December 18, 2018

ශ්‍රී ලංකාවේ සුළු ජන කොටසකට වරින් වර ඇතිවන ප්‍රචණ්ඩකාරී තත්ත්වයන්ට හේතුව වගවීම සහ සංක්‍රාන්ති යුක්තිය ක්‍රියාත්මක නොවීම බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිඩ් රාද් අල් හුසේන් කුමරු ප්‍රකාශ කළේය.

මෙම පහරදීම් කරන පුද්ගලයන්ට සහ මේ සඳහා අනුබල ලබා දෙන පුද්ගලයන්ට දඬුවම් ලබා දිය යුතු බව ඔහු ප්‍රකාශ කරයි.

ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 37 වන සැසි වාරයේදී එහි සාමාජික රටවල් පිළිබද වාචික වාර්තාව ඊයේ (07) ඉදිරිපත් කරමින් මහකොමසාරිස්වරයා මේ බව සඳහන් කළේය.

 

පිළිමතලාව ප්‍රදේශයේ ආපන ශාලාවකට පහර දී අලාභ හානි කළ පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ (07) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලීසිය පවසයි.

විශාල පිරිසක් ආයුධ සන්නද්ධව පිළිමතලාව සිට පේරාදෙණිය දෙසට පැමිණෙන බවට පේරාදෙණිය පොලීසියට ලැබුණු තොරතුරක් අනුව පොලීසිය එම ස්ථානයට ගොස් ඇති අතර, එම පිරිස කිරිබත්කුඹුර ප්‍රදේශයේ වෙළෙඳ සැලකට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම්ව සිට පොලීසිය දැක ආයුධ රැගෙන පලාගොස් තිබේ.

එහිදී එම පිරිස ලැහුබැඳ මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇත.

මෙම පිරිස රණවන, බෝයගම, ගංගොඩ හා හීරැස්සගල ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්, පිළිමතලාව ප්‍රදේශයේ ආපන ශාලාවට අලාභ හානිකර කිරිබත් කුඹුර ප්‍රදේශයේ වෙළෙඳ සැලකට පහරදීමට පැමිණ ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
ආපන ශාලවට සිදු වූ අලාභය රුපියල් ලක්ෂ 25ක් පමණ වන බව එහි හිමිකරු සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී පොලු මුගුරු කිහිපයක් සොයාගත් බවත් පොලීසිය පැවසීය.

මේ සම්බන්ධව පේරාදෙණිය පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, සැකකරුවන් දෙදෙනා අද (08) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර හදිසි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේදී බීමතින් රිය පැදවූ රියදුරන් තිදෙනෙකු හා නිකරුණේ හැසිරුණු පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවත්, ඔවුන්ද අද (08) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය පැවසී ය.

එමෙන්ම ඊයේ (07) රාත්‍රියේ කිසියම් පිරිසක් පිළිමතලාව නගරයේ තීන්ත අලෙවි මධ්‍යස්ථානයකටද ගිනි තබා ඇති අතර, ප්‍රදේශවාසීන් විසින් එම ගින්න මැඬපවත්වා තිබේ.

මේ සම්බන්ධව කඩුගන්නාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

1

9

සිංහල - මුස්ලිම්මරා ගැනිල්ලකට පාර කැපුවේ ආණ්ඩුවේ ආශිර්වාදය ලබන සිංහල හා මුස්ලිම් මැරකම් කණ්ඩායම් බව රට පුරා සිදුව ඇති ලේ වැකි සිදුවීම් වලින් පැහැදිලි වන බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා චෝදනාකරයි.

ඔහු මේ බව පැවසූවේ අද (08) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ය.

එහිදී වැඩිදුරටත්ටත් අදහස් දැක් වූ සමරවීර මහතා මෙසේද සඳහන් කළේය.

“අම්පාර මුස්ලිම් කොත්තු කඬේ සිදුවීම් පිටුපස ඉන්නේ ආණ්ඩුවේ දේශපාලනඥයෙක්. ඉන් පසුව දිගන නගරයේ සිදුවූ සාපරාධී, ප‍්‍රකෝපකාරී තත්ත්වයට මුල්වූ කුමාරසිංහ නමැති සිංහල තරුණයාගේ ඝාතනයට අදාළ මුස්ලිම් තරුණයන් අත්අඩංගුවට නොගැනීම බලපෑම් කළෙත් ආණ්ඩුවේ දේශපාලනඥයෙක්. ඒ වගේම කුලියාපිටිය නගරයේ මුස්ලිම් වෙළඳසැල්වලට පහරදීම නිසාඅත්අඩංගුවට ගත් මැරයන් පැයකින් නිදහස් කර ගත්තේ එජාප ප‍්‍රබල ඇමතිවරයෙක්. මේ සියල්ලෙන් පෙනී යන්නේ ආණ්ඩුවේ ආශිර්වාද සිංහල - මුස්ලිම්මැරයන් තමයි මේ මහා මරා ගැනිල්ලට පාර කැපුවේ කියා.

සිංහල - මුස්ලිම් මිනිසුන්ගේ මළකඳන් මතින්, ගිනි ගත් දේපල හා ලේ ගංගා මැදින් ඇවිත් ආණ්ඩුව තමන් මුහුණ දී තිබෙන විශ්වාසභංගය යටපත් කරගන්න හදනවා. තවත් පැත්තකින් මේ මහා මරා ගැනිල්ල මැද්දේ තමන් දෙමළ ඩයස්පෝරාවට, ඇමරිකා එක්සත් ජනපදයට, ඉන්දියාවට දුන් පොරොන්දු ඉටුකර දෙන්න හදනවා.

රණවිරු දඩයමට තවත් මෙවලමක්

මේ රටට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය විසින් ගෙන ආ යෝජනාවලියට, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරයේ දී ආණ්ඩුව වෙනුවෙන් එවකට විදේශ අමාත්‍ය මංගල සමරවීර සම අනුග‍්‍රාහකත්වය දක්වන්න එක්ග වුණා. ඒ අනුව තමයි මේවනවිට බෙදුම්වාදී ව්‍යස්ථාවක් කෙටුම්පත් කර ඇත්තේ. ඒ අනුව තමයි කොටි ත‍්‍රස්තවාදය පැරදවූ රණවිරුවන් යුද අපරාධ කළා’ කියන මිත්‍යාව සනාථ කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් කරමින් ඉන්නේ. ඒ යටතේ දැන් රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ චෝදනා හදන ෆැක්ටරියක් නිර්මාණයය කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ සම්මත්වූ ‘අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත’ මගින් තමයි ඒ කාර්යාලය පිහිටුවාඇත්තේ.

ඊට දෙමළ ඩයස්පෝරාවේ හිතවතුන්, ඩොලර් කාක්කන් පිරිසක් කොමසාරිස්වරුන් ලෙස පත්කර ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිවරයාගේ ලැයිස්තුවට අනුවයි. ඒ රණවිරු දඩයමට අවශ්‍ය තවත් නීතියක් ඊයේ (07) පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගත්තා.

‘ලෝකයේඑකමරට?’

මේ මහා මරා ගැනිල්ල මැද්දේ මේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයට මහා කළු පැල්ලමක් එක් කරමින් තමයි ඒ රණවිරුවන්ට යුද අපරාධ චෝදනා එල්ල කිරීමේ නව නීතිය බලහත්කාරයෙන්, විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් නොමග යවමින් සම්මත කර ගත්තේ. ‘බලහත්කකාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියේ පනත් කෙටුම්පත’ තමයි එසේ ඊයේ සම්මත කර ගත්තේ. ඒ මගින් ‘බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය’ තම රටේ නීති පද්ධතියට ඇතුලත් කළ ලෝකයේ පළමු රට බවට ලංකාව පත් වුණා. ඇමරිකා එක්සත් ජනපදය පවා මෙම ජාත්‍යන්තර ප‍්‍රඥප්තියට අත්සන් කර නැහැ. ඉන්දියාව අත්සන් කළත් තම රටේ නීති පද්ධතියට ඇතුලත් කර නැහැ. මේ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියට අත්සන් තබා ඇත්තේ රටවල් 58යි. ඉන් රටවල් 20ක් අපරානුමැතිය ලබාදී ඇතත් ලොවකිසිඳු රටක් මේ ප‍්‍රඥප්තිය තම රටේ නීති පද්ධතියට ඇතුලත් කරනැහැ. “ යැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

මහනුවර ප්‍රදේශයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ පසුගිය 04 වනදා සිට අද(08) දින උදෑසන 6.00 දක්වා කාලය තුල ගැටුම්වලට සම්බන්ධ පුද්ලයින් 71 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ අතර මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කයට අද(08) පස්වරු 6 සිට හෙට(09) පෙරවරු 6 දක්වා කාලය තුළ පොලිස් ඇඳිරි නීතිය පැනවීමට නියෝග කර තිබේ.

සාමාන්‍ය ජනතාවට ආහාර පාන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට පහසුකම් සැපයීම සඳහා අවකාශය ලබා දෙනු පිණිස මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කය තුළ පැවති ඇඳිරි නීතිය අද පෙරවරුවේ ලිහිල් කර තිබුණි.

රත්තරන් මාලයක් සහ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස සිංගප්පූරුවේ සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (08) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බැව් සහකාර මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා ප්‍රකාශ කළේය .

මොහු රාගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පිරිමි ගුවන් මගියෙකි .

ඔහු අද අලුයම 5.30 ට පමණ , සිංගප්පූරුවේ සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. - 349 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු විසින් රැගෙන ආ කාඩ්බෝඩ් පෙට්ටියක රුපියල් නව ලක්ෂ හැට තුන් දහස් හත් සියයක් (9,63,700) වටිනා රත්තරන් මාලයක් සහ රුපියල් ලක්ෂයක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි කාටූන් 10 ක් සගවා ගෙන තිබී නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එච්.ඩබ්ලිව්.සී .දිසානායක මහතා විසින් අත්අඩංගුවට ගෙන තිබුණි .

මේ පිළිබඳව වැඩිදුර රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එම්.ගුණරත්න මහතා විසින් පැවැත්වූ අතර එහිදී මෙම භාණ්ඩ රාජසන්තක කර මේ ගුවන් මගියාට රුපියල් 50,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කළේය .

( ටී.කේ.ජී.කපිල )

ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය එච්.එම්.එස්. හාරිස් මහතා විසින් කරනු ලැබූ ප්‍රකාශය පිළිබඳව ජාතික රජයට සම්බන්ධ මුස්ලිම් පක්‍ෂවල අමාත්‍යවරුන්ගේ දැඩි විරෝධය එල්ල වී ඇතැයි වාර්තා වේ.

මුස්ලිම් ප්‍රජාව ආරක්ෂා කිරීමට ආණ්ඩුව තවදුරටත් අපොහොසත් වුවහොත් විශ්වාසභංගයේ දී අගමැතිට විරුද්ධව ඡන්දය දෙන බවට නියෝජ්‍ය අමාත්‍ය හාරිස් මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ගැන මුස්ලිම් අමාත්‍යවරුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී විරෝධය පළකර තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා ජනතා කොංග්‍රසය නියෝජනය කරන අමාත්‍යවරුන් අගමැති හමුවී ප්‍රකාශ කළේ හාරිස් මහතා ඉහත ප්‍රකාශය කර ඇත්තේ යම් පාර්ශවයක බළල් අතක් ලෙස කටයුතු කරමින් බවයි.

ඔහු මෙම ප්‍රකාශය ඉල්ලා අස්කර නොගතහොත් ආණ්ඩු පක්‍ෂ කණ්ඩායම් රැස්වීමේ දි දැඩි පියවර ගන්නා බවද මුස්ලිම් අමාත්‍යවරුන් අගමැතිවරයාට දැනුම් දී තිබේ.

නව පත්වීම සම්බන්ධයෙන් වගකිය යුතු පුද්ගලයන්ගේ තීරණය තමා කිසි විටෙකත් පිළිනොගන්නා බවත් මහනුවර ප්‍රදේශයේ ඇතිවු නොසන්සුන්කාරී තත්ත්වය නිසි තැන නිසි නායකත්වයක් නොමැති කමින් ඇති වු බවත් තමා සිටියේ නම් කිසි දා එවැනි සිදුවීමක් ඇති නොවන බවත් ප‍්‍රාදේශීය සංවර්ධන කැබිනට් අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

අද (08) උදෑසන හුණුපිටිය ප්‍රදේශයේ ඇති ආගමික ස්ථානයන්ගේ සංචාරයකට එක්වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙම අදහස් මාධ්‍ය වෙත පළ කර සිටියේ නව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වැඩ බාර ගැනීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින්ය.

රංජිත් මද්දුමබණ්ඩාර මහතා තමාගේ හොඳම යහළුවෙක් බවත් ඔහුටවත් නිසි දැනුම් දීමක් නොකර ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණෙන ලෙස පවසා අනතුරුව මෙම අමාත්‍ය ධූරය ලබා දී ඇති බවත් රටේ ආරක්ෂාවට කැමති සියලු දෙනා මෙම තීරණය නොපිළි ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

නව පත්වීම සම්බන්ධයෙන් වගකිය යුතු පුද්ගලයන්ගේ තීරණය තමා කිසි විටෙකත් පිළිනොගන්නා බවත් රට ද එය පිළිනොගන්නා බව ද සරත් ෆොන්සේකා මහතා කියා සිටියේය.

මහනුවර ප්‍රදේශයේ ඇතිවු නොසන්සුන්කාරී තත්ත්වය නිසි තැන නිසි නායකත්වයක් නොමැති කමින් ඇති වු බවත් තමා සිටියේ නම් කිසි දා එවැනි සිදුවීමක් ඇති නොවන බවත් රට තුළ සාමය ඇති කර තමාට පළපුරුද්දක් ඇති බවත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.

සුළු සිදුවීම් හේතුවෙන් හිත් රිදවීම් ඇති වුවද ආණ්ඩුවක් ලෙස ශක්තිමත්ව ඉදිරියට යෑමට සුදානම් බව ත් අවශ්‍ය වු විට නිවැරදි තීරණයන් ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

 

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් අද (08) පාර්ලිමේන්තුව වෙත කළ පැහැදිලි කිරීමක් ජාතික ප්‍රශ්නයක් සේ සලකා විසඳීමට කටයුතු කළ යුතු බව කථානායක කරූ ජයසූරිය මහතා සඳහන් කළා.

ඒ අධ්‍යාපන අමාත්‍යංශය සහ කැබිනට් මණ්ඩලය ගනු ලබන ඉතා වැදගත් තීරණ පළාත් මට්ටමින් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙනුයි.

මෙහිදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කර සිටියේ විදුහල්පති පුරප්පාඩු සඳහා යොමු කරන ලද අයවලුන්ට අදාළ රාජකාරි ලබා දී නොමැති බව සහ ඇතැම් අවස්ථාවල දුෂ්කර සේවා ස්ථාන සඳහා යොමු කර ඇති බවයි.

එහෙත් උප ගුරුවරුන්ව පළාත් සභා විසින්  විදුහල්පතිවරු ලෙස වැඩ  බැලීමට පත් කර ඇති බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

ඇතැම් අවස්ථාවල  ආර්ථික උපාධියක් ගත් ගුරුවරුන්ව සිංහල වැනි වෙනත් විෂයන් ඉගැන්වීම සඳහා පළාත් මට්ටමින් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දුන්නේය.

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා පෙන්වා දුන්නේ පළාත් සභාවල දේශපාලන බලවතුන් ද මෙම තත්ත්වයට වගකිව යුතු බවයි .

කථානායක  කරූ ජයසූරිය මහතා එහිදී සඳහන් කළේ ආණ්ඩුකාරවරුන් කැඳවා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.

 

ආණ්ඩුව රටේ ඇත්ත ප්‍රශ්න යටපත් කරමින් නැති මහා අවුලක් නිර්මාණය කරමින් සිටින බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

ඒ කෝට්ටේ රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ ඊයේ (07) පැවති ජන හමුවක් අමතමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“අද ආණ්ඩුව රටේ මතුවෙමින් ආ ආණ්ඩු විරෝධී ජනතා මතය වෙන දිසාවකට යොමු කරන්න මේ අවාසනාවන්ත සිද්ධි යොදා ගන්නා බවක් අපිට පෙන්න තියෙනවා. අම්පාර හා තෙල්දෙණිය ප්‍රදේශවල ඇති වුණු සිදුවීම් මිට වඩා ඉක්මනින් ආරක්ෂක අංශවල මැදිහත් වීමෙන් විසදන්න ආණ්ඩුවට හැකියාව තිබුනත් ආණ්ඩුව එහෙම ඉතා සංවේදී කාරණාවක් සේ සලකලා පියවරක් ගන්නවා අපි දැක්කේ නැහැ. ඒ නිසා අවසානයේ මිනිස්සු නිතිය අතට අරන් ක්‍රියා කරන තැනට පත් වුනා. මේක හරිම අවාසනාවන්ත තත්වයක් විදියටයි පක්ෂයක් විදියට අපි දකින්නේ. අවසානේ ඒ ප්‍රශ්න වලට ඇදිරි නිතිය දාන්න විතරක් නෙවෙයි රට පුරා හදිසි නිතිය පනවන්නත් ආණ්ඩුවට සිද්ධවෙලා. තිස් අවුරුදු යුද්ධයක අත්දැකීම් අපි ජාතියක් විදියට විදලා තියනවා. ඒ අවාසනාවන්ත අත්දැකීම විදින්න මේ රටේ කිසිම පුරවැසියෙක් ආයේ කැමති නැහැ. ආණ්ඩුව ජනතා ප්‍රශ්න කළමනාකරණය කරගන්න මිට වඩා අවදානය යොමු කල යුතුය කියලයි අපි හිතන්නේ. ආණ්ඩුව මේ වෙද්දී සම්පුර්ණයෙන් අසාර්ථකත්වයට පත්වෙලා,ජාතික ආර්ථිකය කඩා වැටිලා,ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙකම අසාර්ථක වෙලා.ප්‍රධාන වශයෙන් අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්වෙන්න තිබුනා. මේ ආදී කරන රාශියක් ආණ්ඩුව ඉදිරියේ තිබියදී ආණ්ඩුව උද්ගතව ඇති සිංහල - මුස්ලිම් අසමගිය තම අසාර්ථකත්වය වසා ගන්න ප්‍රයෝජනයට ගනිමින් ඉන්න බවයි අපිට පෙන්න තියෙන්නේ. නමුත් අපි කියනවා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට හැමදාම රටේ ප්‍රශ්න මේ විදියට යටගහල විසදන්න බෑ කියලා.”

“ඒ වගේම අපි අවධාරණය කරනවා ආණ්ඩුවට තමන්ගේ ප්‍රශ්න වහගන්න රට ගිනි තියලා ජාතින් අතර අසමගිය වර්ධනය කරලා තමන්ගේ ප්‍රශ්න වහගන්න හදන්නෙපා කියලා.සිංහල දෙමල මුස්ලිම් මේ හැමෝම එකට ජිවත් වෙන ලස්සන රටක් අපි හැමෝගෙම අවශ්‍යතාවය.නමුත් ආණ්ඩුව හදන්නේ තමන්ගේ දුර්වලතා වහගන්න රටේ ප්‍රශ්න පිටින් දාලා. මම සමාජ මාධ්‍ය තුලින් දැක්ක ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියල තියෙනවා හදිසි නිතිය ඉවත් කරන්න කියලා.ආණ්ඩුව තමන්ට විරෝධී බලවේග මර්දනය කරන්නත් ආණ්ඩුවට විරුද්ධ බලවේග හා වෘත්තීය සමිති ක්‍රියා මාර්ග හා අනෙකුත් ආණ්ඩුව යන ගමනට විරුද්ධ බලවේග අඩාල කරන්නත් මේ හදිසි නිතිය යොදා ගන්නත් පුළුවන්. ඒ නිසා ආණ්ඩුව හැරෙන්නේ පොල් පැලේ කන්න කියල දැන් ජනතාවට අවබෝධ වෙමින් පවතිනවා.මේ ජාතිවාදී මුලධර්මවාදී ප්‍රශ්නය ආණ්ඩුව තමන්ගේ වාසියට යොදා නොගත යුතුයි.මිනිසුන්ට සාමයෙන් සමාදානයෙන් ජිවත් වෙන්න පුළුවන් නිදහස් රටක් නිර්මාණය කරන්න අගමැතිවරයා ප්‍රධාන ආණ්ඩුවක් ජනාධිපතිවරයාත් කඩිනමින් පියවර ගත යුතුයි.ඒ වගේම බලය ගන්න යම් කොටසක් බලාපොරොත්තුව ඉන්නවා නම් ඔවුන්ටද රට අස්ථාවර නොකර තමන්ගේ ප්‍රතිපත්ති දේශපාලනය මගින් ඒ දේ කරන්න කියලා අපි අවධාරණය කරනවා” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

 

 

ආරක්ෂක අංශ කඩිනම් තීරණ ගන්නේ නම් දිගන තෙල්දෙණියේ වූ සිද්ධිය වළක්වා ගැනීමට තිබූ බව හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

ඒ කොළඹදී ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“තෙල්දෙණිය දිගන ප්‍රදේශයේදී සිදු වෙච්ච සිදුවීම සලකා බලනකොට ලංකාවේ ආරක්ෂක අංශයට විශේෂයෙන්ම පොලීසියට මීට වඩා බුද්ධිමත් ලෙස සහ ඉක්මන් තීරණ අරගෙන එම කටයුතු සමනය කරන්න පියවර ගත්තා නම් මෙය වළක්වා ගැනීමට හොඳටම ඉඩකඩ තිබුණා. විශේෂයෙන්ම පහුගිය කාලයේ පොලිස් අමාත්‍යංශය එක එක දේශපාලඥයින්ට ඇට බෝල ගහන ක්‍රීඩාවක් බවට පත් කරගෙන එහාට මෙහාට විසිකිරීම තුළ රටේ යම්කිසි අරාජික තත්ත්වයක් නිර්මාණය වෙච්ච නිසා මේ වගේ තත්ත්වයක් හට ගන්නට තියෙන ඉඩකඩ වැඩි කියන එක ආණ්ඩුව තේරුම් ගත යුතුව තිබෙනවා. පොදුවේ මේ ආණ්ඩුවේ තියෙන පැහැර හැරීම් සහ නොහැකියාව පෙන්නුම් කරන අවස්ථාක් මේක. අගමැතිවරයෙක් යටතේවත්, ජනාධිපතිවරයා යටතේවත් නෙවෙයි පොලිසිය ස්වාධීනව පුර්ණකාලීනව කටයුතු කරන්න පුළුවන් අමාත්‍යවරයෙක් යටතට පත් කිරීමේ අවශ්‍යතාවය මෙයින් පෙන්නුම් කරලා තියෙනවා.”

“ආණ්ඩුව වහ වහාම එවැනි සම්බන්ධතාවයක් තියෙන දේශපාලඥයෙක් ආණ්ඩුව ඇතුලේ ඉන්නවා නම් පුර්ණ පරීක්ෂණයක් කරලා ඔහුට විරුද්ධව ඉස්සෙල්ලා නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. ආණ්ඩුවේ ඉන්න ප්‍රබලයෝ ඒ කටයුතු වලට දායක වෙනවා නම් ගමේ ඉන්න මිනිස්සුන්ට විතරක් නීතිය ක්‍රියාත්මක කරලා බැහැ. මේ ආණ්ඩුව ස්වෙච්ජාවෙන් කරයි කියලා විශ්වාස කරන්න බැහැ. නමුත් ජනතාවගේ බල කිරීම මත ආණ්ඩුවට කරන්න වෙන අවස්ථාවක් යෙදෙයි. බරපතල තත්ත්වයට පත් වුණාම හදිසි නීතිය පැනවීමේ කිසිදු වරදක් අපි දකින්නේ නැහැ. නමුත් හදිසි නීතියට මුවා වෙලා ආණ්ඩුව වෙනත් අරමුණු ඉටු කර ගන්නට යනවා නම් ඒක බරපතල ක්‍රියාවක්. ඒකට විරුද්ධව මේ රටේ ජනතාව පෙළ ගැහෙන්න සූදානම්.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.