April 20, 2024

“මට එය දැනුම්දීමට අමතක වුණා..උපදෙස් මොනාද කියලා මම දන්නේ නැහැ“ - හිටපු ජාතික බුද්ධි ප්‍රධානියා කළ ප්‍රකාශය

September 16, 2020

ප්‍රහාරයක් ගැන ලැබී තිබූ අනතුරු ඇඟවීමේ තොරතුරු පසුදින බුද්ධි සම්බන්ධිකරණ රැස්වීමේදි සාකච්ඡාවට ගන්නැයි රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයාට දැනුම් දෙන ලෙසට එවක ආරක්ෂක ලේකම් දුන් උපදෙස ක්‍රියාත්මක කිරීමට අමතක වූ බව හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළේය.

ඒ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙරේදා (14) සාක්ෂිදෙමිනි.

හිටපු ජාතික බුද්ධි ප්‍රධානි විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා පෙරේදා පස්වන දිනටත් ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේ එවක රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සිසිර මෙන්ඩිස් මහතාට එවූ පූර්ව අනතුරු ඇඟවීමේ ලිපිය සම්බන්ධයෙන් පළමුවෙන්ම ප්‍රශ්න කෙරුණි.

Top Secret යනුවෙන් සඳහන් කළ අදාළ ලිපිය පසුගිය වසරේ අප්‍රේල් මස 8 වන දින පෙරවරුවේ තමන් ලද අතර එහි සහරාන් හෂීම් ප්‍රමුඛ ජාතික තවුහිද් ජමාත් සංවිධානය නුදුරේදිම එල්ල කළ හැකි ප්‍රහාරයක් පිළිබඳ සඳහන් වූයේයැයි මෙන්ඩිස් මහතා සඳහන් කළේය.

එහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ඒ මහතා කුමන ආගම් භක්තිකයෙක්දැයි විමසා සිටි අතර ඊට පිළිතුරු දෙමින් සිසිර මේනඩිස් මහතා පැවසුවේ තමන් හොඳ බෞද්ධයෙකු වන අතර තම බිරිඳ රෝමානු කතෝලිකයකු වන බවය.

එවැනි පසුබිමක අප්‍රේල් 8 ලද තොරතුරේ වැදගත් පල්ලි ප්‍රහාරයේ ඉලක්ක විය හැකියැයි සඳහන් වු විට තමා ඒ සම්බන්ධයෙන් ගත් පියවර කුමක්දැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේය.

"අප්‍රේල් 8 පෙරවරුවේ ලිපිය ලද වහාම ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හමුවීමට උත්සාහ ගත්තත් එය ව්‍යර්ථ විය. පස්වරුවේ හමුවෙන්න අවස්ථාව ලැබුණි. දේවස්ථානවලට ප්‍රහාර එල්ල විය හැකි බවට වූ විදෙස් තොරතුර පිළිබඳව එහිදී මා ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කළේය.

"හෙට බුද්ධි සම්බන්ධිකරණ රැස්වීමේදි නිලන්තට මේක ගන්න කියමු කියලා ඔහු මා හට උපදෙස් දුන්නා " යනුවෙන් සිසිර මෙන්ඩිස් මහතා සඳහන් කළේය.

ඒ පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාට දැනුම් දුන්නේ දැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය එවිට ඒ මහතාගෙන් විමසීය.

"මට එය දැනුම්දීමට අමතක වුණා. නමුත්, ඔහු වෙත පළමුවෙන් ලද බුද්ධි තොරතුර සාකච්ඡාවට බඳුන්කිරීම රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා සතු වගකීමක් " යැයි සිසිර මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළේය.

මෙහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ රාජ්‍ය බුද්ධි සේවයේ එවක අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා මුල් බුද්ධි තොරතුර එලෙසින්ම ඔබට යොමු කිරීම හරහා ඔබෙන් යම් උපදෙසක් බලාපොරොත්තු වුණා නොවේද යන්නය.

"මම ජාතික බුද්ධි ප්‍රධානියා වුණාට ඔහු සිටියේ මා යටතේ නෙමෙයි. ඔහු සිටියේ ආරක්ෂක ලේකම් යටතේ. ඉතිං ඔහුට දෙන්න ඕන උපදෙස් මොනාද කියලා මම දන්නේ නැහැ. අනික රටේ බුද්ධි තොරතුරු සපයන ප්‍රධානතම ආයතනය භාරව ඉන්න ජ්‍යෙෂ්ඨ නිලධාරියා ඔහු. ඔහු කිසිදාක මගෙන් උපදෙස් ලබාගෙන නැහැ. " යනුවෙන් සිසිර මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළේය.

මේ අතර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඊයේ (15) 23 වන දිනටත් සාක්ෂි ලබාදීම සදහා ජනාධිපති කොමිසම හමුවට පැමිණි අතර එහිදි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා ඔහුගෙන් හරස් ප්‍රශ්න විමසීය.

විදෙස් බුද්ධි අංශයකින් ලද පළමු බුද්ධි තොරතුරේ වැදගත් පල්ලි ප්‍රහාරයක ඉලක්ක බවට පත්විය හැකි බව සඳහන්ව තිබීමෙන් මිනිස්සුන් වැඩියෙන් ගැවසෙන කතෝලික දේවස්ථාන ඉලක්ක විය හැකි බව හැගී නොගියේදැයි ඔහු විමසූ විට ඊට පිළිතුරු දුන් ජයවර්ධන මහතා එවැන්නක් හැගීගිය බැවින් මෙම තොරතුර පිළිබදව තමා පොලිස් දෙපාර්තමේන්තුව දැනුවත් කළ බව ප්‍රකාශ කළේය.

මුල් තොරතුරේ Important Churches ලෙස වූ සඳහන ප්‍රසිද්ධ පල්ලි කියා සංශෝධනය කළේ ඇයිදැයි කොමිසමේ සභාපති විනිසුරුවරයා මෙහිදී ප්‍රශ්න කර සිටියේය.

එවිට ජයවර්ධන මහතා පැවසුවේ තමන් පරිවර්තනය කිරීමෙදි එවැනි වෙනස්කමක් සිදුව තිබුනද, මුල් විදෙස් බුද්ධි තොරතුරේ පිටපතක් තමන් ජාතික බුද්ධි ප්‍රධානියාට සහ පොලිස්පතිවරයාට යොමුකරන ලද ලේඛන වල ඇමිණූ බවය.

එමෙන්ම මෙම සමස්ථ ක්‍රියාවලියට මුල්වු සහරාන් හෂිම්, පාස්කු ප්‍රහාරයට පෙර කාන්තන්කුඩි පිපිරීමට සම්බන්ධ බව තමන් දැනුම්දුන්නේ යැයිද ඒ මහතා කියා සිටියේය.

අප්‍රේල් 4 බුද්ධි තොරතුරේ නුදුරේදිම ප්‍රහාරයක් එල්ල විය හැකි බවට වු කරුණු අදාළ නිලධාරින් වැදගත් කොට සැලකුවේනම් "කාන්තන්කුඩි බයිසිකල් පිපිරීමට සම්බන්ධව ඇත්තේ විදෙස් බුද්ධි තොරතුරේ නම සදහන් සහරාන්මද ?" යන්න තමාගෙන් ප්‍රශ්න කර දැනගැනීමට තිබූ බවත්, එහෙත් කිසිවෙකු ප්‍රහාරයට පෙර එවැනි සෝදිසියක් සිදු නොකළ බවත් ඔහු සඳහන් කළේය.

Rate this item
(0 votes)