April 19, 2024

මහ ජන්දයට වඩා උණුසුම් කතරගම බස්නායක නිලමේ ජන්දය

September 16, 2020

රුහුණු මහා කතරගම දේවාලයේ 12 වැනි බස්නායක නිලමේවරයා තෝරා පත් කර ගැනීමට නියමිතව ඇත්තේ මේ මස 22 වැනි දිනය. මේ සඳහා ඡන්ද දායකයින් 17ක්‍ සුදුසුකම් ලබා ඇති අතර ඉන් 11 දෙනෙකුම මොණරාගල දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම්වරුය.

මේ වන විට දේශපාලඥයන් විසින් නම් කරන ලද හා විවිධ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු බස්නායක නිලමේ ඡන්දයට ඉදිරි පත්ව සිටිති.

මහා ඡන්දටත් වඩා උණුසුම් වන කතරගම දේවාලයේ මෙම ඡන්ද සටනේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ භූමිකාව ඉතා ප්‍රබලය.

පසුගිය කාලය පුරාම ඡන්දෙන් හෝ නිතරගයෙන් මේ තනතුරට පත් වුවන් අධික මුදලක් අල්ලස් ලෙස ලබා දී එම ධූරයට පත් වූ බව නොරහසකි. 

රජයේ නිලධාරීන් වන ප්‍රාදේශීය ලේකම්වරු යම් කිසි අපේක්ෂකයෙකුට ඡන්දය ලබා දීමේදී ඒ සඳහා අධික මුදලක් ඉල්ලීම පසුගිය කාල සීමාව පුරා ම දක්නට ලැබූනු බව තතු දත් ආරංචි මාර්ග පවසයි. මේ වෙන විට නිළවරණය පැවැත්වෙන දින ඉතා ආසන්නව පවතින නිසා ප්‍රාදේශීය ලේකම්වරුන් පත් කර ගන්නා ලද විශේෂ නියෝජිතයෙක් මඟින් සිය ඡන්දය ලබා දීමට අදාල ගනුදෙනු සාකච්ඡා කරමින් සිටියි.

වර්තමානය වන විට සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල පෙර පැවති රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ගැලවී රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් ව තිබේ . ජනාධිපතිවරයා විසින් එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට ඇතැම් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මෙවැනි ආකාරයේ විෂම ක්‍රියා හේතු වූ බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් දැනගැනීමට ඇත. මෙය ඉතා කාලෝචිත පියවරක් බව ද විහාර දේවාල වල නිලවරණ ගැන දන්න බොහෝ දෙනා ප්‍රකාශ කරති.

කතරගම පුද බිම ඡන්ද සටන හා බැඳී පවතින සමහර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධික අල්ලස් මුදල් ලබා ගැනීම පිළිබඳව බුද්ධි අංශ නිලධාරීන් දැඩි අවධානයෙන් පසුවෙන බව වාර්තා වේ. එය ජනාධිපතිවරයා විසින් ගත් වැදගත් පියවරකි.

බස්නායක නිලවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරු මුදල් ඉල්ලූ ආකාරය පටිගත කරන ලද හඬ පට හා වීඩියෝ දර්ශන ද ඉදිරි කාලයේදී සමාජ මාධ්‍ය ජාලා වෙත නිකුත් කිරීමට පියවර ගන්නා බවද සමහර අපේක්ෂකයින් ප්‍රකාශ කර ඇත.

ඩී.පී කුමාරගේ මහතා විසින් 2015 වසරේ දී කතරගම බස්නායක නිලමේ ධූරයට නිතරගයෙන් පත්වීම සඳහා එක් ඡන්ද දායකයකු සඳහා රුපියල් ලක්ෂ 50 ක මුදලක් ලබා දුන් බව ප්‍රකාශ වන අතර සැබෑ ලෙස ම මෙවැනි තත්වයක් යටතේ නිසි ලෙස රාජකාරි ඉටු කරන ප්‍රාදේශීය ලේකම්වරු වෙත ද මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රාදේශීය ලේකම්වරුන් එල්ල කරනු ලබන්නේ තද කළු පැල්ලමක් බව නොකියාම බැරි ය.

Rate this item
(0 votes)