April 25, 2024

රෝහිත අපිව රැවැට්ටුවා - කළුතර පොහොට්ටු අපේක්ෂකයින් තිදෙනෙකුගෙන් චෝදනා

කළුතර දිස්ත්‍රික් පොදුජන පෙරමුණු කණ්ඩායම් නායක රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා තමන්ව රැවටු බවට එම ලැයිස්තුවෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව පරාජය වූ අපේක්ෂකයන් දෙදෙනෙකු චෝදනා කරයි.

පොදුජන පෙරමුණ අගලවත්ත සංවිධායක උදේනි අතුකෝරල, පානදුර සංවිධායක ජගත් අංගගේ, බුලත්සිංහල සංවිධායක මංජු ලලිත් වර්ණකුමාර එසේ චෝදනා කරන පිරිස අතර වේ.

ඔවුන්ගේ චෝදනාව වන්නේ මහ මැතිවරණයේදී තමන්ගේ ආසන වලින් අබේගුණවර්ධන මහතාට මනාප ලබා දෙන ලෙස ඉල්ලා සිටි අතර ඊට හිලව් වන ලෙස අබේගුණවර්ධන මහතා සංවිධායක ධූරය දරන කළුතර මැතිවරණ කොට්ඨාශයෙන් තමන්ට ද මනාප ලබා දෙන බව පොරොන්දු වී එය කඩකළ බවටය.

ඉහත සඳහන් ආසන තුනෙන් අබේගුණවර්ධන මහතාට මනාප 15,000 ඉක්මවා ලබා දුන් අතර අගලවත්ත ආසනයෙන් මනාප 27,000ක් ලැබී තිබිණි. එහෙත් පෙරලා චෝදනා එල්ල කරන සංවිධායකවරුන් තිදෙනාට කළුතර කොට්ඨාශයෙන් ලබා දී තිබුණේ මනාප 2000කට ආසන්න ප්‍රමාණයකි.

මේ නිසා ඔවුන් තිදෙනා මේ වන විට මෙම ප්‍රශ්නය මුල් කොට ගෙන අබේගුණවර්ධන මහතාට ප්‍රසිද්ධියේම චෝදනා කරමින් සිටියි.

Rate this item
(0 votes)
Last modified on Friday, 14 August 2020 22:05