March 29, 2024

ආණ්ඩුව මෙගා ව්‍යාපෘති නවතයි! සැහැල්ලු දුම්රිය මාර්ග ගිවිසුම අවලංගු කළ නොහැකි තත්වයක් Featured

September 23, 2020

කොළඹ කොටුව සිට මාලඹේ දක්වා ඉදිකිරීමට ගිවිසුම් අත්සන් කළ කිලෝ මීටර් 15ක් දිග සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ ණය ගිවිසුම අවලංගු කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව මුදල් අමාත්‍යාංශය ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (ජයිකා) සමග සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතය.

මහාපරිමාණ (මෙගා) ව්‍යාපෘතිවල සිට වාරිමාර්ග, කෘෂිකාර්මික, කිලෝ මීටර් 100000 මාර්ග ව්‍යාපෘතිය සහ නව ගෘහ ජලසම්බන්ධතා 150000ක් ලබාදීම යන ක්ෂුද්‍ර, අත්‍යවශ්‍ය ව්‍යාපෘති වෙත මාරු වීමට රජය මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අත්හිටුවීමේ සාකච්ඡා ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

‘ජයිකා’ ගිවිසුම නිල ගිවිසුමක් බවත් එම කොන්ත්‍රාත්තුව සාකච්ඡා මාර්ගයෙන් නිල වශයෙන් අවලංගු කළ යුතු බවත් මුදල් අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

අලුතින් ආරම්භ කිරීමට නියමිත සහ දැනට ආරම්භ කර ඇති මහාපරිමාණ ව්‍යාපෘති සමාලෝචනය කිරීම සඳහා මෙතෙක් කැබිනට් කමිටුවක් පත් කර නැති නමුත් නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ එවකට ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දුවික්‍රම මහතා පසුගිය ජුනි මාසයේ දී ප්‍රකාශ කළේ මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අත්හිටුවා එය රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් සහිත ව්‍යාපෘතියක් ලෙස ඉදිරියට ගෙන යෑම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවයි.

කෙසේ වෙතත් රජයේ එම ප්‍රකාශය සමග ජයිකා ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිත ෆුසාමෝ තනාකා මුදල් අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කළේ රජයේ මෙම හදිසි ප්‍රකාශය පිළිබඳව ‘මහත් කම්පනයක්’ ඇති කළ බවයි.

එම ගිවිසුම අවලංගු කරන්නේ නම් එය නිල වශයෙන් සිදු කළ යුතු බවද ජයිකා නියෝජිතයා පෙන්වා දී තිබිණි.

2019 වසරේ මාර්තු මාසයේ දී මීට අදාළ ණය ගිවිසුමට ශ්‍රී ලංකා රජය සහ ජයිකා ආයතනය එළැබිණි. ජපාන තාක්ෂණය ඔස්සේ නිම කිරීමට යෝජිත මෙම දුම්රිය මාර්ගය 2026 අප්‍රේල් මාසයේ දී විවෘත කිරීමට නියමිත විය. වසර 12ක සහන කාලයක් සහිතව 0.1%ක පොලී අනුපාතයකට මෙම ණය මුදල ශ්‍රී ලංකාවට ලබා දීමට ගිවිසුමින් එකඟතාව පළ කර ති​බේ.

Rate this item
(0 votes)