April 19, 2024

නරි භීතිකාව කලුතර පුරා පැතිරෙයි - මිල්ලනියෙන් හොරණටත් ඇවිත්

September 24, 2020

බණ්ඩාරගම, මිල්ලනිය මුවපට්ටියගම ඇතුළු ප්‍රදේශවල ගම්වාසීන් භීතියට පත් කරමින් පසුගිය දිනවල පැතිර ගොස් තිබූ නරි උවදුර මේ වන විට හොරණ ඉළිඹ ගම්මානයටද පැමිණ ඇතැයි වාර්තා වේ.

ඒ අනුව සුනඛයින් කිහිපදෙනෙකු නරි විසින් සපා කා ඇතැයි ඉළිඹ ප්‍රදේශවාසීන් පවසයි. හොරණ ඕවිටිගල ප්‍රදේශයේ දී මියගිය නරියකුගේ සිරුරක් හමුවීම නිසා එම ප්‍රදේශවල ජනතාවට වඩාත් අවධානයෙන් පසුවන්නැයි ‘‘ජලභීතිකාව පැතිරීම වැළැක්වීමේ රාජ්‍ය නිලධාරී කමිටු’’ සාමාජික මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එරන්දි කුලරත්න දන්වා සිටියි.

පසුගිය ඉරිදා (20) දිනයේ සිද්ධින් දෙකක් වාර්තා වී ඇති බව වෛද්‍ය කුලරත්න පැවසීය. හොරණ ඉළිඹ මූකලාන ප්‍රදේශයේ දී නිවසක් ආසන්නයට පැමිණි නරියකු නිවසේ ඇතිකරන සුනඛයා සපා කා අනතුරුව ගෙහිමියාව ද සපා කෑමට සූදානම් වූ අවස්ථාවේ දී ගෙහිමියා තම පුත්‍රයා සමග එක්ව පොලු පහර දී නරියාව පන්නා දැමූ බවත් එම ගම්මානයේම වෙසෙන සුනඛයකු නරියකු සපා කා තිබූ බවත් ඇය පැවසුවාය.

ඒ අනුව පසුගිය 21 වැනිදා දිනයේ තමන් ඇතුළු කණ්ඩායමක් ඉළිඹ ප්‍රදේශයට ගොස් තත්ත්වය සොයා බලා සුනඛයින් සිය දෙනෙකුට ජලභීතිකා, එන්නත් ලබාදීමට කටයුතු කළ බවත් එම ප්‍රදේශයේ ගවපට්ටි දෙකක සිටින ගවයින් නරින් විසින් සපා කා ඇති ද යන්න සැක සහිත බැවින් ගවයින් 120 කට පමණ පශූ වෛද්‍ය නිලධාරී කාර්යාලය හරහා එන්නත් ලබාදීමට කටයුතු කරන බවත් ඇය පැවසුවාය.

මේඅතර පෙරේදා (22 වැනිදා) හොරණ ඕවිටිගල ප්‍රදේශයෙන් ද මියගිය නරියකු හමුවී ඇති අතර එම නරියාගේ හිස කොටස බොරැල්ල වෛද්‍ය පර්‌යේෂණායතනයට යොමු කර ඇත. එම නරියාට ජලභීතිකාව වැලඳී ඇති බවට හෙළිවුවහොත් වහාම ඕවිටිගල ගම්මානයේ ද ආරක්‍ෂිත ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බවත් වෛද්‍යවරිය පැවසුවාය.

මිල්ලනිය ප්‍රදේශයේ තිබූ අවදානම මේ වන විට මදුරාවල ප්‍රදේශයට ද පැතිර යන බවට තොරතුරු ලැබෙමින් පවතී.

මේවන විට මිල්ලනිය සහ මදුරාවල ජලභීතිකා අවදානම් කලාප වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

Rate this item
(0 votes)