April 19, 2024

ඉස්ලාම් අන්තවාදය ගැන කිසිදු විවෘත විමර්ශනයක් කරන්න එපා - මෛත්‍රී දුන් උපදෙස් ගැන පූජිත් හෙළිකරයි

September 23, 2020

මෙරට ව්‍යාප්තවෙමින් තිබූ ඉස්ලාම් අන්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පොලීසිය මගින් කිසිදු විවෘත විමර්ශනයක් සිදු නොකරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට උපදෙස් දී තිබූ බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අද (23) පැවසීය.

එහිදී වැඩිදුරටත් සාක්ෂි දෙමින් ඔහු කියා සිටියේ තමන් කිසිවෙකුට නොකියා සිතෙහි සිරකරගෙන සිටි බොහෝ දෑ ජනාධිපති කොමිසම හමුවේ ඉදිරියේදි හෙළිකිරීමට බලාපොරොත්තු වන බවය.

පොලිස්පති තනතුර දරමින් සිටි කිසියම් අවස්ථාවකදි තමා ජනාධිපතිවරයාගෙන් උපදෙස් නොගෙන අගමැතිවරයාගෙන් උපදෙස් ලබාගත්තේදැයි එහිදී කොමිසම ඔහුගෙන් විමසා සිටි අතර ඊට පිළිතුරු දුන් හිටපු පොලිස්පතිවරයා "නැහැ කිසිම අවස්ථාවක එහෙම කළේ නැහැ. නමුත් දේශපාලනික වශයෙන් 2018 ඔක්තෝම්බර් මාසයේ ඇති වූ දින 52 ආණ්ඩුව වගේ සිදුවීම්වලින් පස්සේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවති සහසම්බන්ධතාවය පළුදු වුණාම මට ඔවුන් දෙදෙනා සමග සමබරව කටයුතු කරගෙන යාම ඉතා අසීරු වුණා. ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් පොලිස් කොමිසම දැනුවත් කළ යුතුව තිබුණා. නමුත් පොලිස් කොමිසමේ නිර්දේශ මත කළ ඇතැම් ස්ථාන මාරුවීම් නවත්වන්න සිද්ධවුණා" 

එකම කරුණක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දෙආකාරයකට උපදෙස් දුන් අවස්ථා පැවතියේදැයි කොමිසම විමසූ විට පූජිත් ජයසුන්දර මහතා පැවසුවේ එවැනි අවස්ථා වල තමා ජනාධිපතිවරයාගේ අණට එකඟ වූ බවය.

තමා පවසන්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන පොලිස් කොමිසම බලාත්මක කර තිබියදීත් එහි ක්‍රියාකාරිත්වයට බාහිර පාර්ශව බලපෑම් කළ බවදැයි කොමිසම ඔහුගෙන් යළි විමසා සිටියේය.

"2018 මුල් භාගයේ ඉඳලා බලපෑම් ආවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර නිලධාරින් වගේ තනතුරු වලට ස්ථාන මාරු ලබාදීමේදි පොලිස් කොමිසමේ නිර්දේශ ක්‍රියත්මක කළ නොහැකි වුණා. ඒවා නැවැත්තුවා" යැයි පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය.

එහිදි කොමිසමේ සාමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා "කව්ද නැවැත්තුවේ" යැයි විමසූ විට "ජනාධිපතිවරයා" යැයි පූජිත් ජයසුන්දර මහතා ඊට පිළිතුරු දුන්නේය.

එහිදී වැඩිදුරටත් සාක්ෂි දුන් ජයසුන්දර මහතා මෙසේ ද පැවසීය,

"2018 ඔක්තෝම්බර් 23 ජාතික ආරක්ෂක කවුන්සිලය පැවැත්වෙන්න නියමිතව තිබුණා. නමුත් පස්වරුව වෙනකං ඒ පිළිබඳව මා දැනුවත් කළේ නැහැ. පස්වරු 4.30 ට විතර මම එවකට ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතාට කථා කරලා ඇහුවා. 'සර් අද Security Council එක තියෙනවාද? මම නම් දැනුවත් කරලා නැහැ.' කියලා. එතකොට මට කපිල වෛද්‍යරත්න මහතා කිව්වා පූජිත් මට ඔයාට කියන්න බැරුව හිටියේ. නමුත් දැන් අහපු නිසා කියන්නම්. ජනාධිපතිතුමා කිව්වා ඔබව කැඳවන්න එපා කියලා".

"ආරක්ෂක කවුන්සිලයට එන්න එපා කිව්වාම මම ගොඩාක් අපහසුතාවයට පත්වුණා. මොකද ආරක්ෂක කවුන්සිලයේ කතාකරන කිසිම දෙයක් මට දැනගන්න විදිහක් තිබ්බේ නැහැ. ආරක්ෂක කවුන්සිලයෙන් ලිඛිතව කිසිම දෙයක් මට ආවෙත් නැහැ. පස්සේ මගෙන් පස්සේ පොලීසියේ හිටපු ජ්‍යෙෂ්ඨතම නිලධාරියාව ගෙන්වන්නේ නැතුව වෙන නිලධාරින් ආරක්ෂක කවුන්සිලයට ගෙන්වා තිබුණා" යනුවෙන්ද පූජිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එහිදී ජනාධිපති කොමිසමේ සාමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා විමසා සිටියේ පාස්කු ප්‍රහාරය වැනි විනාශකාරි පෙරළියක ආරම්භය ඇතිවූයේ ඔය සිදුවීමෙන්ද යන්නයි.

"නැහැ. එහෙම්මම කියන්න බැහැ. 2012, 2013 වගේ කාලයේ ඉඳලා ජාත්‍යන්තරව ඇතිවුණු අන්තවාදී ක්‍රියාකාරකම්වලින් මෙරටට සිදුවන බලපෑම සම්බන්ධයෙන් පියවර නොගැනීම නිසා සමස්ථ ක්‍රියාවලියම පරිහානියට පත්වෙලයි තිබුණේ. නමුත් මේ සිදුවීමෙන් මට තොරතුරු ලැබීම නැවතීයාමෙන් තීරණ ගැනීම කෙරෙහි ප්‍රශ්න ඇතිවුණා" යනුවෙන් හිටපු පොලිස්පතිවරයා පිළිතුරු ලබාදුන්නේය.

පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ මෙරට පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිදුන්නේ දෙවන දිනටය.

Rate this item
(0 votes)