March 29, 2024

බණ්ඩාරනායකලා හදපු රැකපු පක්ෂය විනාශ වීම ගැන චන්ද්‍රිකා කණගාටුවෙන්

දශක ගණනාවක් තිස්සේ රටේ තිබූ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම විනාශ වී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසිය.

තම පියා විසින් ගොඩනැගූ, තම මව විසින් ආරක්ෂා කළ, තමා විසින් සංවර්ධනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශයට පත්වීම සම්බන්ධයෙන් අතිශය කණගාටු වන බව හිටපු ජනාධිපතිනිය පවසයි.

ශ්‍රීලනිපය විනාශය කරා ගෙනගියේ මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා බව පෙන්වා දෙන චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය වැඩිදුරටත් පවසන්නේ 'මහින්ද විසින් සූක්ෂ්ම ලෙස' විනාශ කළ ශ්‍රීලනිපයේ ඉතිර අඩ 'මෛත්‍රී විසින් ඉතා නින්දිත හා නීච ලෙස' විනාශ කළ බවයි.

ශ්‍රීලනිපයේ බහුතරයක් අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළද පොදුජන පෙරමුණ, ශ්‍රීලනිපයේ ප්‍රතිපත්තිවලට හාත්පසින්ම වෙනස් බවයි ඇය පෙන්වා දෙන්නේ. මේ නිසා සැබෑ ශ්‍රීලනිප පාක්ෂිකයන්ට පොහොට්ටුවට එකතු විය නොහැකි බව ද ඇය පැවසිය.

මෙවර පොහොට්ටුව ලබාගත් ඡන්ද ප්‍රමාණය පසුගිය ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රමාණයටත් වඩා අඩු වුවත් ඔවුන්ට තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට හැකි වී ඇති බවද කුමාරතුංග මහත්මිය පවසයි. ඊට ප්‍රධානතම හේතුව ජේ.ආර්. ජයවර්ධන මහතා රටට හඳුන්වා දුන් බහුබූත ව්‍යවස්ථාව බව ඇය පෙන්වා දෙයි. ඊට අමතරව විපක්ෂය දුර්වල වීම ද ආණ්ඩුව තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමට හේතු වූ බව හිටපු ජනාධිපතිනිය පවසයි.

Rate this item
(0 votes)