසුකම් ලබා දෙන්නේ නැහැ. ගමේ කී‍්‍රඩකයින්ට අවශ්‍ය බෝලයක් බැට් එකක් ලබා දෙන්නේ නැහැ. ගමේ පාසලට, ගමට බැට් එකක් බෝලයක් නොදී අපි කොහොමද ලෝකය දිනන්නේ.  මේ වන විට කි‍්‍රකට් කී‍්‍රඩාව විනාශ වෙලා තියෙන්නේ. මේකට මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වග කියන්න  ඕන. අද කි‍්‍රකට් පරිපාලනය අන්ත දූෂිතයි. සුදුකාරයෝ, රේස්කාරයෝ නිසා අද කි‍්‍රකට් මුදලට ගිහිල්ලා තියෙන්නේ.

"ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග දිහා බලන්න. අයි. පී. එල්. තරගාවලියට ගිය ක්‍රීඩකයින් ඉන්දියාව හමුවේ සාර්ථක වුණාද ? අයි. පී. එල්. ක්‍රීඩා කළ කිසිම ‍ක්‍රීඩකයෙක් ඉන්දියාව හමුවේ සාර්ථක වුණේ නැහැ. නමුත් අද කිසිම ක්‍රිකට් පරිපාලකයෙක් මේවා ගැන කථා කරන්නේ නැහැ. අවුරුදු හතරමාරක් මේ ආණ්ඩුව ක්‍රිකට් විනාශ කළා. හිටපු ක්‍රීඩා අමාත්‍යවරු විශාල වශයෙන් මේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළා. සූදු කාරයින්ට නැවත වරක් බලය අල්ලන්න අවස්ථාව ලබා දුන්නා. ක්‍රිකට් පරිපාලනය කරන සූදු කාරයොත් ක්‍රීඩා අමාත්‍යවරුන්ට යටි අල්ලස් දුන්නා. හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රදේශයේ හෙට්ටිපොළ ක්‍රීඩාංගණය හදන්න 2017 වර්සයේදී රුපියල් මිලියන 55 ලබා දුන්නා. නැවත රුපියල් මිලියන 65ක් ලබා දුන්නා. ඔක්කොම රුපියල් මිලියන 120ක්. දැන් ඉන්න ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රදේශයේ බදුල්ල ක්‍රීඩාංගණයක් හදන්නත් මෙවර ක්‍රිකට් නිලවරණයට පෙර රුපියල් මිලියන 45ක් දුන්නා. මේවා එක්තරා විදියකින් යටි අල්ලසක් විදියටයි මම දකින්නේ. කොහාම නමුත් දැන් ඉන්න ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා මගේ හොද මිත්‍රයෙක්. ඔහුත් මේ ක්‍රිකට් ක්‍රීඩාව හරි මාර්ගයකට ගෙන ගියේ නැත්නම් ඔහුගේ නමත් ක්‍රිකට් විනාශ කළ හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ නම් ගොන්නට එකතු වේවි.”

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් ඇති කරමින් Google transit විශේෂාංගය මෙරටට හඳුන්වා දීමේ මූලික ව්‍යාපෘතිය ආරම්භ වෙයි. ඒ ජාතික ගමනා ගමන කොමිසම් සභාවේ විසිපස්වැනි සංවත්සරයේදී ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි.

ගූගල් මැප් යනු ගූගල් සේවාව ලබා දෙන අන්තර්ජාල සිතියම් සේවාවකි. එම සිතියම් සේවාවෙන් දැනට Google traffic යන විශේෂාංගය ශ්‍රී ලංකාවට විවෘතව පවතී. එම Google traffic විශේෂාංගයෙන් පෞද්ගලික ප්‍රවාහන තොරතුරු සහ පෞද්ගලික ප්‍රවාහනය සඳහා ස්ථාන සහ මාර්ග සිතියම් තොරතුරු සපයයි. නමුත් ගූගල් මැප්හි පොදු ප්‍රවාහන සේවාවේ තොරතුරු ලබා දෙන Google transit විශේෂාංගය තවමත් ශ්‍රී ලංකාවට විවෘතව නොමැත. ජාතික ගමනා ගමන කොමිසම් සභාවේ විසිපස්වැනි සංවත්සර උත්සවයේදී අද සිදු කෙරුණේ එම Google transit විශේෂාංගය මෙරටට සක්‍රීය කර ගැනීම සඳහා අතවශ්‍ය වන දත්ත සමූහය ගූගල් ආයතනයට නිල වශයෙන් යොමු කිරීමයි. ඉදිරි දින කිහිපයේදී ගූගල් ආයතනය විසින් එකී දත්ත නිරීක්ෂණය කර අන්තර්ජාලයට මුදා හැරෙනු ඇති බවත් ඒ අනුව ඉතා ඉක්මනින් Google transit විශේෂාංගයෙන් ‍තොරතුරු ලබා ගැනීමේ අවස්ථාව මෙරට පොදු ජනතාවට උදා වන බවත් එම ව්‍යාපෘතියේ ‍භාරකරු, මොරටුව විශ්ව විද්‍යාලයේ ප්‍රවාහන ඉංජිනේරු අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දිමන්ත ද සිල්වා මහතා පවසයි.

“මෙම සේවාව යටතේ ඔබට පොදු ප්‍රවාහනයේ තොරතුරු විශාල වපසරියකින් ලබා ගැනීමේ අවස්ථාව උදා වනවා. උදාහරණයකට ඔබට නාරාහේන්පිට පිහිටි ජාතික ගමනාගමන කොමිසම් සභාවේ සිට අනුරාධපුරය දක්වා ගමන් කිරීමට අවශ්‍ය යැයි සිතමු. එවිට මෙම Google transit විශේෂාංගයෙන් පොදු ප්‍රවාහනය භාවිත කර එනම් දුම්රිය සහ බස්රථ මඟින් අනුරාධපුරයට යා  හැකි ආකාරය සිතියම්ගතව පෙන්නුම් කරනවා. ගමනට ගතවන කාලය, බස්රථ නවත්වන ස්ථානය, පයින් යායුතු තැන්, දුම්රිය නැඟිය හැකි තැන් ආදි වශයෙන් තොරතුරු රැසක් එයින් ලබා ගත හැකියි. ඇත්තටම මෙම විශේෂාංගය දැනටමත් ජපානය, චීනය වැනි රටවල ක්‍රියාත්මක වනවා. ඉදිරි සති කිහිපයේදී අපේ රටෙත් මෙම විශේෂාංගය සක්‍රිය වනවා. එය ප්‍රවාහනයේ තොරතුරු විප්ලවයක් යැයි අපට හඳුන්වා දෙන්න පුළුවන්...”යිද ආචාර්ය දිමන්ත ද සිල්වා මහතා පැවසීය.

Google transit විශේෂාංගයෙන් මුල් අවස්ථා‍වේදී තොරතුරු ලබා ගැනීමට හැකි වන්නේ බස්නාහිර පළාතේදී පමණි. දෙවැනි අදියරේදී සෙසු පළාත් දක්වා ව්‍යාප්ත කෙරේ. දුම්රිය, අන්තර් පළාත් බස්රථ සහ පළාත් සභා බස්රථ පිළිබඳ ‍තොරතුරු එයින් ආවරණය කෙරෙයි. දුම්රිය රතු පැහැයෙන්ද අන්තර්පළාත් බස්රථ නිල් පැහයෙන්ද පළාත් සභා බස්රථ කොළ පැහැයෙන්ද සිතියමේ දැක්වෙයි. ආචාර්ය දිමන්ත ද සිල්වා මහතා පවසන්නේ මුල් අවස්ථාවේදී කාල සටහන් ගත තොරතුරු පමණක් එම Google transit විශේෂාංගයෙන් ලබා ගැනීමට හැකි වුණත් පසුව GPS තාක්ෂණය යොදා ගනිමින් සජීවි තොරතුරු මෙම විශේෂාංගයෙන් ලබා දීමට හැකි වනු ඇති බවයි.  ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන බවද ප්‍රවාන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී සහතික කළේය.

“තාමත් බොහෝ අය ජාතික ගමනා ගමන කොමිසම් සභාව දෙස බලන්නේ බස්රථ සඳහා බලපත්‍ර ලබා දෙන ආයතනයක් ලෙස. නමුත් ජාතික ගමනා ගමන කොමිසම් සභාවෙන් විය යුත්තේ ලයිෂන් ලබා දීම නොමෙයි. මගේ පෞද්ගලික මතය නම් ජාතික ගමනා ගමන කොමිසම් සභාව කළ යුත්තේ බස්රථ නියාමනය පමණයි. එතැනට ජාතික ගමනා ගමන කොමිසම් සභාව ගෙන යාමට අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට අපි ඉදිරියේදී අපේක්ෂා කරනවා. ඒ වගේම Google transit විශේෂාංගය මෙරටට හඳුන්වා දීමට මුල පිරීමට හැකි වීම ගැනත් මම සතුටු වනවා. එයින් පොදු ප්‍රවාහනයට මෙරට ජනතාව ආකර්ෂණය වීමේ ප්‍රවණතාව ඉහළ යනු ඇතැයි අපි විශ්වාස කරනවා. අද අපි මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වන්නේ පොදු ප්‍රවාහනයෙන් මහජනතාව ඈත් වීම. කෙසේනමුත් මේ වන විට නැවත වරක් පොදු ප්‍රවාහනයට මෙරට ජනතාව ආකර්ෂණය වන බව නවතම දත්ත පෙන්නුම් කරමින් තිබෙනවා. Google transit වැනි විශේෂාංග හඳුන්වා දීම මඟින් එය තවදුරටත් වර්ධනය කර ගත හැකි බව මම වි‍ශ්වාස කරනවා...”යි ද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් තණතිලි ගැන සාධාරණ පරීක්ෂණයක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටීමේ වැදගත්කම හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග අවධාරණය කරයි.

ඊයේ(16) උදෑසන මව්රට සංවිධානයේ ගමේ පන්සල ගමට සවියක් ප්‍රජා සත්කාරයකට එක් වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදුන් තණතිලිවල ස්වභාවය ගැන තමන්ටද සැකයක් ඇති බවයි. එහෙත් වත්මන් පරිපාලනය ඒ කිසිවක් කථා නොකර සිය මුනිවත රකිනු ඇතැයිද අර්ජුන රණතුංග මහතා අවධාරණය කළේය.

“ක්‍රිකට්වල දිනනවා පරදිනවා. ඒක සාමාන්‍යයි. නමුත් අපේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රශ්න ගෝඩාක් තියෙනවා. මේ පහුගිය කාලේ සුදු කාරයෝ කී‍්‍රඩාවට ඇවිල්ලා තම තමන්ට හිතවත් අය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එකතු කරලා කි‍්‍රකට් කී‍්‍රඩාව විනාශ කරලා තියෙනවා. ඒ වගේම අසන්ත ද මෙල් මහතා තණතිලි ගැන කියූ කථාව ගැන මමත් හිතනවා. ශ්‍රී ලංකාවට තණතිලි ලබා දීමේදී යම් අසාධාරණයක් සිද්ධ වුණාද කියලා මමත් හොයනවා. මම නම් කියන්නේ ඒ ගැන සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා ලෝක කි‍්‍රකට් කවුන්සිලයට ලියලා බලන්න  ඕනි. නමුත් එවැනි ක්‍රියාමාර්ගයකට යන්න කි‍්‍රකට් පරිපාලනයේ අද ඉන්න අයට කි‍්‍රකට් දැනුම තියෙනවද කියලා මම දන්නේ නැහැ. මොකද ඒ අය දන්නේ අශ්වරේස් යන්න විතරයි. ඒ නිසා ක්‍රීඩා අමාත්‍යවරයා හරි මේ ගැන ලෝක ක්‍රිකට් කවුන්සිලයට ලියලා සාධාරණ පරීක්ෂණයක් ඉල්ලන්න ඕන...”යිද එහිදී අමාත්‍ය අර්ජුන රණතුංග පැවසීය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගයේ පරාජයට හේතු වූ තාක්ෂණික කරුණු ගැන අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් එක කණ්ඩායමක් ලෙසට ක්‍රීඩා නොකරන බවයි.

“ඕස්ට්‍රේලියාට එරෙහි තරගයේදී අපේ කණ්ඩායම සෑහෙන්න දුරට හොඳින් ක්‍රීඩා කළා. අපේ ආරම්භක පිතිකරුවෝ විශාල සේවයක් කළා. නමුත් අපේ කණ්ඩායමට එකට සෙල්ලම් කරනවද කියන ප‍්‍රශ්නය දකින්න තිබුණා. මැද පෙළ පිතිකරුවන්ගේ විශාල අඩුපාඩුවක් තිබුණා. විශේෂයෙන්ම  ඇතැම් පිතිකරුවන් හොඳට කී‍්‍රඩා කරන කී‍්‍රඩකයින්ට පීඩනය වැඩි කරනවා. අනවශ්‍ය ලෙස ඇති කළ එම පීඩනය නිසා තමයි හොඳට ක්‍රීඩා කරන කී‍්‍රඩකයා පවා අනවශ්‍ය පහරවල් ගහන්න ගියේ. නමුත් සමහර වෙලාවට ඒ වගේ කී‍්‍රඩා කරන්න සිද්ධ වෙනවා. සනත් ජයසූරියට අපිට කියන්න බැහැ මාවන් අතපත්තු වගේ කී‍්‍රඩා කරන්න කියලා. ඉතිං එක එක පිතිකරුවන් එක එක විදිහට කී‍්‍රඩා කරනවා. නමුත් අපිට සැලස්මක් තියෙන්න ඕන සනත් දැවී ගියාම තරගය ඉදිරියට ගෙනියන්න. එවැනි සැලැස්මක් අපේ කණ්ඩායමට නැති මට පෙනුණා. විශේෂයෙන්ම දිමුත් කරුණාරත්න වගේ  කී‍්‍රඩකයින්ට පන්දුවාර 50ම ගහන්න දීලා අනිත් පැත්තෙන් තමයි ලකුණු ගහන්න ඕන. තමන්ට දැනට තියෙන සම්පත් එක්ක ජයග‍්‍රණය කරන්න අපි දැන ගන්න ඕන. ඒ කලාව අපේ කණ්ඩායමට දැන් නැහැ. පරිපාලනය දන්නේ නැහැ  කී‍්‍රඩකයින්ගේ මනස හදන්න. අපි දැක්කා මේ තරගාවලිය නරඹන්න පරිපාලනයේ තිස්ගාණක් එංගලන්තයට යනවා. විනෝද චාරිකාවක් වගේ.  මේ රටේ සල්ලි. මේවා විනාශ කරනකම් අපි බලාගෙන ඉන්නවා. ආණ්ඩුවත් බලන් ඉන්නවා. කී‍්‍රඩා ඇමතිතුමත් බලන් ඉන්නවා. ඉතිං මේවට මං හිතන්නේ මහජනතාව ඉදිරියේදි දඩුවම දෙයි...”යිද හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය. 

Page 1 of 2