April 25, 2024

ඡායාරූප ශිල්පියාට මුදල් දෙන්නේ කමිටුව කිව්වොත් විතරයි

September 24, 2014

සංස්කෘතික සහ කලා කටයුතු පිලිබඳ අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා කැඩුණු සපත්තු යුගලක් පැලඳගෙන සිටි ඡායාරූපය ලබා ගත් කැමරා ශිල්පි ඉෂාර එස් කොඩිකාර වෙත මුදල් ප්‍රදානයක් කරන්නේද නැද්ද යන්න  තීරණය කර කරන්නේ ඒ පිළිබඳ පත් කළ කමිටුව තීරණය කළහොත් පමණක් බව අමාත්‍යවරයා කියයි.

මේවන විට අමාත්‍ය ටී.බී ඒකනායක මහතාගේ සපත්තු යුගල ජාත්‍යන්තර වශයෙන්ද අවධානයට ලක් වී ඇති අතර එංගලන්ත සමාගමක් අදාල පාවහන් යුගල අමෙරිකානු ඩොලර් මිලියන 1000කට මිලදී ගැනීමටද ඉදිරිපත් වී තිබේ. අමාත්‍යවරයා මේවන විට එම සපත්තු යුගල අලෙවිකිරීමට වෙන්දේසියක් පැවැත්වීමටද තීරණය කර ඇත.

මේ පිළිබඳ තීරණය කිරීමට ස්වාධීන කමිටුවක් පත් කිරීමට අමාත්‍යවරයා කටයුතු කර ඇති අතර අදාළ පාවහන් යුගල අලෙවි කිරිමෙන් අනතුරුව උපයා ගන්නා අදායම කුරුණෑගල දිස්ත්‍රික්කයේ සපත්තු යුගලක් නොමැති පාසල් දරුවන්ට සපත්තු ලබා දීමට යොදවන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එම සපත්තු යුගල කැමරාවට හසුකර ගත් විදෙස් මාධ්‍ය ආයතනයක ඡායාරූප ශිල්පියෙකු වන ඉෂාර එස් කොඩිකාර මහතාට මුදල් ප්‍රදානයක් කරන්නේද යන්න පත් කළ කමිටුව මගින් තීරණය කරන බව හෙතෙම සඳහන් කළේය.

පසුගිය 16 වැනි දා පස්වරු 7.00ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී  ජනාධිපති ෂී ජින්පින් මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙරටේම නියෝජිතයින් සහ මැතිඇමතිවරුන් ඉදිරියේ ආරම්භ වුණු උත්සවයක දී සංස්කෘතික සහ කලා කටයුතු පිලිබඳ අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පැලඳ සිටි සපත්තු කැඩී යාමෙන් අපහසුතාවයකට පත්විය.   

එම සපත්තු යුගල පැලඳ සිටීම පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ එම උත්සව අවස්ථාවට සහභාගී වීම සඳහා ජාතික ඇඳුමට ගැලපෙන සපත්තු යුගලක් පැලඳයාමට අවශ්‍ය වූ බැවින් තමා සතුව තිබූ පරණ සුදු පැහැති සපත්තු යුගලක් සොදා පිරිසිදු කර දෙන ලෙස සේවකයෙකුට පැවසූ බවයි.

පසුව එම සපත්තු යුගල පැලඳ උත්සවයට සහභාගීවීමේදී එම සපත්තු යුගලේ අඩිය කැඩී ඇති බව දැණුනු බවත් එහෙත් සපත්තුව කැඩීයාමෙන් පා තැබුවේ තම මව්බිමට බවත් අමාත්‍යවරයා පැවසී ය.   

 

Rate this item
(0 votes)
Last modified on Friday, 26 September 2014 10:17