March 29, 2024

ලක්ෂයකට රැකියා දීමේ වැඩපිළිවෙළ අද ඇරඹේ

September 02, 2020

 දිළිඳු පවුල් ලක්ෂයකට රැකියා ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහන අද ආරම්භ වේ.

මේ යටතේ බඳවා ගන්නා පිරිසට මාස 6 ක පුහුණවකින් පසුව පදිංචි ප්‍රදේශයේ හෝ ආසන්න ප්‍රදේශවල රැකියා අවස්ථා හිමිවනු ඇති.

රජය විසින් පිහිටුවා ඇති බහුකාර්ය සංවර්ධන කාර්යය සාධක බලකාය මගින් අඩු ආදායම්ලාභී සහ නිපුණතාවක් රහිත පිරිස් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීමේ වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක වේ.

මෙම රැකියා සඳහා තෝරාගන්නා සුදුසුකම් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.

  1. කිසිදු අධ්‍යාපනයක් නොලද හෝ සාමාන්‍ය පෙළට අඩු අධ්‍යාපන මට්ටමක සිටින නුපුහුණු ශ්‍රමිකයෙක්වීම
  2. අයැදුම්පත් කැඳවන දිනට වයස අවුරුදු 18 ත් 45 ත් අතර විය යුතුයි,
  3. සමෘද්ධි සහනාධාරය ලැබීමට සුදුසු හෝ දැනටමත් එම සහනාධාරය ලබන පවුලක සාමාජිකයෙක්වීම
  4. වයස්ගත, රෝගාතුර දෙමව්පියන් හෝ අබාධිතයින් සිටින පවුලක රැකියා විරහිත අයෙකු වීම
  5. අයදුම් කරන ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වීම

මෙම රැකියා ලැබීම සදහා ප්‍රකාශයට පත්කර ඇති සුදුසුකම් ය.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මෙම සුදුසුකම් මත බඳවා ගන්නා පිරිස මාස 6 ක අඛණ්ඩ පුහුණු කාලයකින් පසුව එම පුහුණුව ලැබූ ක්ෂේත්‍රයට අදාළව තමන් ස්ථිර පදිංචි ප්‍රදේශය තුළ රජයේ අනුමත ප්‍රාථමික ශිල්පීය නොවන වැටුප් හා දීමනා හිමි රජයේ ස්ථිර තනතුරකට පත්වීමේ අවස්ථාව උදාවන බවයි.

පුහුණු කාල සීමාවේ රුපියල් 22,500 ක මාසික දීමනාවක් ලබාදෙන අතර පුහුණුවෙන් පසුව ලැබෙන රජයේ අනුමත ප්‍රාථමික ශිල්පීය නොවන මාසික වැටුප දළ වශයෙන් රුපියල් 35,000 කි.

එක් පවුලකින් සුදුසුකම් ලැබූ එක් අයෙකු පමණක් බඳවා ගන්නා අතර ප්‍රදේශයේ රැකියා අවස්ථා අනුව ලබාදෙන පුහුණු තීරණය වනු ඇති.

මෙම පිරිසට වසර 10 ක අඛණ්ඩ සේවා කාලයකින් පසුව විශ්‍රාම වැටුපකට ද හිමිකම් ලැබේ.

ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කළේ, රැකියා ප්‍රදානය මෙම නිර්ණායක මත පමණක් පදනම්ව සිදු වන බවයි.

ඒ සඳහා යම් පුද්ගලයෙකුට මුදලක් හෝ කිසියම් ආකාරයක අල්ලසක් ලබාදීම රැකියා අවස්ථාව ප්‍රතික්ෂේප වීමට හේතුවන බව ද ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙයි.

 

Rate this item
(0 votes)