March 19, 2024

බඩුමිල අඩු කරන්න බැහැ.. මාත් මේ ලෝකෙ තවත් එක සත්වයෙක් - වෙළෙඳ ඇමැති කියයි

September 19, 2020

බඩුමිල ඉහළ යාමෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට කිසිදු කෙටිකාලීන සහනයක් ලබාදීමේ හැකියාවක් නොමැති බව වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ පසුගියදා හෝමාගම ප්‍රදේශයේදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“මුළු ලෝකෙම අද තියෙන විශාලම ප්‍රශ්නය තමයි මේ කොරෝනා වසංගතයෙන් මිනිස්සු මැරි මැරී වැටෙනවා. එවැනි තත්වයක් තුළ අපට කළ හැකි දේ තමයි භාණ්ඩ මිලේ ප්‍රශ්නයට එක විසඳුමයි තියෙන්නෙ, අපේ රටේ නිෂ්පාදනය කරගත හැකි සියලු දේ වැඩි වැඩියෙන් අපි නිෂ්පාදනය කරගත්තොත් මිල අඩුවෙනවා. ඒ සඳහා තමයි දැන් විදේශයන්ගෙන් ගෙන්වන භාණ්ඩ ජනාධිපතිතුමා මොන හේතුවක් නිසාවත් ගෙන්නන්න දෙන්නෙ නැත්තේ. මේ රටේ ගොවියා ආරක්ෂා කරලා නිෂ්පාදනය වැඩි කරන්න. ඉතිං ඒක කෙටිකාලීන වශයෙන් අර්බුදයක් තිබුණත් දිගුකාලීන වශයෙන් වඩා වාසිදායක ස්ථාවර වෙළඳපොල තත්වයකට ගමන් කරන්න පුළුවන්කම ඇතිවෙනවා” 

වෙළඳ අමාත්‍යවරයා ලෙස බඩුමිල සම්බන්ධයෙන් ජනතාවට කෙටිකාලීන සහනයක් දිය නොහැකිදැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ “නැහැ, එහෙම කරන්න බැහැනෙ. බොරු ප්‍රාතිහාර්ය විසඳුම් නැහැනෙ. මේ ලෝකෙ ඉන්න එක සත්වයෙක් විදියට තමයි වෙළඳ අමාත්‍යවරයාත් ඉන්නෙ. ඒක නිසා මුළු ලෝකෙම වරාය වහනකොට ගුවන්තොටුපල වහනකොට ලංකාවෙ වෙළඳ ඇමතිට බැහැනෙ ගුවන්තොටුපල අරින්න කියන නියම කරන්න වෙන රටවලට” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)