March 19, 2024

උපදෙස් ක්‍රියාවට නැංවීම ගැන ජනපතිට බෞද්ධ උපදේශක සභාවේ ප්‍රසාදය

September 19, 2020

මහා සංඝරත්නයේ උපදෙස් හා යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපති බෞද්ධ උපදේශක සභාව ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රසාදය පළ කරයි.

ජනාධිපතිවරයා අනුගමනය කරන පිළිවෙත් යහපත් හා සාධාරණ සමාජයක් ගොඩනැගීමට ඉවහල් වනු ඇතැයි උපදේශක සභාවේ සාමාජික නායක භික්ෂුන් වහන්සේ විශ්වාසය පළ කරති.

රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා මහා සංඝරත්නයේ උපදෙස් හා අදහස් ලබා ගැනීම පිණිස බෞද්ධ උපදේශක සභාව ස්ථාපනය කිරීමට මාස 05කට පමණ පෙර ජනාධිපතිවරයා තීරණය කළේය.

මහා සංඝරත්නය සහ ජනාධිපතිතුමා අතර ප්‍රථම හමුව අප්‍රේල් 24 දා ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ. එහිදී කොවිඩ් වසංගත මර්දන ක්‍රියාදාමය සහ රජයේ ඉදිරි ගමන් මග පිළිබඳව ජනාධිපතිවරයා නායක ස්වාමින් වහන්සේ දැනුවත් කළේය. සෑම මසකම 03 වැනි සතියේ සිකුරාදා බෞද්ධ උපදේශක සභාව හමුවීමට අපේක්ෂා කරන බව දැනුම් දුන් ජනාධිපතිවරයා ඊට සහභාගී වන්නැයි ත්‍රෛනිකායික මහා සංඝරත්නයට ඇරයුම් කළේය.

උපදේශක සභාවේ සාමාජික ත්‍රෛනිකායික භික්ෂුන් වහන්සේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි  ඇතුළත්  විවිධ ක්ෂේත්‍රයන්ට අදාළ සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා වන උපදෙස් සහ යෝජනා සභා වාර 05කදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළහ.   

ඊයේ (18) සවස 06 වැනි වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ බෞද්ධ උපදේශක සභාව විසින් මෙතෙක් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කරනු ලැබීය.

පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ඓතිහාසික ස්ථාන සුරැකීම, අඩු පාඩු ඉවත් කොට පිරිවෙන් අධ්‍යාපනයේ   උන්නතිය සැලසීම, විහාරස්ථාන ඉඩම් නිරවුල්කර පූජා ඔප්පු දීම, දහම් පාසල් අධ්‍යාපනය, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය, පූර්ව ළමා විය සංවර්ධනය, ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දීම, මත්ද්‍රව්‍ය උවදුර මර්දනය, පරිසර සංරක්ෂණය, ශාසන කතිකාවතකට පසුබිම සැකසීම, බෞද්ධ විශ්ව විද්‍යාල අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනීම ඇතුළු තවත් යෝජනා රැසකට රජයේ අවධානය යොමු කරමින් ක්‍රියාත්මකවීම පිළිබඳව මහා සංඝරත්නය ප්‍රසාදය සහ ආශිර්වාදය පළ කළහ.

ඉතිහාසයේ පළමු වතාවට රාජ්‍ය අමාත්‍යවරු 04 දෙනෙකු යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයට ශක්තිමත් සහ ස්ථාවර අනාගත අඩිතාලමක් සැකසීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබීම උපදේශක සභාවේ ඇගයීමට ලක් විය.

පුරාවිද්‍යා ඉඩම්වල ස්ථාපිත විහාරස්ථාන  පිළිබඳව දීර්ඝකාලීනව පැවති ගැටළු විසදීම පිණිස පුරාවිද්‍යා පනත සංශෝධන එක්  කිරීමට ගත් තීරණය බොහෝ දෙනාගේ ප්‍රසාදයට ලක්වී ඇතැයි මහා සංඝරත්නය පෙන්වා දුන්හ.

මසකට වරක් රැස්වෙන උපදේශක සභාවේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා තමාට මෙන්ම නිලධාරීන්ට ද විවිධ ක්ෂේත්‍ර පිළිබඳව මනා අවබෝධයක් ගැනීමට එය ඉවහල් වූ බව කියා සිටියේය. පවතින අඩු පාඩු විසඳීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා පැවසීය.

බෞද්ධ උපදේශක සභාව නියෝජනය කරන මහා සංඝරත්නය සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා, අමාත්‍යාංශ ලේකම්වරු, ආයතන ප්‍රධානීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

Rate this item
(0 votes)