April 25, 2024

වැලිකඩ සිරගෙදර කැරැල්ලේ පරීක්ෂණ නැවත අරඹන්න ඇමති බලපෑම් කළා - පූජිත් ජනපති කොමිසමේදී පිලිගනී

September 23, 2020

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ කැරැල්ලේ දී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර තිබූ පසුබිමක යහපාලන ආණ්ඩු සමයේ දී යළි එම විමර්ශන ආරම්භ කළේ හිටපු බන්ධනාගාර හා පුනරුත්ථාපන අමාත්‍ය ඩී. එම් ස්වාමිනාදන් මහතාගේ බලපෑම් මත බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පිළිගෙන තිබේ.

ඒ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමිනි.

හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලන ජනපති කොමිසමට කළ පැමිණිල්ලකට අදාළව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එහි වගඋත්තරකරුවෙකු ලෙස නම් කෙරුණි.

ඔහු අද (23) පළමුවරට කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අතර, කොමිසම විමසා සිටියේ,“යහපාලන රජය සමයේ පොලිස්පතිවරයා ලෙස ඔබ 2012 නොවැම්බර් මස 10 වැනිදා ඇතිවූ වැලිකඩ බන්ධනාගාර සිදුවීම පිළිබඳ නැවත විමර්ශනයක් ආරම්භ කළේ ද?“ යන්නය.

කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් පූජිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, හිටපු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති දූෂණ වීරෝධී කමිටු රැස්වීමකින් අනතුරුව එතුමා එවු ලිපියක් අනුව වැලිකඩ සිද්ධියට අදාළව නැවත පරීක්ෂණ ආරම්භ කරන්නැයි උපදෙස් ලැබුණු බවත්, ඒ අනුව 2017 වසරේ තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නැවත මෙම සිදුවීමට අදාළ විමර්ශන ආරම්භකරන ලෙසට දැනුම්දුන් බවය.

අනතුරුව කොමිසම පූජිත් ජයසුන්දර මහතාගෙන් විමසා සිටියේ සිටියේ,“දේශපාලන ලිපියක් මත ඔබ නැවත මෙම විමර්ශන ආරම්භ කළේ ද?“ යන්නය. 

ඊට පිළිතුරු ලබාදෙමින් පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ, දැන් කරුණු සොයා බැලීමේ දී එසේ සිදුවන්නට ඇතැයි තමාට හැඟීයන බවය.

එමෙන්ම දූෂණ විරෝධී කමිටුවේ රැස්වීම්වලටද තමා සහභාගි වූ බවත් හිටපු අමාත්‍ය ස්වාමිනාදන් මහතා මෙම පරීක්ෂණ නැවත ආරම්භ කිරීමට මෙම ලිපිය සකස් කර ඇත්තේ, එම කමිටුව මගින් ගත් තීරණයක් නිසා විය හැකි බවත් පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශකර සිටියේ ය.

Rate this item
(0 votes)