April 25, 2024

ඉන්ධන කාන්දු වුණොත් පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට පියව​ර

September 04, 2020

නැගෙනහිර මුහුදේ ගිනි ගනිමින් පවතින MT New Diamond නැමති ඉන්ධන නැව සම්බන්ධව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රධානත්වයෙන් අද (04) පරිසර අමාත්‍යාංශයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්විය.

ඉන්ධන ටොන් 2,70,000 සහිත මෙම නැව ගිනි ගැනීම නිසා පිපිරී ගියහොත් හෝ නැව ගිලී ගිය හොත් ඉන්ධන කාන්දුවීමකින් විශාල පරිසර හානියක් විය හැකි බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

දැනට වාර්තා වී ඇති කාරණා අනුව මෙම ගින්න පාලනය කිරීම සඳහා සියලුම පියවර ගෙන ඇති බවත් කිසියම් පාරිසරික බලපෑමක් ඇති වුවහොත් ඒ සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

දැවැන්ත ඉන්ධන කාන්දුවක් සිදු වුවහොත් හම්බන්තොට සිට යාපනය දක්වා වු සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර අතර ඉන්ධන උරා ගත හැකි Oil Boom යෙදීම, ඉන්ධන කාන්දුවක් සිදුවුහොත් එය තනි රටකට පාලනය කිරීම අපහසු නිසා දකුණු ආසියානු කලාපයේ සියලුම රටවල සහාය ලබා ගැනීම සඳහා මුලික පියවර ගැනීම, මෙන්ම මෙම ඉන්ධන නෞකාව අයත් සමාගම සම්බන්ධව නීතිමය පියවර ගැනීම ආදි සියලුම කටයුතු පරිසර අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මධ්‍යම පරිසර අධිකාරිය හා මෙම කාරණයට සම්බන්ධ සියලුම ආයතනවල මැදිහත්වීම මත ගෙන ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ සිට නාවික සැතපුම් 38ක් දුරින් පිහිටි මෙම නැව මේ වනවිට නාවික සැතපුම් 22ක් දක්වා ශ්‍රී ලංකාවට ආසන්නය තෙක් පාවී තිබෙන නිසා මෙම කාරණය සම්බන්ධව දැඩි අවධානය යොමු කරමින් පරිසර සංරක්ෂණ කටයුතු සඳහා ලබා දිය හැකි ඉහළම දායකත්වය ලබා දීමට පරිසර අමාත්‍යාංශය හා අනෙකුත් සියලුස අංශ කටයුතු කරමින් තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Rate this item
(0 votes)