April 19, 2024

බන්ධනාගාර නිලධාරීන් 15ක ගේ වැඩ තහනම්

විවිධ දූෂණ ක්‍රියාවලට සම්බන්ධ වු නිලධාරීන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව අද (14) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

මහර, මැගසින්, බූස්ස, කොළඹ, වැලිකඩ, ගාල්ල, මීගමුව, වාරියපොළ හා අගුණකොළපැලැස්ස යන බන්ධනාගාරවලට අනුයුක්තව සේවය කරමින් සිටි නිලධාරීන් පිරිසක් මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත.

ඔවුන් 15 දෙනා අතර සහකාර අධිකාරිවරයෙක්, ප්‍රධාන ජේලර්වරු දෙදෙනෙක්, ජේලර්වරයෙක් ද වෙයි.

ඒ ඒ ආයතනවල අධිකාරිවරු, බන්ධනාගාර බුද්ධි අංශ මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගනු ලැබූ යම් යම් කරුණු මත පදනම්ව සිදුකළ මූලික විමර්ශනවලට අනුකූලව මෙම නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත.

මීගමුව හා බූස්ස බන්ධනාගාරවල සිටින, සිය පරිපාලනයට සහයෝගය නොදෙන හා සිරකරුවන් සමග යම් යම් සබඳතා පවත්වන බවට අනාවරණය වී ඇති නිලධාරීන් ද මේ වන විට ස්ථාන මාරු කිරීම්වලට යොමු කර ඇත.

මීගමුව බන්ධනාගාරයේ නිලධාරීන් 9 දෙනෙකු හා බූස්ස බන්ධනාගාරයේ නිලධාරීන් 10 දෙනෙකු මේ වන විට ස්ථාන මාරු කිරීම්වලට යොමුකර ඇති බව ඔහු සඳහන් කළේය.

බන්ධනාගාර තුළ යම් අකටයුත්තක් සිදුවේ නම් ඒ පිළිබඳ තොරතුරු 011-2678600 යන අංකයට දුරකථන ඇමතුමක් ලබා දී දැනුම් දීමට හැකියාව ඇත.

Rate this item
(0 votes)