April 25, 2024

"වෛද්‍ය අධ්‍යාපනය ලැබූ 1500ක් තාම ගෙවල්වල - වෛද්‍ය සභාව මේ අර්බුදයට වග කිව යුතුයි!" - රසික ජයකොඩි

September 23, 2020

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය රෝහල් වෛද්‍යවරුන්ගේ හිඟය නිසා දැඩි අර්බුදයකට මුහුණ පා සිටින විට වෛද්‍යවරුන් ලෙස සේවය කිරීමට අධ්‍යාපන සුදුසුකම් සපුරා ඇති 1500කට ආසන්න පිරිසක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අකාර්‍යක්ෂමතාව සහ අදක්ෂකම නිසා නිවෙස්වල බලා සිටින බව සමගි තරුණ බලවේගයේ ප්‍රචාරක ලේකම් රසික ජයකොඩි ප්‍රකාශ කළේය.

විදේශ විශ්ව විද්‍යාලවල වෛද්‍ය අධ්‍යාපනය හදාරා ශ්‍රී ලංකාවට පැමිණ සිටින තරුණ තරුණියන් විශාල පිරිසක් මේ අන්දමට අසරණ වී සිටින්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ERPM විභාගය පැවැත්වීම වසරකටත් අධික කාලයක් තිස්සේ කල් දමා ඇති නිසා බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

"ERPM විභාගයේ A සහ D කොටස් අවසන් වරට පවත්වා තියෙන්නේ 2019 වසරේ ජූනි මාසයේ. නැවත මේ විභාග කවදා පවත්වනවා දැයි කවුරුවත් දන්නෙ නෑ. වෛද්‍ය අධ්‍යාපනය හැදෑරූ සිසුන් විශාල පිරිසක් මුදල් ගෙවා මේ විභාගයට ලියාපදිංචි වෙලා හිටියත් අඩුම තරමේ මේ විභාගය කොයි කාලේ පැවැත්වෙනවද කියලා කිසිම දැනුම් දීමක්වත් කරලා නෑ. මේ තියන තත්ත්වය අනුව දින නියමයක් නැතුව වුණත් මේ විභාගය කල් යන්න පුළුවන්. එතකොට මේ දරුවන්ගේ අනාගතය ගැන වගකීම ගන්නෙ කවුද?"

"'මේ හුඟක් දරුවන් සාමාන්‍ය මධ්‍යම පාංතික පවුල්වලින් එන අය. හුඟක් දෙමාපියන් ණය වෙලා තමයි තමන්ගෙ දරුවන් වෛද්‍ය අධ්‍යාපනය සඳහා පිටරට යවලා තියෙන්නෙ. ඒ නිසා ඔවුන්ගෙ ඉරණම විහිළුවකට ගන්න කාටවත් අයිතියක් නෑ. මේ දරුවන් 1500ට සිදු කරලා තියන අපරාධයට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් වග කිව යුතුයි."

"මේ වන විට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගැන විමර්ශනය කරන්න සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් කමිටුවක් පත් කරලා තියනවා. කමිටු දැම්මයි කියලා මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසඳෙන්නෙ නෑ. ඉක්මන් තීරණ අරන් මේ දරුවන්ට විභාගය පැවැත්වෙන දිනය පිළිබඳ හරි තීරණයක් දෙන්න. ඔවුන්ගෙ අනාගතය ගැන සහතිකයක් දෙන්න," යැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Rate this item
(0 votes)