March 28, 2024

20 ආවොත් පාර්ලිමේන්තුව තැපැල් කන්තෝරුවක් වෙයි - හිටපු කතානායක

September 19, 2020

වත්මන් රජය ඉදිරිපත් කර ඇති විසිවැනි සංශෝධනයේ යෝජිත ඇතැම් කරුණු පිළිබඳ ජනතාව දැනුවත් වී සිටියා නම් ලක්ෂ හැටනවයක ජනතාව තම වටිනා ඡන්දය කිසි විටකත් මෙම ආණ්ඩුවට ලබා නොදෙන බවත් ආණ්ඩුව දැන් කළ යුත්තේ රටේ සියලුම ජන කොටස්වලට විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ දැනුවත් කිරීමට කටයුතු කිරීම බව හිටපු කථානායක කරු ජයසූරිය පැවැසීය.

ලෝකයේ වඩාත් ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ජාතික වැදගත්කමකින් යුතු කාර්යයකදී මහජන අදහස් විමසීම සඳහා ජනතාව දැනුවත් කරන බවත්, තමන් වත්මන් ආණ්ඩුවට යෝජනා කර සිටින්නේ මෙරටේ ජනතාවටද මෙම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අධ්‍යයනයට එවැනි දැනුවත් කිරීම් කළ යුතු බවත් යැයි හිටපු කථානායකවරයා පැවැසීය.

ඔහු මේ බව කියා සිටියේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් ඇතුල්කෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

මෙම විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය මෙරටදී සම්මත වුවහොත් සිදුවන්නේ මේ රටේ ජීවත්වන මිලියන විසි එකක ජනතාවගේ ප්‍රජා අයිතිය එක් පුද්ගලයකුට භාර දීමට සිදුවීම බවත්, එය කෙතරම් සාධාරණද යන්න ජනතාව දෙවරක් තෙවරක් නොව කිහිප වරක්ම සිතිය යුතු බවද ඔහු පවසා සිටියේය.

පසුගිය මැතිවරණයට රජය වියදම් කළ බිලියන අටක මුදල, මෙම සංශෝධනය සම්මත වුවහොත් නිරපරාදේ අපතේ යන බවත් එසේ වන්නේ මෙම සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට මැතිවරණය අවසන් වී වසරකින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකිවීම නිසා යැයිද හෙතෙම එහිදී කියා සිටියේය.

මෙහිදී අදහස් දක්වා සිටි හිටපු කථානායක කරු ජයසූරිය.

‘‘ලෝකයම ආර්ථික වශයෙන් දැඩි අර්බුදයකට ලක්වෙලා ඉන්න අවස්ථාවක දකුණ ආසියාවේ ඉහළම ජීවන වියදම හිමි රට විදියට ඍණ ආර්ථියක් තියෙන රටක් විදියට අපිට මේ අගාධයෙන් ගොඩනඑන්න වැඩ කරන්න අවශ්‍යයි. ඒ කිසිවක් නොමැතිව වර්තමාන රජය ඉතාම හදිසියේ මේ විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය ගේන්න මේ තරම් හදිසි වෙන්නේ ඇයි කියලා අපිට ගැටලුවක්. මේ සංශෝධනයේ තියෙන ඇතැම් කරුණුවල බරපතළකම මේ රටේ ජනතාව දන්නේ නැහැ.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අපි මේ රජයට ඉදිරිපත් කරල තියෙනවා කරුණු විසිහතරක්. මේ කරුණු විසිහතරෙනි අන්තර්ගත වෙලා තියෙන්නේ මේ සංශෝධනය මේ රටට ගෙනාවොත් සිදුවන විපර්යාසය. ලංකාවේ ඉන්න පාසල් යන දරුවා පවා මේ සංශෝධනය පිළිබඳ දැනුවත් වෙන්න අවශ්‍යයි. මොකද මේ සංශෝධනයේ බරපතළ බලපෑමට අනාගතයේ ලක්වන්නේ අපේ රටේ දරු පරපුර සහ නූපන් දරුවන්.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වසර විස්සක් හිටපු මන්ත්‍රීවරයෙක් විදියට මම ඇත්තටම කම්පා වෙනවා ඉදිරියේදී අපේ රටේ උත්තරීතරම ස්ථානය තැපැල් කන්තෝරුවක් බවට පත්වෙන එකට. මොකද මේ සංශෝධනය රටේ සම්මත වුණොත් වෙන්නේ පාර්ලිමේන්තුවට තැපැල් කන්තෝරුවක් වගේ වෙන්න. මුද්දරය ගහන්න විතරයි තියෙන්නේ. ඇමැතිවරු සියයක් වුණත් මේ සංශෝධනයට අනුව පත් කරන්න පුළුවන්. මෙයින් සිදුවන්නේ අගමැතිගේ බලතල අඩුවෙලා ජනාධිපතිවරයාට හිතු හිතූ දේවල් කරන්න බලතල ලැබෙන එකයි.

Rate this item
(0 votes)