March 29, 2024

13 ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි – මෝදි මහින්දට කියයි

September 28, 2020

ශ්‍රී ලාංකීය දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත.

නායකයන් දෙදෙනා අතර පසුගිය 26 වැනිදා පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී ඉන්දීය නායකයා මෙම ඉල්ලීම ඉදිරිපත් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනයේ මෙසේ දැක්වේ.

‘එක්සත් ශ්‍රී ලංකාව තුළ සමානාත්මතාව, යුක්තිය, සාමය සහ ගෞරවය සඳහා දෙමළ ජනතාවගේ අභිලාෂයන් ආමන්ත්‍රණය කරන​ ලෙස අගමැති මෝදි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමග ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑමට වැදගත් වේ.’

ඉන්දීය අගමැතිවරයාගේ මෙම ඉල්ලීමට පිළිතුරු වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ ‘ශ්‍රී ලාංකික ජනතාවගෙන් ලද ජනවරමට අනුව ප්‍රතිසන්ධානය සාක්ෂාත් කර ගැනීම සහ ව්‍යවස්ථාමය විධිවිධාන ක්‍රියාත්මක කිරීම තුළින් දෙමළ ජනතාව ඇතුළු සියලු ජනවාර්ගික කණ්ඩායම්වල අපේක්ෂාවන් සාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇති බවය.

සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව සහ ආරක්ෂක අංශයන්හි ශ්‍රී ලංකාවට ඉන්දියාව දක්වන සහයෝගය පිළිබඳ අන්‍යෝන්‍ය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා එකඟ වූ බව එම නිවේදනයේ දැක්වේ.

දෙරටේ අග්‍රාමාත්‍යවරුන් මෙම අදහස් හුවමාරු කරගත්තේ 26 වනදා වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති විශේෂ සාකච්ඡාවකදී ය.

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු රාජ්‍ය නායකයෙකු සමග පැවැත්වූ ප්‍රථම විශේෂ සාකච්ඡාව මෙයයි.

දෙරටේ කලාපීය හා ජාත්‍යන්තර කරුණු පිළිබඳ මෙහිදී අවධානය යොමුවිය.

Rate this item
(0 votes)