April 23, 2024

කුරුවිට බන්ධනාගාර අධිකාරීවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් - බන්ධනාගාරයේම සැරයන්වරයෙකු ගැන පරීක්‍ෂණ

September 19, 2020

කුරුවිට බන්ධනාගාර අධිකාරී ධම්මික දසනායක මහතා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයක් පිළිබද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.

බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ අධිකාරීවරයෙකු විසින් එම පරීක්‍ෂණය පවත්වන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ප‍ැවසීය.

කුරුවිට බන්ධනාගාරයේ සේවය කළ සැරයන්වරයෙකු රැදවියෙකු මාර්ගයෙන් එලෙස ඝාතනය කිරීමට සැලසුම් කර තිබේ. අදාළ සැරයන්වරයා කුරුවිට බන්ධනාගාරයේ සේවය කළ සමයේ ඔහුට එරෙහිව විවිධ විෂමාචාර සිද්ධීන් සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබිණි. ඒ අනුව ඔහු අභ්‍යන්තර රාජකාරීවලින් ඉවත් කර එළිමහන් රාජකාරීවලට අනියුක්ත කිරීමට කුරුවිට බන්ධනාගාර අධිකාරීවරයා පියවර ගෙන ඇත.

ඉන් උරණ වූ අදාළ සැරයන්වරයා වෙනත් බන්ධනාගාරයක රැදවියෙකුගේ මාර්ගයෙන් බන්ධනාගාර අධිකාරීවරයා ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වී ඇත.

මේ සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලකට අනුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන බවට කුරුවිට පොලීසිය විසින් රත්නපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයාට ද කරුණු වාර්තා කර තිබේ.  

අදාළ සැරයන්වරයා හොරොයින් ජාවාරම්කරුවන් සහ පාතාල ක‍්‍රියාකාරීන් හා සම්බන්ධව කටයුතු කිරීමේ චෝදනාව මත අදාළ සැරයන්වරයා පල්ලේකැලේ එළිමහන් බන්ධනාගාරයට ස්ථාන මාරු කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය. 

සැකකාර සැරයන්වරයා මේ වන විට කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ රඳවා සිටින හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා පාතාල ක‍්‍රියාකාරියෙකු වන තිලංග රෝහිත රාමනායක නොහොත් රාමනායක සුද්දා නැමැත්තා යොදාගනිමින් මෙම ඝාතන කුමන්ත‍්‍රණය මෙහෙයවා ඇති බව කුරුවිට පොලීසිය අධිකරණයට දැනුම් දී තිබේ.

‘‘රාමනායක සුද්දා” නැමැති පාතාල නායකයාගේ ගෝලයන් දෙදෙනකු වන සම්පත් සහ දිනේෂ් නමැති පුද්ගලයින් යොදාගෙන මෙම ඝාතනය සැලසුම් කර ඇති බව පොලීසිය අධිකරණයට ඉඳිරිපත් කළ බී වාර්තාවේ සඳහන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් රාමනායක සුද්දා නමැති රැදවියාගෙන් පොලීසිය ප‍්‍රකාශයක් ද සටහන් කර ගෙන ඇත.

Rate this item
(0 votes)

Related items